ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කුමාර් සංගක්කාර සහ Ryanair අතර සිදුවූයේ කුමක් ද? සංගක්කාර බීබීසී සිංහල වෙත අදහස් දක්වයි
- Author, තාරක සම්මාන්
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 10
අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන් තොටුපොළේදී රයන්එයාර් (Ryanair) ගුවන් සේවයේ ගේට්ටු කාර්ය මණ්ඩලය තමන්ට සහ සිය පවුලේ සාමාජිකයින්ට "වෙනස් කොට සලකමින් තර්ජනාත්මක අයුරින්" හැසිරුණු බව ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
මෙම සිදුවීමත් සමග විවිධ රටවල ගමන් බලපත්ර හිමි පුද්ගලයින්ට විදෙස් ගමන්වලදී මුහුණ දීමට සිදුවන සැලකීම් පිළිබඳව සමාජ මාධ්ය තුළ කතාබහක් මතු වී තිබේ.
X සමාජ මාධ්යයේ සටහනක් තබමින්, මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩකයෙකු ලෙස සැලකෙන සංගක්කාර විමසා තිබුණේ, ඩබ්ලින්හිදී රයන්එයාර් ගුවන් සේවයේ ගේට්ටු කාර්ය මණ්ඩලයෙන් මෙවැනි සැලකීමකට මුහුණ දුන් වෙනත් මගීන් සිටින්නේ ද යන්නයි.
ඔහුගේ සටහනට ප්රතිචාර දක්වමින් සමාජ මාධ්ය පරිශීලකයෙකු සඳහන් කර තිබුණේ, "කණගාටුවට කරුණක් වුවත්, අපගේ සමේ වර්ණය හේතුවෙන් මෙවැනි දේ සිදුවීම ඉතා සාමාන්ය දෙයක් බවට පත්ව තිබේ. මෙය කණගාටුදායක තත්ත්වයක් වන අතර, අපගේ එදිනෙදා ජීවිතයේ ම කොටසක් බවට ද මෙය පත්ව ඇත," යනුවෙනි.
X සටහන
තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳව ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර තැබූ X සටහනේ දල සිංහල පරිවර්තනය මෙසේ ය:
"ඩබ්ලින්හි රයන්එයාර් ගුවන් සේවයේ ගේට්ටු කාර්ය මණ්ඩලයෙන් වෙනස් කොට සැලකීමකට ලක් වූ අත්දැකීම් තවත් කාට හෝ තිබෙනවා ද? මමත් මගේ පවුලේ අයත් දැන් එවැනි අත්දැකීමකට මුහුණ දුන්නා. ඒක ඇත්තට ම කම්පනයක්.
"අපට කතා කළ විලාසය, කටයුතු කළ ආකාරය සහ තර්ජනාත්මක හැසිරීම. කිසිදු මගියෙකුට [එවැනි සැලකීමක්] කිසිසේත් අනුමත කළ නොහැකියි. ඩබ්ලින්හිදී මට මුහුණ දීමට සිදු වූ පළමු අමිහිරි අත්දැකීම මෙයයි."
ඔක්තෝබර් 28 වන දින රාත්රී 7:54 ඔහු මෙම සටහන තබා තිබුණු අතර මිලියන හතරකට ආසන්න නැරඹුම් වාර සංඛ්යාවක් ඊට හිමිව ඇති බව Xහි දැක්වේ.
සංගක්කාර 2015 වසරේදී ජාත්යන්තර ක්රිකට් පිටියෙන් සමුගන්නා තෙක් වසර 15ක ක්රිකට් දිවියකට හිමිකම් කීවේ ය.
මේ වන විට ඔහු ස්කයි ස්පෝර්ට්ස් (Sky Sports) නාලිකාවේ ක්රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන අතර, ඉන්දියාවේ ජයිපූර් නගරය පදනම් කරගත් වෘත්තීය ක්රිකට් කණ්ඩායමක් වන රාජස්ථාන් රෝයල්ස් (Rajasthan Royals) කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.
2021 වසරේදී සංගක්කාර ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ "හෝල් ඔෆ් ෆේම්" (Hall of Fame) ගෞරව නාමාවලියට ඇතුළත් කෙරිණි. එහිදී ඔහු හඳුන්වා දී තිබුණේ "සිය පරම්පරාවේ බිහි වූ විශිෂ්ටතම පිතිකරුවන්ගෙන් අයෙකු" ලෙස ය.
ඔහුගේ මෙම X සටහනට අයර්ලන්ත ජාතික බවට තම ගිණුමේ සඳහන් කාන්තාව ප්රතිචාර දක්වා තිබිණි. එහිදී ඇය සඳහන් කර තිබුණේ;
"සෑම කෙනෙකුට ම එක හා සමානව සැලකීම වෙනස් කොට සැලකීමක් නොවෙයි. විශේෂ වරප්රසාද ලැබීමට පුරුදුව සිටින අයෙකුට එවැනි සැලකීමක් නිසා තමන්ට අසාධාරණයක් වූ බව හැඟුණත් එය වෙනස් වන්නේ නැහැ. කෙනෙකුගේ තත්ත්වය හෝ තරාතිරම නොසලකා හැරීම යනු මධ්යස්ථව කටයුතු කිරීම පමණයි. මිනිසුන් විශේෂ වරප්රසාද ලැබීමට පුරුදු වූ විට, සමානව සැලකීම පවා ඔවුන්ට වෙනස් කොට සැලකීමක් ලෙස හැඟෙනවා යැයි බුද්ධිමත් පුද්ගලයෙකු වරක් පවසා තිබෙනවා. රයන්එයාර් ගුවන් සේවය සුඛෝපභෝගී පහසුකම් සපයන බවට පොරොන්දු වන්නේ නැහැ."
ඊට ප්රතිචාර දක්වමින් සංගක්කාර සඳහන් කර තිබුණේ;
"'ඔබ වැනි පුද්ගලයින් සහ ඔබ වැනි ගමන් බලපත්ර හිමි අය මෙවැනි සැලකීමක් අපේක්ෂා කළ යුතු යි' යනුවෙන් අපට පැවසීමත්, එම පැහැදිලිව ම පිළිකුල්සහගත ප්රකාශයට අප විරෝධය පළ කළහොත්, අප අනෙකුත් මගීන්ට තර්ජනයක් ලෙස සලකා ගුවන් යානයට ගොඩවීමට ඉඩ නොදෙන බව පැවසීමත්, සියලු දෙනාට එක හා සමානව සැලකීමක් නොවෙයි. එය වර්ගවාදී හැසිරීමක්," යනුවෙනි.
කුමාර් සංගක්කාර බීබීසීයට කතා කරයි
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා බීබීසී සිංහල, කුමාර් සංගක්කාර දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය.
එහිදී, ඩබ්ලින්හිදී තමන් ඇතුළු පවුලේ සාමාජිකයින් මුහුණ දුන් අත්දැකීම ඔහු විස්තර කළේ ය.
"අපි ඩබ්ලින් ගියා දවස් දෙකකට. අපි බ්රිස්ටල් ඉඳන් ගියේ. රයන්එයාර් බුක් කරලා. මොක ද මිනිත්තු 45ක ෆ්ලයිට් එකක්. ඒක තමයි අපිට තියෙන ළඟ ම එයාර්පෝට් එක," ඔහු පැවසීය.
සංගක්කාර සඳහන් කළේ, ඒ සඳහා ඔවුන් ගැටලුවකින් තොරව අයර්ලන්ත වීසා ද ලබා ගත් බව ය.
"කිසි ප්රශ්නයක් තිබ්බේ නැහැ. ඩබ්ලින් හරි ම ලස්සන යි, හරි ම හොඳ යි, මිනිස්සුත් එහේ හරි ම හොඳයි," ඔහු සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, ඔවුන් මෙම ගැටලුවට මුහුණ දුන්නේ, ඔක්තෝබර් 28 වන දා ඩබ්ලින් සිට යළි බ්රිස්ටල් බලා පැමිණීමේදී බව ය.
"අපි රෙසිඩන්ට්ස්ලා නේ මෙහේ [එක්සත් රාජධානියේ], එතකොට අපට තියෙන්නේ e-Visa එකක්. ඉතින් e-Visa එක අපි හැම වෙලාවේ ම ට්රයි කරද්දී, අපි එක්කෝ පේජ් එක ඩවුන්ලෝඩ් කරලා, නැත්නම් ෂෙයාර් කෝඩ් එකක් අරගෙන ඒක පෙන්නනවා.
"UKවලට එද්දී ඕනෑ ම ඉන්ටර්නැෂනල් එකක මෙච්චර කල් ඒක තමයි ක්රමය. ඒක අපි හොඳට දන්නවා. ඒක කවදාවත් ප්රශ්නයක් වෙලා නැහැ. අපි චෙක්-ඉන් වෙද්දී හැම වෙලාවේ ම පෙන්නනවා.
"පෙන්නුවට පස්සේ ඒගොල්ලන්ට ෂෙයාර් කෝඩ් එක දුන්නා ම ඒගොල්ලන් ඒක ඔන්ලයින් චෙක් කරලා බලනවා ඔන්ලයින්, නැත්නම් වීසා පේජ් එක බලනවා," ඔහු සඳහන් කළේ ය.
ඔහු තවදුරටත් මෙසේ පැවසීය:
"ඉතින් අපි එයාර්පෝට් එකට යන්න ඉස්සෙල්ලා රයන්එයාර් ඇප් එකට ගිහිල්ලා චෙක්-ඉන් වෙන්න ඕනේ. එතකොට අපි හතර දෙනාගේ පාස්පෝට්ස් අප්ලෝඩ් කරන්න ඕනේ ඒ ඇප් එකට.
"ඊට පස්සේ ඒකෙන් අහනවා ඉලෙක්ට්රොනික් වීසා එකක් තියෙනව ද කියලා. 'ඔව්' කිව්වා ම ඒක දෙවිදිහකට වෙනවා; එක්කෝ 'Restricted Boarding Pass' දෙනවා (එතකොට වීසා ඩෙස්ක් එකට යන්න ඕනේ චෙක්-ඉන් වෙද්දී), නැත්නම් 'All Approved' කියලා බෝඩින් පාස් එකක් දෙනවා."
සංගක්කාර බීබීසී සිංහල සමග පැවසුවේ, ඒ අනුව කිසිදු ගැටලුවකින් තොරව ඔවුන්ට සාමාන්ය ගුවන් යානයට ගොඩවීමේ අවසර පත්ර (Boarding Pass) නිකුත් කළ බව ය.
"ඊට පස්සේ අපි එයාර්පෝට් එකට ගියා. එයාර්පෝට් එකට ගිහිල්ලා කොයි එකටත් කියලා ඒගොල්ලන්ගේ තියෙන 'Visa Check' ලයින් එකට ගියා ඩබල් චෙක් කරන්න.
"මොක ද අපේ බෝඩින් පාසස් තිබ්බත්, ඇප් එකෙන් ඒක ඔක්කොම ඇපෲ වුණත්, අපි ඩබල් චෙක් කරන්න ගියා වීසා ඩෙස්ක් එකට. අපිට චෙකින් බෑග්ස් තිබ්බේ නැහැ.
"හැබැයි වීසා චෙක් කරන්න අපි මෙතනට ගිහිල්ලා, මම එයාට කිව්වා "අපේ ශ්රී ලංකන් පාස්පෝට්ස් තියෙන්නේ, අපිට e-Visa තියෙනවා, අපි ඔන්ලයින් චෙක්-ඉන් වෙලා බෝඩින් පාසස් ටික ඇවිල්ලා තියෙන්නේ, ඒ නිසා ඔයා චෙක් කරන්න පුළුවන් ද අපේ e-Visa" කියලා."
ඔහු පැවසුවේ, එහිදී ගුවන් සේවා නිලධාරීන් තමන්ට පැහැදිලිව ම දැනුම් දුන්නේ සියලු ගොඩවීමේ අවසර පත්ර ලැබී ඇත්නම් සහ විදේශ ගමන් බලපත්ර ඉන්ටර්නෙට් ඔස්සේ අප්ලෝඩ් කර ඇත්නම්, එම ස්ථානයේදී තවදුරටත් පරීක්ෂා කිරීමට කිසිවක් නොමැති බව ය. ඒ අනුව, ආරක්ෂක පරීක්ෂාවෙන් පසු කිසිදු ගැටලුවකින් තොරව ගුවන් යානයට ගොඩවිය හැකි බව ද ඔවුන් දැනුම් දුන් බව ඔහු සඳහන් කළේ ය.
අදාළ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නිශ්චිත ක්රියාපටිපාටියක් පවතින බව සංගක්කාර පැවසුවේ ය. ගුවන් සේවා නිලධාරීන් එම ස්ථානයේදී පරීක්ෂාවක් අවශ්ය බව දැනුම් දුන්නේ නම්, තම විදේශ ගමන් බලපත්ර අංකය හෝ BRP අංකය එක්සත් රාජධානියේ රජයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කළ යුතු බව ඔහු සඳහන් කළේ ය.
ඉන් අනතුරුව, තම ජංගම දුරකතනයට ලැබෙන සත්යාපන කේතය ඇතුළත් කර, සිය ආගමන තත්ත්වය පරීක්ෂා කර ගැනීම සඳහා ෂෙයාර් කෝඩ් එකක් ලබා ගත යුතු බව ද ඔහු පැවසුවේ ය. එම ක්රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසු අදාළ තොරතුරු ඇතුළත් පිටුව පෙන්වන බව හෝ ෂෙයාර් කෝඩ් එකක් නිකුත් කරන බව ඔහු පැහැදිලි කළේ ය.
ඉන්ටර්නෙට් සම්බන්ධතාවයේ වේගය අනුව මෙම ක්රියාවලිය සඳහා ඇතැම් විට විනාඩි පහක් හෝ හයක් ගත වන බවත්, තම කුඩා දරුවන් දෙදෙනාගේ සත්යාපන කේත ද ලැබෙන්නේ තම ජංගම දුරකතනයට බවත් සංගක්කාර සඳහන් කළේ ය. ඒ අනුව, සිව්දෙනෙකුගෙන් යුත් තම පවුලේ සියලු දෙනාගේ තොරතුරු පරීක්ෂා කර ගැනීමට එම ක්රියාවලිය අනුගමනය කිරීමට සිදුවන බව ඔහු තවදුරටත් පැවසුවේ ය.
"ඊට පස්සේ අපි බෝඩිං ගේට් එකට ගියා. බෝඩිං ගේට් එකට ගිහිල්ලා අපි අපේ බෝඩිං පාසස් ස්කෑන් කරා. බෝඩිං පාස් එක අපි ස්කෑන් කරලා එතනට ගිහින්, ලයින් එකේ හිටියා බෝඩ් වෙන්න.
"එතකොට අපි හතර දෙනාගේ බෝඩින් පාසස් ස්කෑන් කළාට පස්සේ ඒ ලේඩි කිව්වා "ඕගොල්ලන්ගේ වීසා චෙක් කරන්න ඕනේ, මගේ කලීග් ඇවිල්ලා වීසා චෙක් කරයි" කියලා. ඉතින් මම කිව්වා "රයිට්, ඕකේ, දැන් මම චෙක් කරන්නම්" කියලා," ඔහු පැවසීය.
"දැන් අපි එතකොට e-Visa ඇක්සස් කරන්න ඕනේ. මම එතකොට එයාට කිව්වා "මේකට පොඩ්ඩක් වෙලා යනවා, අපි හතර දෙනාට මේක ඇක්සස් කරන්න. ඕගොල්ලන්ගේ වීසා චෙකින් ඩෙස්ක් එකට ගියා ම අපිට කිව්වා කිසි ම අවශ්යතාවක් නැහැ මේක චෙක් කරන්න කියලා. ඒක හින්දා පොඩ්ඩක් වෙලාව දෙන්න, මොක ද එතනින් කියපු එකයි ඕගොල්ලන් කියන එක යි දෙකක්," කියලා.
"දැන් අපි හතර දෙනා ම ඇක්සස් කරන්න ඕනේ... ඉස්සෙල්ලා මම, ඊට පස්සේ වයිෆ්ගේ, ඊට පස්සේ පොඩි දෙන්නගේ."
එලෙස එම ක්රියාවලිය ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේදී, එම කාන්තාව පැමිණ සියලු දෙනා ඉදිරියේ කෑගසමින්, "ඉක්මනින් ඒක කරන්න! එහෙම ඉක්මනින් කළේ නැත්නම් මම ඔබ ගුවන් යානයට ගොඩවීමේ කටයුතු නතර කරනවා" යනුවෙන් පැවසූ බව සංගක්කාර සඳහන් කළේ ය.
එහිදී තමන් අදාළ නිලධාරිනියට පැහැදිලි කළේ, වීසා පරීක්ෂා කරන පෝලිමට ගොස් ඒවා පරීක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී, විදේශ ගමන් බලපත්ර ඉන්ටර්නෙට් ඔස්සේ අප්ලෝඩ් කර ගොඩවීමේ අවසර පත්ර ලබාගෙන ඇති බැවින් තවදුරටත් පරීක්ෂාවක් අවශ්ය නොවන බවත්, ගුවන් යානයට ගොඩවීමට අවසර ලබා දී ඇති බවත් එහි නිලධාරීන් පැවසූ බව ය. එබැවින්, වීසා තොරතුරු වෙත ප්රවේශ වී ඒවා පෙන්වීමට අවශ්ය ක්රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා තමන්ට යම් කාලයක් අවශ්ය බව ඇයට දැනුම් දුන් බව ද සංගක්කාර පැවසුවේ ය.
ඊට පස්සේ [එයා] කිව්වා "එහෙනම් පැත්තකට වෙන්න, පැත්තකට වෙන්න, මම බෝඩින් ක්ලෝස් කරනවා කියලා. ඊට පස්සේ කිව්වා "You people with these kinds of passports should expect this" කියලා.
"මෙය සම්පූර්ණයෙන් ම ජාතිවාදී සිදුවීමක්," යනුවෙන් පැවසූ සංගක්කාර, තමන් කිසිදු අවස්ථාවක අදාළ ලේඛන පෙන්වීම ප්රතික්ෂේප නොකළ බවත්, ඉන්ටර්නෙට් ඔස්සේ වීසා තොරතුරු වෙත ප්රවේශ වීමේ ක්රියාවලිය සම්පූර්ණ කර ගැනීමට සුළු වේලාවක් ලබා දෙන ලෙස පමණක් ඉල්ලා සිටි බවත් සඳහන් කළේ ය.
"එතකොට මගේ වයිෆ් එයාට කිව්වා 'ඒක හරි ම අපහාසාත්මක ප්රකාශයක්' කියලා. එතකොට මාත් කිව්වා, 'ඔයාට පොඩ්ඩක් ඉන්න වෙනවා, මේකට යම් වෙලාවක් යන නිසා' කියලා."
එහිදී අදාළ නිලධාරිනිය තමන් තර්ක කරමින් ආක්රමණශීලී ලෙස හැසිරෙන බවට චෝදනා කරමින්, අනෙකුත් මගීන්ට තර්ජනයක් ලෙස සලකා තමන්ට ගුවන් යානයට ගොඩවීමේ අවසරය අවලංගු කරන බව පැවසූ බව සංගක්කාර සඳහන් කළේ ය.
"ඊට පස්සේ මම කිව්වා, ඒක ඔයාගේ වැඩක්. එතකොට මගේ වයිෆ් එයාට හරි ම කූල් විදිහට පැහැදිලි කළා 'ඩබ්ලින්වල මිනිස්සු කොච්චර හොඳ ද, අපිට කොච්චර හොඳට සැලකුව ද... හැබැයි පළවෙනි රූඩ් පර්සන් ඔයා' කියලා. 'ඔයා මිනිස්සුන්ට කතා කරන්න දැන ගන්න ඕනේ, මොක ද ඔක්කොම ඉස්සරහා කෑගහලා මෙහෙම මිනිස්සුන්ට සලකන එක හරි ම හොඳ නැති දