ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණය: ප්‍රධාන ප්‍රශ්න 7කට පිළිතුරු

Illustration of the US Capitol with red and blue campaign-style stripes and stars representing the two main political parties.
    • Author, ජේම්ස් ෆිට්ස්ජෙරල්ඩ්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධූර කාලයේ ඉතිරි කාලයට විශාල බලපෑමක් එල්ල කළ හැකි ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි.

මධ්‍යකාලීන මැතිවරණය යනු කුමක් ද?

නොවැම්බර් 3 වන දා ඇමෙරිකානුවන් සිය කොංග්‍රස් සාමාජිකයින් තෝරා පත් කර ගැනීමට නියමිත ය. කොංග්‍රසය කොටස් දෙකකින් සමන්විත වන අතර, ඒවා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව ලෙස හැඳින්වේ.

මැතිවරණ සෑම වසර දෙකකට වරක් පැවැත්වෙන අතර, ජනාධිපතිවරයාගේ වසර හතරක ධූර කාලය මැදදී සිදුවන මැතිවරණ හඳුන්වන්නේ 'මධ්‍යවාර මැතිවරණ' (midterms) ලෙස යි.

කොංග්‍රසයේ ප්‍රධාන කාර්යයක් වන්නේ රට පුරා බලපැවැත්වෙන ෆෙඩරල් නීති සම්පාදනය කිරීම සහ ඒවා සම්මත කිරීමයි.

මෙම මැතිවරණයේ ප්‍රතිඵල අනුව කොංග්‍රසයේ බලය හිමි වන්නේ කුමන දේශපාලන පක්ෂයට ද - ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට හෝ විපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂයට ද - යන්න තීරණය වේ.එම ප්‍රතිඵලය ජනාධිපතිවරයාට සිය සැලසුම් ක්‍රියාත්මක කිරීම කොතරම් පහසු ද යන්නට ද බලපානු ඇත.

එමෙන් ම, මේ දක්වා ජනාධිපතිවරයාගේ කාර්යසාධනය පිළිබඳ ඇමෙරිකානු ජනතාව කෙතරම් තෘප්තිමත් ද යන්න මැන බලන දර්ශකයක් ලෙස ද මෙම මැතිවරණ ප්‍රතිඵල සැලකේ.

තෝරා පත් කරගනු ලබන්නේ කවුද?

කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් 435 දෙනා ම මෙහිදී තෝරා පත් කර ගැනීම සිදුවේ. ඔවුන්ගේ ධූර කාලය වසර දෙකකට සීමා වේ. යෝජිත නීති ඉදිරිපත් කිරීම සහ ඒවා පිළිබඳ විවාද කිරීම සාමාන්‍යයෙන් මෙම මන්ත්‍රී මණ්ඩලයේදී සිදු වේ.

මේ අතර, කොංග්‍රසයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවේ ආසන 100න් 35ක් සඳහා ද තරගය පැවැත්වේ. සෙනෙට් සභිකයින්ගේ ධූර කාලය වසර හයකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් ඉදිරිපත් කෙරෙන නීති කෙටුම්පත් අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කාර්යයන් ද සෙනෙට් සභාවට පැවරේ.

එදිනම, ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශවල ඡන්ද දායකයෝ ප්‍රාන්ත මට්ටමේ දේශපාලන නියෝජිතයින් ද තෝරා පත් කර ගනිති. කැලිෆෝනියා, ෆ්ලොරිඩා, ජෝර්ජියා සහ මිචිගන් ප්‍රාන්තවල ආණ්ඩුකාර ධූර සඳහා පැවැත්වෙන මැතිවරණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු වනු ඇත.

ප්‍රධාන ගැටලු මොනවා ද?

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන්ධන, ආහාර ද්‍රව්‍ය, නිවාස සහ සෞඛ්‍ය සේවා සඳහා වන මිල ගණන් හමුවේ අසීරුතාවට පත්ව සිටින බොහෝ ඡන්ද දායකයින්ගේ අවධානය යොමුව ඇත්තේ එක්සත් ජනපද ආර්ථිකය වෙතයි.

ඇමෙරිකානු ෆෙඩරල් සංචිතය අපේක්ෂා කරන මට්ටමට වඩා උද්ධමනය තවමත් ඉහළ අගයක පවතී. ඊට එක් හේතුවක් වී ඇත්තේ පෙබරවාරි මාසයේදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයයි.

ට්‍රම්ප්ගේ වෙළෙඳ තීරුබදු ප්‍රතිපත්තිය ද ඇමෙරිකානුවන්ගේ භාණ්ඩ මිල ඉහළ යාමට හේතු වී ඇතැයි ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කරයි.

