ඔබත් කෑම කාපු ගමන් තේ බොනවා නම් මේ ගැන දැන ගන්න

    • Author, මෙලීසා හෝගන්බූම්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

එය පැසවන්න, තම්බන්න, නැතහොත් දෙහි යුෂ ටිකක් ඉසින්න. ශරීරයට යකඩ උරා ගැනීම ගැන සලකන විට, වැදගත් වන්නේ ඔබ කන දෙය පමණක් නොව, එය කන ආකාරයයි.

කුඩා කාලයේ සිට ම මා විශ්වාස කළේ නිවිති වැඩිපුර ආහාරයට ගැනීමෙන් මට හොඳින් ශක්තිමත්ව වැඩිය හැකි බවයි. අදටත් මම ස්මූති, පැස්ටා සහ ඔම්ලට් වැනි ආහාරවලට නිතර ම නිවිති එක් කරමි.

මම එයට කැමති වන්නේ එය විවිධ ආකාරයෙන් පිළියෙළ කළ හැකි, පිසීමට පහසු සහ තන්තු බහුල ආහාරයක් වන නිසා පමණක් නොව, එය යකඩ ලබා දෙන හොඳ ප්‍රභවයක් ද වන නිසයි – එසේ නොවේ ද?

හොඳයි, මා සම්පූර්ණයෙන් ම වැරදි නැතත්, අමු නිවිතිවලින් අපේ ශරීරයට එතරම් යකඩ ප්‍රමාණයක් උරා ගන්නේ නැත.

අප අතරින් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු පමණ යකඩ ඌනතාවයෙන් පෙළෙන බව සලකන විට, අපට අවශ්‍ය යකඩ ප්‍රමාණය ලබා ගැනීමට හොඳ ම අවස්ථාව සලසා දෙන්නේ අප කන දෙය පමණක් නොව, අප ආහාර පිළියෙළ කරන සහ ආහාරයට ගන්නා ආකාරය බව වටහා ගැනීම ඉතා වැදගත් වේ.

වඩාත් ම සුලබ ඌනතාවය

යකඩ ඌනතාවය යනු ලෝකයේ වඩාත් ම සුලබ පෝෂණ ඌනතාවය වන අතර, විශේෂයෙන් ම දරුවන් සහ දරුඵල ලැබිය හැකි වයසේ පසුවන කාන්තාවන් අතර මෙය බහුලව දක්නට ලැබේ.

තෙහෙට්ටුවක් දැනීම, දුර්වල බව හෝ හුස්ම ගැනීමේ අපහසුතාව යන මේ සියල්ල ඔබේ ශරීරයේ යකඩ මට්ටම අඩු වී ඇති බවට පෙන්වන ලකුණු වේ; මන්ද, අපේ ශරීරයේ සෑම කොටසකටම පාහේ ඔක්සිජන් රැගෙන යන ප්‍රෝටීනය වන හිමොග්ලොබින් නිපදවීමට මෙම අත්‍යවශ්‍ය ඛනිජ ලවණය උපකාරී වන බැවිනි.

"නිසි ආහාර වේලක් ලබාගැනීමෙන් රක්තහීනතාවය වැළැක්වීමට උත්සාහ කිරීම වඩාත් සුදුසුයි," ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ ඛනිජ පරිවෘත්තීය පිළිබඳ මහාචාර්ය සුසන් ෆෙයාර්වෙදර්-ටයිට් පවසයි.

කෙසේ වෙතත්, ආහාරවලින් අපේ ශරීරයට යකඩ කොතරම් පහසුවෙන් උරා ගන්නේ ද යන්න සලකා බලන විට, යකඩ බහුල සියලු ම ආහාර එක සමාන නොවේ.

නිර්මාංශ ආහාර සඳහා අමතර සැලකිල්ලක් දැක්වීම

ආහාරවල යකඩ පවතින ආකාර දෙකක් තිබේ. හීම් යකඩ (heme iron) මස් සහ මුහුදු ආහාරවල අඩංගු වන අතර, හීම් නොවන යකඩ (non-heme iron) ලැබෙන්නේ ශාකමය ආහාරවලිනි.

පළමු වර්ගය දෙවන වර්ගයට වඩා පහසුවෙන් අපේ ශරීරයට උරා ගැනීමට නැඹුරු වේ. අපේ ශරීරය හීම් යකඩවලින් (heme iron) 15-30% ක් පමණ උරා ගන්නා අතර, විවිධ වර්ගයේ හීම් නොවන යකඩවලින් (non-heme iron) උරා ගන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයකි (වියළි රනිල කුලයේ බෝගවල ඇති යකඩවලින් 2% ක් පමණ සහ පලා වර්ගවලින් 7-9% ක් පමණ).

නමුත් පිරිවැය මෙන් ම රතු මස් මගින් සෞඛ්‍යයට සහ පරිසරයට සිදුවන බලපෑම පිළිබඳව අවධානය ඉහළ යාමත් සමග, ඇතැම් පිරිස් මස් ආහාරයට ගැනීම අඩු කරමින් සිටිති. ඒ වෙනුවට වෙනත් යකඩ ප්‍රභවයන් ආහාරයට එක් කර නොගතහොත් එය යකඩ ඌනතාවයට හේතු විය හැකි බව ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි පෝෂණ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යෙමිසි ලටුන්ඩේ-ඩාඩා පවසයි.

