නාමල්ගේ ඇප ඉල්ලීම: අලි සබ්රිගේ කරුණු දැක්වීම හමුවේ මහාධිකරණ විනිසුරු දුන් තීන්දුව

Published
කියවීමේ කාලය: මිනිත්තු 3

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින සිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා දුන් නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරනවා ද? නැද්ද? යන නියෝගය නිකුත් කිරීමට දින නියම කිරීම අද (නොවැ: 25) සිදුවිය.

ඒ අනුව, කොළඹ මහාධිකරණය නිවේදනය කළේ, එම නියෝගය දෙසැම්බර් මස 14 වන දා ප්‍රකාශයට පත් කරන බව ය.

නාමල් රාජපක්ෂ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ ඉදිරියේ සලකා බැලිණි.

'සැකකරුවෙකු රිමාන්ඩ් කිරීම අපේ රටේ නීතිය නොවේ'

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ රම්සි භාචාගේ උපදෙස් මත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.

"දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා. වත්මන් දූෂණ විරෝධී පනත කතානයකවරයා විසින් සහතික කළේ, 2023 වසරේ අගෝස්තු මස 08 වන දා. නමුත් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන්නේ, දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වීමට පෙර ය. නමුත් මගේ සේවාදායකයාට එරෙහිව දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය යටතේ සහතිකයක් ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබෙනවා. වත්මන් පනත ක්‍රියාත්මක වීමට පෙර ආරම්භ කළ විමර්ශනයක් සම්බන්ධයෙන් එවැනි සහතිකයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නෑ. මෙය සම්පූර්ණයෙන් ම බලය අවභාවිත කිරීමක්. පුද්ගල නිදහස අහිමි කිරීමක්. අධිකරණය කිසිදු අවස්ථාවක විධායකයේ දිගුවක් බවට පත්විය යුතු නෑ. ඒ අනුව මෙම අවස්ථාවේදී මගේ සේවාදායකයාට ඇප පනත අදාළ වෙනවා. සැකකරුවෙකු රිමාන්ඩ් කිරීම අපේ රටේ නීතිය නොවේ. ඇප දීම තමයි නීතිය. එම නිසා ඔබතුමාට මෙම අවස්ථාවේදී ඇප පනත යටතේ කටයුතු කිරීමට හැකියාව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින මගේ සේවාදායකයාගේ ඇප ඉල්ලීමක් ඉකුත් ඔක්තෝබර් මස 23 වන දා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි යි. ඒ අනුව එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමේ අරමුණින් තමා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ අනුව පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොදීසි නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා."

එසේ සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම කරුණට අදාළව විනිශ්චිත නඩු තීන්දුවල පිටපත් කිහිපයක් ද විවෘත අධිකරණයේදී විනිසුරුවරයාට භාර දුන්නේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවා ද? නැද්ද? යන නියෝගය දෙසැම්බර් මස 14 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේ ය.