සංක්‍රමණිකයින් ද තවත් ප්‍රධාන අවධානයට ලක්ව ඇති කරුණකි. 2024 මැතිවරණ ව්‍යාපාරයේදී දුන් ප්‍රධාන පොරොන්දුවක් ඉටු කරමින් ට්‍රම්ප් දේශසීමා පාලනය දැඩි කර ඇති බවත්, නීතිවිරෝධී සංක්‍රමණයට එරෙහිව පුළුල් මර්දන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් රිපබ්ලිකන් පක්ෂය පවසයි. එම වැඩපිළිවෙළේ ඇතැම් ක්‍රියාමාර්ග දැඩි මතභේදයට ද තුඩු දී තිබේ.

කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් පවතින කණස්සල්ල ද මෑත සති කිහිපයේදී වඩාත් උග්‍ර වී තිබේ. එය නියාමනය කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ දෙපක්ෂයේ ම දේශපාලනඥයින් එකඟතාව පළ කර ඇත. තාක්ෂණයේ සංවර්ධනය පාලනය කිරීම සඳහා නීති පැනවීම ප්‍රතික්ෂේප කර ඇති ට්‍රම්ප්ගේ ස්ථාවරයට එය පටහැනි ය.

මෙම මැතිවරණයෙන් තීරණය වන්නේ කුමක් ද?

ජනාධිපති ධූරය, අධිකරණය සහ, කොංග්‍රසය යනු ඇමෙරිකානු රජයේ ප්‍රධාන බලතල තුනෙන් එකකි. කොංග්‍රසයේ බලය නීති සම්පාදනය හැඩගැස්වීම සඳහා වැදගත් වේ.

දැනට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බලය හිමිව ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයට ය. එහෙත් එහි බහුතරය ඉතා සුළු එකකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 218ක් ඔවුන් සතු වන අතර, එය එහි බහුතර බලය පවත්වා ගැනීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාවයි. ඊට අමතරව, ඔවුන්ට සහය පළ කරමින් ඡන්දය භාවිත කරන ස්වාධීන මන්ත්‍රීවරයෙක් ද සිටියි.

සෙනෙට් සභාවේ ආසන 53ක් රිපබ්ලිකන් පක්ෂය සතු ය. එහි බලය වෙනස් වීමට නම්, ඩිමොක්‍රටික් පක්ෂය ආසන 51ක් දිනාගත යුතු ය. ඊට හේතුව, දෙපාර්ශවය ම ආසන 50 බැගින් දිනාගතහොත්, දැනට රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන උපජනාධිපතිවරයාට තීරණාත්මක ඡන්දය භාවිත කළ හැකි වීමයි.

විපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂය මන්ත්‍රී මණ්ඩල දෙකෙන් අවම වශයෙන් එකක හෝ බලය යළි දිනාගතහොත්, තමන්ගේ යෝජිත නීති සම්මත කර ගැනීම සඳහා ඒවා සභාවට ඉදිරිපත් කිරීමට ඔවුන්ට බලය ලැබෙනු ඇත.

කවුරුන් ජයගනු ඇති ද?

අතීතයේදී ඡන්ද දායකයින් ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරමින් එම පක්ෂයට "දඬුවම්" කිරීමට නැඹුරු වී තිබේ.

මෑතකාලීන ජනමත විමසුම්වලින් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයාට ඇති ජනතා අනුමැතිය පහළ මට්ටමක පවතින බවයි. ජනමත විමසුම් පිළිබඳ තොරතුරු සපයන 'Silver Bulletin' වෙබ් අඩවියට අනුව, සිය දෙවන ජනාධිපති ධූර කාලය ආරම්භයේදී ඔහුට සියයට 50කට මදක් වැඩි අනුමැතියක් හිමිව තිබිණි. එහෙත් ඔක්තෝබර් මුල වන විට එය සියයට 37ක් පමණ දක්වා පහත වැටී තිබිණි. මේ අතර, සියයට 61ක් ඔහුගේ ක්‍රියාකලාපය අනුමත නොකළහ.

කෙසේ වෙතත්, මන්ත්‍රී මණ්ඩල දෙකේ ම සියලු ආසන සඳහා තරගය තියුණු නොවේ. ඇතැම් ආසන රිපබ්ලිකන් හෝ ඩිමොක්‍රටික් පක්ෂය ජයගනු ඇතැයි සැලකෙන ආසන වේ.

බීබීසීයේ ඇමෙරිකානු හවුල්කරු වන සීබීඑස් පුවත් සේවය, අයෝවා සහ නිව් හැම්ප්ෂයර් වැනි ප්‍රාන්තවල සෙනෙට් සභා මැතිවරණ තරග 10ක් සහ ඇරිසෝනා හා ඔහයෝ වැනි ප්‍රාන්තවල නියෝජිත මන්ත්‍රී මණ්ඩල මැතිවරණ තරග 42ක් පිළිබඳව අවධානය යොමු කර තිබේ.

මෙවර මැතිවරණ ප්‍රතිඵලය කුමක් වේදැයි පුරෝකථනය කිරීම වඩාත් දුෂ්කර වී ඇත්තේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණ දිස්ත්‍රික්ක සීමා නිර්ණය කිරීම සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර පවතින ගැටුම හේතුවෙනි.

ඇතැම් ප්‍රාන්තවල තමන්ට වාසිදායක වන පරිදි මැතිවරණ දිස්ත්‍රික්ක සිතියම් සකස් කර වාසියක් අත්කර ගැනීමට රිපබ්ලිකන් පක්ෂය උත්සහ කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂය ද එවැනි ම පියවර ගත්තේ ය.

A composite image of Josh Turek, wearing a blue shirt with the first button undone and Ashley Hinson wearing a red t-shirt, a gold necklace and a red scarf
ඡායාරූප ශීර්ෂ වැකිය, අයෝවා ප්‍රාන්තයේ සෙනෙට් සභා ආසනය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ ජොෂ් ටුරෙක් සහ රිපබ්ලිකන් පක්ෂයේ ඈෂ්ලි හින්සන් අතර තියුණු තරගයක් පවතී

මෙය ට්‍රම්ප්ට කෙසේ බලපායි ද?

ඩිමොක්‍රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හෝ සෙනෙට් සභාවේ බලය දිනාගතහොත්, කොංග්‍රසය හරහා ඕනෑ ම නීතියක් සම්මත කර ගැනීම ට්‍රම්ප්ට දුෂ්කර වනු ඇත.

ඒ අනුව, ඔහුගේ දේශීය ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීම අඩාළ විය හැකි ය. කෙසේ වෙතත්, තම පක්ෂයේ පුළුල් සහයෝගය නොමැතිව වුව ද බලය ක්‍රියාත්මක කිරීමට ඔහු විවිධ ක්‍රම සොයාගෙන තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂයට මන්ත්‍රී මණ්ඩල දෙකෙන් එකක හෝ බලය හිමිවුවහොත්, ට්‍රම්ප්ගේ ජනාධිපති ධූර කාලයට අදාළ කරුණු විමර්ශනය කිරීම සඳහා කමිටු යොදා ගැනීමට ද ඔවුන්ට හැකි වනු ඇත. දූෂණ චෝදනා, ධවල මන්දිරයේ ඉදිකෙරෙන නව උත්සව ශාලාව සහ ICE (ආගමන හා රේගු බලාත්මක කිරීමේ ආයතනය) අනුගමනය කරන ක්‍රියාමාර්ග එවැනි විමර්ශනවලට ලක් විය හැකි ය.

ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සම්බන්ධයෙන් ද ඩිමොක්‍රටික් පක්ෂය තුළ සංවාදයක් පවතී. දෝෂාභියෝගයක් යනු, කොංග්‍රසය තුළ චෝදනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියක් වන අතර, එම චෝදනා පදනම් කරගෙන පැවැත්වෙන්නේ අපරාධ නඩු විභාගයක් නොව දේශපාලන ක්‍රියාවලියකි.

රිපබ්ලිකන් පක්ෂය කොංග්‍රසයේ බලය තවදුරටත් රඳවා ගතහොත්, සිය ධූර කාලයේ ඉතිරි කාලය තුළ තම සැලසුම් ඉදිරියට ගෙන යාමට ට්‍රම්ප්ට හැකි වනු ඇත.

2028 ජනාධිපතිවරණයට මෙය බලපාන්නේ කෙසේ ද?

මධ්‍යවාර මැතිවරණයේදී ජනාධිපතිවරයා සඳහා ඡන්දය ප්‍රකාශ නොකෙරෙන නමුත් තමන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග අනුමත කරන බව පෙන්වීමට තමන්ට ඡන්දය ලබා දෙන ලෙස සලකා රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ට්‍රම්ප් එම පක්ෂයේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා තිබේ.

මැතිවරණ ප්‍රතිඵල කුමක් වුවත්, ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ රට ගමන් කරන දිශාව පිළිබඳ ඡන්ද දායකයින්ගේ අදහස් මොනවා ද යන්න සම්බන්ධයෙන් තර්ක ඉදිරිපත් කිරීමට දේශපාලන විචාරකයින් එම ප්‍රතිඵල යොදාගනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.

ට්‍රම්ප්ට තුන්වන වරටත් ජනාධිපති ධූරයට තරග කළ නොහැකි ය. මධ්‍යකාලීන මැතිවරණයෙන් පසු, 2028 ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඔහු වෙනුවට ඉදිරිපත් විය හැක්කේ කවුරුන් ද යන්න පිළිබඳව මෙන් ම, ඩිමොක්‍රටික් පක්ෂයෙන් එම අපේක්ෂකයාට අභියෝග කළ හැක්කේ කවුරුන් ද යන්න පිළිබඳව ද අනුමාන කිරීම් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.

අතිරේක වාර්තාකරණය: ඩියර්ඩ්‍රි ෆිනර්ටි