නිවසක් තුළ මරණයක් සිදුවූ විට අනුගමනය කළ යුතු ක්‍රමවේදයේ වෙනසක්: නව ක්‍රමවේදය මෙන්න

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

දශක කිහිපයක් තිස්සේ මරණ සහතික නිකුත් කිරීමේදී ක්‍රියාත්මක කළ හැකිව තිබූ එහෙත් මෙතෙක් ක්‍රියාත්මක නොවූ ක්‍රමවේදයක් බලාත්මක කිරීමට රජය කටයුතු කර ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

ඒ අනුව, වයස්ගත අයෙකු නිවසේදී මිය ගිය විට එම පුද්ගලයාගේ මරණ සහතිකය ලබා ගැනීමේදී එම මරණයට හේතුව සඳහන් කිරීමට මිය ගිය පුද්ගලයාට අවසන් වරට ප්‍රතිකාර කරන ලද පවුලේ වෛද්‍යවරයාට අවස්ථාව සැලසෙනු ඇත.

ඉන් සෞඛ්‍ය දත්ත පද්ධතියට වැදගත් දත්ත ඇතුළත් වන බව ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු පැවසුවේ, 1951 අංක 17 දරන උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනත අනුව, පවුලේ වෛද්‍යවරයාට හෝ අවසන් වරට ප්‍රතිකාර කරනු ලැබූ වෛද්‍යවරයාට මරණයට හේතු දැක්වීමට අවස්ථාව සලසා තිබුණ ද මෙතෙක් කලක් "විවිධ හේතු මත හෝ නොදැනුවත්භාවය මත" එම කටයුත්ත නිසි පරිදි සිදුව නොමැති බව ය.

'වෛද්‍යවරු හෝ රෙජිස්ට්‍රාර්වරු දැනගෙන හිටියේ නැහැ'

"වයස්ගත වෙලා ගෙවල්වල මිය යන පුද්ගලයින් සම්බන්ධව රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඒ වගේ මරණවලට හේතුව දෙන්නේ හුඟක් වෙලාවට ග්‍රාම නිලධාරීන්.

"එතකොට ප්‍රශ්නය තමයි හරියට ම මරණයට හේතුව දීමට අවශ්‍ය මෙඩිකල් බැක්ග්‍රවුන්ඩ් එකක් අපි එයාලට ලබා දීලා නැහැ. ඒ වගේ වෙලාවලදී මරණයට හේතුව කියලා ලබා දෙන හේතුව ඉතාමත් ම නිවැරදි නොවෙන්න ඉඩ තියෙනවා," සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි බීබීසී සිංහල වෙත පැවසීය.

උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව, මිය ගිය පුද්ගලයාට අවසන් වරට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයාට මරණයට හේතුව නිකුත් කිරීමට බලය ලබා දී තිබේ.

"එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා වෛද්‍යවරු බොහෝ දෙනෙක් දන්නෙත් නැහැ. ඒ වගේ ම මරණ රෙජිස්ට්‍රාර්ලා දන්නෙත් නැහැ. ඒ වගේ ම ජනතාව දන්නෙත් නැහැ. ඒක නිසා තමයි අපි මේක නැවත පොඩ්ඩක් මතු කළේ. අපි කරන්නේ මේකට අවශ්‍ය පහසුකම් සලසන එක."

ක්‍රමවේදයේ පහසුව සහ සෞඛ්‍ය පද්ධතියට ඇති වැදගත්කම

මෙම ක්‍රමවේදය හරහා අනවශ්‍ය ලෙස පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම මෙන් ම රෝහල් පද්ධතියට සිදුවන අනවශ්‍ය බර ද අඩු වන බවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි විශ්වාසය පළ කළේ ය.

"ග්‍රාම නිලධාරී කිව්වොත් මට මේකට හේතුව දෙන්න දන්නේ නැහැ කියලා, ඒ මරණය අරගෙන යනවා ඉස්පිරිතාලවලට. ඉස්පිරිතාලයට අරගෙන ගියාට පස්සේ මරණ පරීක්ෂණයක් තියෙනවා. සමහරවිට පශ්චාත් මරණ පරීක්ෂණයකුත් තියෙනවා. රෝහල් පද්ධතියට අනවශ්‍ය බරක්. ඒක නිසා තමයි මේක ජනතාවට කියලා මේ පිළිබඳව උනන්දුවක් ඇති කරන්නේ."

දිස්ත්‍රික්ක 4ක පමණ මේ වන විට මෙම ක්‍රමවේදය සම්බන්ධව පුහුණු වැඩසටහන් පවත්වා වෛද්‍යවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එමෙන් ම, පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සියලු මරණ රෙජිස්ට්‍රාර්වරුන් දැනුවත් කිරීමට පියවර ගනු ලැබ තිබේ.

පෝරමය නිකුත් කිරීමට බලය ඇති වෛද්‍යවරුන් කවුද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව සකස් කරන ලද B-12 පෝරමය වෛද්‍යවරුන් වෙත ලබා දෙන අතර එහි මරණයට හේතුව, ක්ෂණික හේතුව කුමක් ද?, රෝග විනිශ්චය සහ ආධාරක වෙනත් හේතු වැනි දෑ එහි සඳහන් කළ යුතු වේ.

මෙම ක්‍රමවේදය හරහා මෙරට සමාජයේ සිදුවන මරණ සම්බන්ධව නිවැරදිව දත්ත ලබා ගැනීමට හැකි වන බවට විශ්වාසය පළ කළ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි එය රටේ සෞඛ්‍ය සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට පහසුවක් වන බව ද පෙන්වා දුන්නේ ය.

"ලංකාවේ මරණවලින් 55%ක් වෙන්නේ රෝහල්වල. නමුත් 45%ක් විතර තවමත් නිවාසවල වෙනවා. නිවාසවල වෙන්නේ වයසට යාම සහ දීර්ඝ කාලයක් එක්තැන් වෙලා හිටපු රෝගීන්. මේකේදී මරණයට හේතුව සඳහන් කිරීමෙන් අපේ ජාතික දත්ත පද්ධතියේ ලොකු කොටසක් ආවරණය වෙනවා."

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා සිටින ඕනෑ ම වෛද්‍යවරයෙකුට මෙම සහතිකය නිකුත් කිරීමට බලය හිමි වේ.

"අපි ලබා දෙනවා මේ පිළිබඳව නීත්‍යනුකූලව ඇප්ලිකේෂන් එකක්. මරණයට හේතුව දන්නවා නම් වෛද්‍යවරයා ඒ පෝරමයේ මරණයට හේතුව සහ ආධාරක හේතු සඳහන් කරලා ලබා දෙනවා. ඒක රෙජිස්ට්‍රාර්ට දෙන්න පුළුවන් ග්‍රාම නිලධාරී සහතිකය වෙනුවට. ඒක වඩා නිරවද්‍ය වෙනවා."

වෛද්‍යවරයා ලබා දෙන එම පෝරමය මරණය ලියාපදිංචි කරනු ලබන රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දීමෙන් මරණය ලියාපදිංචි කිරීමේ හැකියාව පවතී.

මෙම ක්‍රමවේදය භාවිත කළ නොහැකි අවස්ථා මොනවා ද?

කෙසේ වෙතත් නිවසකදී සිදුවන සැක සහිත මරණයකදී, සිය දිවි නසා ගැනීමකදී හෝ හදිසි මරණයකදී මෙම ක්‍රමවේදය භාවිත කළ නොහැකි බව ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පැවසීය.

"දීර්ඝ කාලීනව අසනීප තත්ත්වයෙන් හිටපු අයට විතරයි මේ ක්‍රමවේදය භාවිත කරන්න පුළුවන්. අනිත් අවස්ථාවල මහේස්ත්‍රාත්ට ඒක වාර්තා කරන්න ඕනේ, ඒ සමාන්‍ය නීතිමය ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. වෛද්‍යවරයා බලලා වයසක කෙනෙක්ගේ වුණත් මරණය සැක යි නම් ඒ ගැන පොලිසිය හරහා මහේස්ත්‍රාත්ට දන්වන්න ඕනේ," නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

'අනිවාර්ය නැහැ. ඒත් එහෙම කරන්න කියන එක ප්‍රවර්ධනය කරනවා'

නිවසක සිදුවන මරණයකදී මරණයට හේතුව ලබා ගැනීම අනිවාර්ය නොවන නමුත් එය ප්‍රවර්ධනය කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ය.

"අනිවාර්ය නැහැ. නමුත් වෛද්‍යවරයෙක්ම ඒ හේතුව දෙනවා නම් ඒක වඩාත් නිවැරදි වන නිසා අපි ඒක ප්‍රවර්ධනය කරනවා. නමුත් ඒක අනිවාර්ය නැහැ."

මරණයට දැනට ලබා දෙන හේතුවලට වඩා විධිමත්භාවයක් ඇති කිරීමට ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

තව ද, නිවස දීර්ඝ කාලීනව රෝගීව සිටි අයෙකුගේ මරණයකදී වෛද්‍යවරයාගෙන් මරණයට හේතුව සඳහන් කර ලබා ගන්නා පෝරමය මරණ සහතිකය ලබා ගැනීමට ප්‍රමාණවත් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

"වෛද්‍යවරයාගේ පෝරමය මරණය ලියාපදිංචි කිරීමට ප්‍රමාණවත්. දැනටත් ඒ නීතිය තියෙනවා."

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදාළ පෝරම ලබා දී නොමැති බැවින් ඒවා කඩිනමින් මුද්‍රණය කර ලබා දීමට කටයුතු කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, ඉන්පසුව එම පෝරම වෛද්‍යවරුන්ට ලබා ගත හැකි පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ලට ම ලබා දීමට කටයුතු කරන බව ද පැවසීය.

මරණය ලියාපදිංචි කිරීමට වෛද්‍යවරයා මරණයට හේතු දක්වමින් ලබා දෙන පෝරමය ප්‍රමාණවත් වුව ද, මරණයක් සිදුවූ විට එය ග්‍රාම නිලධාරී වෙත දැන්වීම සිදු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

"ඕන ම මරණයක්, රෝහලේදී මිය ගියත්, එහෙම නැතිනම් ගෙදරකදී මිය ගියත් ග්‍රාම නිලධාරීට දැනුම් දෙන්න ඕන. ඒක වෙන ම කාරණයක් නමුත් මරණය රෙජිස්ටර් කර ගන්න ඒක අත්‍යවශ්‍ය නැහැ."

'B-12 ආකෘති පත්‍රය මුද්‍රණයේ'

මරණයට හේතුව සඳහන් කිරීම සඳහා වන B-12 ආකෘති පත්‍රය මේ වන විට මුද්‍රණයට භාර දී ඇතැයි රෙජිස්ට්‍රාර් ජෙනරාල් එස්. ජලදීපන් පැවසීය.

ඇය බීබීසී සිංහල සේවයට පැවසුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශවලට අනුකූලව B-12 ආකෘති පත්‍රය නැවත සකස් කිරීමට පියවර ගත් බව ය.

එම ආකෘති පත්‍රයේ මුද්‍රණ කටයුතු අවසන් වූ වහා ම එය භාවිතයට ගන්නා බව ඇය සඳහන් කළා ය.

මරණයක් දැනුම් දීමේදී අනුගමනය කළ යුතු පියවර

මරණය සිදුවී දින 05ක් ඇතුළත ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දිය යුතු ය.

සෑම මරණයක් සම්බන්ධයෙන් ම එකී මරණයට අදාළව B24 ආකෘති පත්‍රය ප්‍රකාරව පිළියෙල කළ වාර්තාවක් ග්‍රාම නිලධාරීවරයා මරණය සිදුවූ ප්‍රදේශයට අදාළ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතු ය.

මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදුවූ ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි.

මරණ ලියාපදිංචි කිරීම CR02 ආකෘතිය රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගත හැකි ය.

මරණය දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන් කවුද?

  • මරණය සිදුවන අවස්ථාවේදී එහි සිටි සමීපතම ඥාතියෙක්
  • අවසන් වරට රෝගීව සිටියදී උපස්ථානය කළ සමීපතම ඥාතියෙක්

එවැනි නෑදෑයකු නොමැති විට,

  • මියගිය පුද්ගලයා පදිංචි රෙජිස්ට්‍රාර් කොට්ඨාසය තුළ වාසය කරන මියගිය තැනැත්තාගේ ඥාතියෙකු,

එවැනි නෑදෑයකු නොමැතිවූ විට,

  • මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
  • මරණය සිදුවූ ගොඩනැගිල්ලේ පදිංචිකරු

ඉහත සඳහන් පුද්ගලයන් නොමැතිවූ විට,

  • මළ සිරුර වැළලීමට, ආදාහනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳ අවසන් කටයුතු කරන පුද්ගලයා