වාසනාවකට මෙන්, ඔබේ දෛනික ඉලක්කය සපුරා ගත හැකි ශාකමය යකඩ ප්‍රභවයන් බොහොමයක් තිබේ.

මෙම හීම් නොවන යකඩ ප්‍රභවයන් ශරීරයට උරා ගැනීමේ කාර්යක්ෂමතාව අඩු වුව ද, ශාකමය ආහාරවලින් යකඩ උරා ගැනීම උපරිම කර ගැනීමට බොහෝ ක්‍රම ඇත.

1. ඇතැම් එළවළු සහ පලා වර්ග ජලයෙන් තම්බා ගන්න, අනෙක් ඒවා වාෂ්පයෙන් තම්බා ගන්න

ආහාර පිළියෙළ කරන ආකාරය, අපේ ශරීරයට ලබා ගත හැකි යකඩ ප්‍රමාණය කෙරෙහි බලපෑම් කළ හැකිය.

මගේ විශ්වාසවන්ත ම තේරීම වන නිවිතිවල ඔක්සලේට් (oxalates) නම් සංයෝග අඩංගු වේ. මේවා යකඩ සමග බැඳී, අපේ ශරීරයට උරා ගන්නා යකඩ ප්‍රමාණය අවහිර කළ හැකිය. නමුත් අප එය තම්බන විට, එම සංයෝග ඉවත් වී වැඩි යකඩ ප්‍රමාණයක් ශරීරයට උරා ගැනීමට හැකි වේ.

කෙසේ වෙතත්, මෙම නීතිය අදාළ වන්නේ නිවිති, ස්විස් චාර්ඩ් (Swiss chard) සහ බීට්රූට් කොළ වැනි ඔක්සලේට් බහුල පලා වර්ග සඳහා පමණි.

සලාද කොළ, ගෝවා සහ බොක් චෝයි වැනි අනෙකුත් පලා වර්ගවලින් ඔක්සලේට් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නැත. ඇත්ත වශයෙන්ම, ඒවා අමුවෙන් හෝ හුමාලයෙන් තම්බා ආහාරයට ගැනීමෙන් විටමින් C වැඩිපුර ආරක්ෂා වන අතර, එමඟින් යකඩ උරා ගැනීම තවත් වේගවත් කරයි.

2. යකඩ බහුල ආහාර විටමින් C සමග එක් කරන්න

අපේ ආහාර වේලට විටමින් C එක් කර ගන්නා විට, ශරීරයට වැඩිපුර යකඩ උරා ගන්නා බව පර්යේෂණවලින් පෙන්වා දී තිබේ.

"විටමින් C කියන්නේ ශාක ආහාර ප්‍රභවයන්ගෙන් යකඩ අවශෝෂණය වැඩි දියුණු කරන දෙයක්," ලතුන්ඩේ-ඩඩා පවසයි.

යකඩ අඩංගු ආහාර සමගින්, ආහාර වේලට දෙහි යුෂ ටිකක් මිරිකා ගැනීමට හෝ උදෑසන ආහාරය සඳහා ඔබ ගන්නා මුහුන් දමා සැකසූ පාන් පෙති සමඟ දොඩම් යුෂ (කුඩා) වීදුරුවක් පානය කිරීමට ඔබට උත්සාහ කළ හැකිය.

3. පැසවීමට පුරුදු කරන්න

පැසවීමේ ක්‍රියාවලිය ද ඔබේ ශරීරයට වැඩිපුර යකඩ උරා ගැනීමට උපකාරී වේ. ඊට හේතුව, ආහාරවලින් ශරීරයට යකඩ උරා ගැනීම අපහසු කරන, ධාන්‍ය වර්ග, ඇට වර්ග සහ බීජවල ස්වභාවිකව පවතින ෆයිටික් අම්ලය නම් සංයෝගය එමගින් බිඳ දැමීමයි.

මෙම හේතුව නිසා, සාමාන්‍ය පාන් වෙනුවට පැසවීමේ ක්‍රියාවලියකින් සැකසූ සෝඩෝ පාන් (sourdough) භාවිතා කිරීමට ඔබට සලකා බැලිය හැකිය.

4. අතිරේක පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර මත පමණක් විශ්වාසය නොතබන්න

පාන් සහ උදෑසන ධාන්‍ය වර්ග ඇතුළු බොහෝ ප්‍රධාන ආහාර වර්ගවලට යකඩ එකතු කර තිබේ. නමුත් නිෂ්පාදකයින් බොහෝ විට භාවිතා කරන්නේ ආහාරයේ රසයට, වර්ණයට හෝ කල් තබා ගැනීමේ කාලයට බලපෑමක් නොකරන, "ප්‍රතික්‍රියාශීලී නොවන" එහෙත් ශරීරයට උරා ගැනීමේ හැකියාව අඩු යකඩ වර්ගයන්ය.

"පෝෂක එක් කළ නිෂ්පාදන බොහොමයකින් අපේ ශරීරයට යකඩ එතරම් හොඳින් උරා ගන්නේ නැහැ," යැයි ෆෙයාර්වෙදර්-ටේට් පවසයි.

පෝෂක එක් කළ ආහාරවලින් යකඩ උරා ගැනීම මැන බැලූ අධ්‍යයනයකදී පර්යේෂකයන් සොයා ගත්තේ, ළදරු ධාන්‍ය ආහාරවලින් යකඩ උරා ගැනීම ඉතා අඩු මට්ටමක පවතින බවත්, එය 0.6% සිට 2.2% දක්වා පරාසයක පවතින බවත්ය.

ඊට ප්‍රතිවිරුද්ධව, පිරිපහදු කළ සුදු පිටිවලින් සාදන ලද බනිස් වර්ගවලින් යකඩ උරා ගැනීම ඊට වඩා වැඩි බව එම අධ්‍යයනයෙන්ම සොයා ගන්නා ලදී. (පිරිපහදු කළ පිටිවලින් සාදන ලද පාන්වලින් යකඩ උරා ගැනීම 13.6% ක් දක්වා ඉහළ ගිය බව තවත් අධ්‍යයනයකින් සොයාගෙන තිබේ.)

5. ඔබ ඔබේ ආහාර සමග පානය කළ යුතු දේ

ආහාර ගන්නා අතරතුර අප පානය කරන දේ ද, අපේ ආහාර වේලෙන් ශරීරයට උරා ගන්නා යකඩ ප්‍රමාණය කෙරෙහි බලපෑම් කළ හැකිය.

ඔක්සලේට් මෙන් ම, පොලිෆෙනෝල්, ටැනින්, තන්තු සහ ෆයිටේට් වැනි සංයෝග මගින් ද යකඩ උරා ගැනීම අඩු කළ හැකි බව ලටුන්ඩේ-ඩාඩා පවසයි.

කෝපි සහ තේවල ටැනින් සහ පොලිෆෙනෝල් අඩංගු වේ; එයින් අදහස් වන්නේ අපි යකඩ බහුල උදෑසන ධාන්‍ය ආහාරයක් සමග තේ හෝ කෝපි පානය කරන්නේ නම්, එම යකඩ ශරීරයට හොඳින් උරා නොගන්නා බවයි.

ඔබට තේ කෝප්පයක් පානය කිරීමට අවශ්‍ය නම්, ආහාර වේලකින් අවම වශයෙන් පැය දෙකකට පසුව එය පානය කිරීම වඩාත් සුදුසු බව ෆෙයාර්වෙදර්-ටේට් උපදෙස් දෙයි.

6. ප්‍රමාණවත් තරමට, නමුත් ඕනෑවට වඩා නොවේ

අපට දිනපතා නිර්දේශ කර ඇති යකඩ ප්‍රමාණය තීරණය කිරීමේදී, සමස්තයක් ලෙස අපේ ශරීරයට උරා ගන්නේ සාපේක්ෂව අඩු ප්‍රමාණයක් යන කරුණ ද සැලකිල්ලට ගෙන ඇත.

ඔබ දිනපතා ගත යුතු යකඩ ප්‍රමාණය සම්පූර්ණ කළත්, දිනකට ඔබේ ශරීරයට උරා ගන්නේ යකඩ මිලිග්‍රෑම් එකක් හෝ දෙකක් පමණක් විය හැකි බව ෆෙයාර්වෙදර්-ටේට් පවසයි. දහඩිය දැමීම හෝ ඔසප් වීම වැනි දේ හරහා අපේ ශරීරයෙන් දිනපතා ඉවත් වන යකඩ ප්‍රමාණයට මෙය සමාන බව ඇය පවසයි.

සමබල ආහාර වේලක් මගින් දවස පුරා යකඩ බහුල ආහාර කුඩා ප්‍රමාණවලින් නිතිපතා ආහාරයට ගැනීමට ෆෙයාර්වෙදර්-ටේට් යෝජනා කරයි. ඊට හේතුව, පුදුමයට කරුණක් ලෙස, අප එකවර යකඩ විශාල ප්‍රමාණයක් ලබා ගතහොත් ශරීරයට උරා ගන්නා ප්‍රමාණය අඩු විය හැකි වීමයි; මන්ද, ශරීරයට කොපමණ යකඩ ප්‍රමාණයක් උරා ගත යුතුද යන්න පාලනය කිරීමට අපේ ශරීරය ඉතා කාර්යක්ෂම බැවිනි.

එමෙන් ම, ඔබ අතිරේක පෝෂක ලබා ගැනීමට සලකා බලන්නේ නම්, පළමුව වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස විශේෂඥයෝ උපදෙස් දෙති.

"ඇඟ උත්සාහ කරන්නේ සමබරතාවයක් තියාගන්නයි, ඒ නිසා ඕනෑවට වඩා යකඩ ඇඟට ගන්න ඒක කැමති නැහැ."