ගෑස් සමාගම් තොග තිබෙන බව පැවසුවත් අලෙවිසල්වල ගෑස් හිඟයක් ඇයි?

Published
කියවීමේ කාලය: මිනිත්තු 5

දේශීය වෙළෙඳපොළ තුළ ගෘහස්ථ ගෑස් හිඟයක් පවතින බව ඉකුත් සති කිහිපය තුළ මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇතැම් ප්‍රදේශවලට ගෑස් සැපයීම ක්‍රමවත් ලෙස සිදු නොවන බව වෙළෙඳුන් පවසන අතර, ඒ හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව බීබීසී සිංහල කළ නිරීක්ෂණවලදී අනාවරණය විය.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී ද වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් ඇති වූ අතර, එහිදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ලාෆ්ස් ගෑස් සමාගම වෙළෙඳපොළට ප්‍රමාණවත් ලෙස ගෑස් නිකුත් නොකිරීම ඊට එක් හේතුවක් වූ බව ය.

මෑතක සිට වෙළෙඳපොළෙන් වාර්තා වන ගෑස් හිඟය හමුවේ සැපයුම අඩාළ වීමට හේතු වී ඇත්තේ කුමක් ද? යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

'සතියකට පස්සේ ගෑස් එකක් හම්බ වුණේ'

"දැන් සතියක විතර කාලයක් තිස්සේ අපට ගෑස් සිලින්ඩරයක් හොයා ගන්න විදිහක් තිබුණේ නැහැ. පහුගිය අඟහරුවාදා ගෑස් ලොරිය ආවට පස්සේ පෝලිමේ ඉඳලා අපිට ගෑස් එකක් ගන්න පුළුවන් වුණා. ඒ වුණාට ආපු ගෑස් ප්‍රමාණය අඩු නිසා සමහර අයට ගෑස් ලැබුණේ නැහැ."

කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන අරුණි, තමන් මුහුණ දුන් ගෑස් හිඟය පිළිබඳ අත්දැකීම බීබීසී සිංහල වෙත එලෙස විස්තර කළා ය.

බීබීසී සිංහල කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගෑස් අලෙවි මධ්‍යස්ථාන වෙත ගිය අවස්ථාවේදී නිරීක්ෂණය වූයේ ගෑස් තොග නොලැබීම හේතුවෙන් ඇතැම් අලෙවි මධ්‍යස්ථාන වසා දමා තිබූ බව ය.

පිටකෝට්ටේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පවත්වාගෙන යන ලිට්‍රෝ ගෑස් අලෙවි සලක අද (ඔක්. 29) පෙරවරුව වන විට ඉතිරිව තිබුණේ කිලෝග්‍රෑම් 5 බරැති ගෑස් සිලින්ඩර් 4ක් පමණි.

එහි සේවය කරන නම් සේවකයෙකු බීබීසී සිංහල වෙත පැවසුවේ, මීට පෙර දින දෙකෙන් දෙකට ගෑස් බෙදාහැරීම සිදු කළ ද මේ වන විට ගෑස් සැපයුමේ යම් ප්‍රමාදයක් දක්නට ලැබෙන බව ය.

"වෙනදට දවස් දෙකෙන් දෙකට ගෑස් එනවා. ඒත් දැන් එහෙම නැහැ. දවස් ගණනාවකට පස්සේ ඊයේ (ඔක්. 28) දවල් ගෑස් ටිකක් ආවා. ආව ගෑස්වලින් කිලෝ 12.5 සිලින්ඩර් ටික නම් රෑ වෙද්දී ඉවර වුණා. දැන් අපි ළඟ තියෙන්නේ කිලෝ 5 ගෑස් සිලින්ඩර් 4ක් විතරයි. මේ ටිකත් කොයි වෙලාවේ ඉවර වෙයි ද කියලා කියන්න බැහැ," ඔහු පැවසීය.

සති දෙකකින් අනතුරුව, ඉකුත් ඔක්තෝබර් 28 වන දා හැටන්, කොටගල ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයා වෙත ගෑස් තොග නිකුත් කර තිබූ බව බීබීසී සිංහල ප්‍රාදේශීය වාර්තාකරු වාර්තා කළේ ය. එම අවස්ථාවේදී ලිට්‍රෝ සමාගම සපයා තිබුණේ, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් 140ක් පමණක් බව සඳහන් විය.

'දැන් මිනිස්සු ගෑස් එනකල් පෝලිම්වල ඉන්නෙ නෑ'

2022 වසරේ ආර්ථික අර්බුදය හේතුවෙන් ගෑස් සහ ඉන්ධන පෝලිම් සුලභ දසුනක් වුව ද, වර්තමානයේ ගෑස් හිඟයක් පවතින බවට වාර්තා වුව ද එවැනි දිගු පෝලිම් දක්නට නොලැබෙන බව චානක නියෝමාල් බීබීසී සිංහල වෙත පැවසීය.

වෘත්තියෙන් කුලී රථ රියැදුරෙකු වන ඔහු සඳහන් කළේ, වසර කිහිපයකට පෙර දක්නට ලැබුණු තත්ත්වය මේ වන විට නොපවතින බව ය.

