ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බළකොටු බිඳ වැටෙයි: ඩිමොක්‍රටික් පක්ෂයට ඓතිහාසික ජයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්
    • Author, ඇන්තනි සර්චර්
    • Role, උතුරු ඇමෙරිකානු වාර්තාකරු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මෙවර ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණය ඩිමොක්‍රටික් පක්ෂයට ඓතිහාසික ජයග්‍රහණ රැගෙන එන මැතිවරණයක් බවට දැනටමත් පත්වෙමින් තිබේ. ඔවුන් ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ලබාගෙන ඇති අතර, සෙනෙට් මණ්ඩලයේ බලය ද තමන් සතු කර ගැනීමට ඉතා ආසන්නව සිටිති.

සෙනෙට් මණ්ඩල මැතිවරණයෙන් පළමු පුදුමසහගත ජයග්‍රහණය වාර්තා කිරීමට ඇනී ඇන්ඩෲස් සමත් වූවා ය. ඒ, සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්ගේ අභාවයෙන් පසු එම ධූරයට පත් කරන ලද ඔහුගේ සහෝදරිය වන ඩාලින් ග්‍රැහැම් පරාජයට පත් කරමිනි. මීට මාස කිහිපයකට පෙර දේශපාලන විචාරකයන් කිසිවෙකුත් මෙම ආසනය ඩිමොක්‍රටික් පක්ෂයට ජයගත හැකි එකක් ලෙස සලකා තිබුණේ නැත.

වසරකට පෙර දැඩි තරගකාරීත්වයක් පවතිනු ඇතැයි සිතූ සෙනෙට් ආසන දෙකක් ඉතා පහසුවෙන් ජය ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී තිබේ. ඒ ජෝර්ජියා ප්‍රාන්තයේ ජෝන් ඔසොෆ් නැවත තේරී පත්වීම සහ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂය සතුව තිබූ ආසනය යි.

උතුරු කැරොලිනා ප්‍රාන්තයේ හිටපු ඩිමොක්‍රටික් ආණ්ඩුකාර රෝයි කූපර්, රිපබ්ලිකන් පක්ෂයේ මයිකල් වට්ලි පරදවා ලබා ගත් ජයග්‍රහණය, සෙනෙට් මණ්ඩලයේ බලය ඇල්ලීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයට අවශ්‍ය ආසන හතරෙන් පළමු වැන්න යි. දකුණු කැරොලිනා ආසනය ද ජයග්‍රහණය කිරීමත් සමග ඔවුන් දැන් ඉලක්කයෙන් අඩක් සම්පූර්ණ කර ඇත.

දැන් සැමගේ අවධානය යොමුව ඇත්තේ, රිපබ්ලිකන් පක්ෂය සතු ටෙක්සාස්, කැන්සාස් සහ ඔහියෝ ප්‍රාන්තවල සෙනෙට් ආසනවල ඡන්ද ගණන් කිරීම කෙරෙහි ය. බීබීසීයේ ඇමෙරිකානු සහකරු වන සීබීඑස් (CBS) ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ, ටෙක්සාස් සහ කැන්සාස් සෙනෙට් මැතිවරණවලින් ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරියෙන් සිටින බව ය. එමෙන් ම, පසුගිය වසරේදී රිපබ්ලිකන් පක්ෂයේ ග්‍රෙග් ඇබොට් පහසුවෙන් ම ජයග්‍රහණය කරනු ඇතැයි සිතූ ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය සඳහා වන තරගය ද දැන් ඉතා කරට කර තත්ත්වයක පවතී.

Supporters cheer while watching early results during a watch party for Democratic US Senate candidate Troy Jackson in Portland, Maine, on 3 November 2026
ඡායාරූප ශීර්ෂ වැකිය, මේන් (Maine) ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂයේ මැතිවරණ ප්‍රතිඵල නරඹන ආධාරකරුවන් පිරිසක්

මේ අතර, 2022 වසරෙන් පසු පළමු වතාවට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී තිබේ. ප්‍රධාන ආසන කිහිපයක ප්‍රතිඵල දෙස බැලීමේදී එයට හේතු පැහැදිලි වෙයි.

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂයට පහසුවෙන් ජය ගත හැකි වන පරිදි ඩිමොක්‍රටික් පක්ෂය සතුව තිබූ ආසන තුනක සීමාවන් වෙනස් කර තිබුණ ද, රිපබ්ලිකන් පක්ෂයට එම ආසන තුන ම අහිමි විය. එම ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂය පහසුවෙන් ජයගනු ඇතැයි සිතූ අනෙකුත් ආසන සඳහාද දැන් දැඩි තරගයක් නිර්මාණය වී ඇත.

ඩිමොක්‍රටික් පක්ෂය බටහිර උතුරු කැරොලිනා සහ කෙන්ටකි ප්‍රාන්තවල රිපබ්ලිකන් ආසන තමන් සතු කර ගත් අතර, වර්ජිනියා සහ ඉන්ඩියානා ප්‍රාන්තවල ද ඉදිරියෙන් සිටී. ඔවුන් මෙම ජයග්‍රහණ ලබා ගත්තේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්, විශේෂයෙන් ම දකුණුදිග ප්‍රාන්තවල සිටින කළු ජාතික ඡන්දදායකයන් විශාල වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම නිසාය. එමෙන්ම වසර දෙකකට පෙර රිපබ්ලිකන් පක්ෂයට සහය දුන් ෆ්ලොරිඩාවේ හිස්පැනික් (ඇමෙරිකානු-ලතින්) ඡන්දදායකයන් නැවතත් ඩිමොක්‍රටික් පක්ෂය වටා රොද බැඳීමද මෙයට හේතුවක් විය.

Supporters of Democratic US Senate candidate and Texas State Representative James Talarico raise their hands and yell with joy after media outlets projected his victory in the midterm elections
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සෙනෙට් සභික ධුරය සඳහා තරග කළ ඩිමොක්‍රටික් පාක්ෂික ජේම්ස් ටැලරිකෝ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු ඔහුගේ ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා පවත්වන අයුරු
Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දකුණු කැරොලිනා ප්‍රාන්තයේ කළු ජාතිකයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල ඩිමොක්‍රටික් සෙනෙට් අපේක්ෂක ඇන්ඩෲස් ලබා ගත් ඡන්ද ප්‍රමාණය, 2024 වසරේදී කමලා හැරිස් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩිය. එමෙන්ම 2024 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළ මියාමි-ඩේඩ් ප්‍රාන්තයේ ද දැන් නැවතත් ඩිමොක්‍රටික් අපේක්ෂකයන් පෙරමුණට පැමිණ ඇත.

කෙසේ වෙතත්, රිපබ්ලිකන් පාක්ෂිකයන්ට යම් සැනසීමක් ලබා ගත හැකි කරුණක් වන්නේ සමස්තයක් ලෙස ෆ්ලොරිඩා ප්‍රාන්තය තවමත් රිපබ්ලිකන් පක්ෂය දෙසට බරව පැවතීම යි. රිපබ්ලිකන් සෙනෙට් සභික ඈෂ්ලි මූඩි සහ ආණ්ඩුකාර ධූරයට තරග වැදුණු කොංග්‍රස් මණ්ඩල සභික බයිරන් ඩොනල්ඩ්ස් ඉතා සුළු ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීමට සමත් වූහ. නමුත් "සන්ෂයින් ස්ටේට්" ලෙස හැඳින්වෙන ෆ්ලොරිඩාව, රිපබ්ලිකන් පක්ෂයට සාර්ථක වීමට හැකි වූ සීමිත ප්‍රදේශ කිහිපයෙන් එකක් වනු ඇත.

ඡන්දදායකයන්ගේ මනාපය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂයට එරෙහිව හැරී ඇති බවක් පෙනෙන්නට තිබුණ ද, ඇමෙරිකාව යනු විවිධ භූගෝලීය සහ ජනගහන ලක්ෂණ ඇති විශාල රටකි. නැගෙනහිර ප්‍රාන්තවල ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ ජයග්‍රහණ රටේ අනෙක් ප්‍රදේශවලට ඒ අයුරින් ම බලපානු ඇතැයි ස්ථිරව ම කිව නොහැකි වුව ද, ඇමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශවලින් ලැබෙන මුල් ප්‍රතිඵල ද නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රවණතාවට සමාන වන බව පෙනේ.

ඩිමොක්‍රටික් පක්ෂයේ විශාල ජයග්‍රාහී රැල්ලක් නිර්මාණය වී ඇත. දැන් ඉතිරිව ඇති එක ම ප්‍රශ්නය වන්නේ එම රැල්ල රිපබ්ලිකන් පක්ෂයේ බලකොටු කෙතරම් දුරකට බිඳ දමනු ඇත්දැයි බලා සිටීම පමණි.