"මිනිස්සුන්ට පෝලිම්වල හිටියත් ගෑස් හම්බ වෙන්නේ නැති නිසා දැන් ඉස්සර වගේ පෝලිම්වල ඉන්නේ නැහැ. ඒ වුණාට ගෑස් ආවා ම පෝලිමේ ඉන්නවා. මමත් සතියකට කලින් ගෙදරට ගෑස් එකක් ගන්න පැය දෙකක් විතර පෝලිමේ හිටියා. හැබැයි එතනටත් ගෑස් ආවේ ටික යි," ඔහු පැවසීය.

ගෑස් හිඟයට හේතුව කුමක් ද?

දේශීය වෙළෙඳපොළ තුළ පවතින ගෑස් හිඟයට හේතුව කුමක් ද? යන්න පිළිබඳව බීබීසී සිංහල ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධනගෙන් විමසීමක් කළේ ය.

ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගෑස් නෞකාවක් දින කිහිපයක් ප්‍රමාද වූ නමුත් මේ වන විට සුපුරුදු පරිදි වෙළෙඳපොළට ගෑස් නිකුත් කරමින් සිටින බව ය.

"අපේ නැවක් සැප්තැම්බර් මාසයේදී දවස් දෙකක් ප්‍රමාද වුණා. සාමාන්‍යයෙන් දවසකට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 80,000ක පමණ ඉල්ලුමක් තියෙනවා. නමුත් පසුගිය දින තුන හතරක සිට අපි දවසකට ගෑස් සිලින්ඩර් ලක්ෂයක් පමණ වෙළෙඳපොළට නිකුත් කරනවා. ප්‍රධාන නගරවල නෙවෙයි, ටිකක් දුර බැහැර ප්‍රදේශ කිහිපයක තවමත් ගෑස් හිඟයක් පවතින්න පුළුවන්. අපි අවශ්‍ය ප්‍රමාණය නිකුත් කළත් ඒවා රට පුරා බෙදී යාමේ යම් ගැටලු තිබෙනවා," ඔහු පැවසීය.

ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ලිට්‍රෝ සමාගමට අමතරව වෙළෙඳපොළට ගෑස් සපයන ලාෆ්ස් සමාගම විසින් ප්‍රමාණවත් ගෑස් නිකුත් නොකිරීම ද මෙම තත්ත්වයට හේතු වී ඇති බව ය.

"පසුගිය මාසයේදී ලාෆ්ස් සමාගමේ ගෑස් සැපයුම ප්‍රමාණවත් වුණේ නැහැ. එවිට ඔවුන්ගෙන් ගෑස් ලබාගන්න හෝටල්, කර්මාන්ත ශාලා සහ නිෂ්පාදකයන්ටත් ගෑස් ලබාදීමේ වගකීම අපට පැවරෙනවා. සාමාන්‍යයෙන් අපි දවසකට ගෑස් මෙට්‍රික් ටොන් 1,100ක් පමණ වෙළෙඳපොළට නිකුත් කරනවා. නමුත් මේ දිනවල එය මෙට්‍රික් ටොන් 1,600ක් පමණ දක්වා වැඩි කර තිබෙනවා. මේ වන විට ගැටලුව ක්‍රමයෙන් නිරාකරණය වෙමින් පවතිනවා. අපගේ නෞකා කිහිපයක්ම මේ වන විට මෙරටට පැමිණ තිබෙනවා," ඔහු පැවසීය.

'ගෑස් මෙට්ට්‍රික් ටොන් 30,000ක් මාලදිවයිනට'

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෑස් මිල ගණන් ඉහළ ගොස් තිබුණ ද, එහි ඍජු බලපෑම පාරිභෝගිකයා වෙත එල්ල නොවන පරිදි එය කළමනාකරණය කිරීමට ලිට්‍රෝ සමාගම කටයුතු කරමින් සිටින බව චන්න ගුණවර්ධන සඳහන් කළේ ය.

"මාසිකව ලිට්‍රෝ ගෑස් සමාගම වෙළෙඳපොළට ගෑස් මෙට්‍රික් ටොන් 32,000ක් පමණ නිකුත් කරනවා. අද (ඔක්. 29) වන විට මාලදිවයින ආශ්‍රිත ගබඩා වෙත ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක් ගෙනවිත් තිබෙනවා. එහි සිටයි මෙරටට ගෑස් ප්‍රවාහනය කරන්නේ. ඒ නිසා ප්‍රමාණවත් ගෑස් තොග පවත්වාගෙන යාමට අපට හැකි වී තිබෙනවා.

දැනට මැදපෙරදිග පවතින තත්ත්වය යම් අභියෝගයක් වී තිබෙනවා. කෙසේ වෙතත් අපි එය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරමින් සිටිනවා. මිල ගණන් සම්බන්ධයෙන් පීඩනයක් තිබුණත්, ඒක ඍජුව ම පාරිභෝගිකයා මත පටවන්නෙ නැතුව මිල ස්ථාවරව පවත්වාගෙන යාමට අපි උත්සහ කරනවා," ඔහු පැවසීය.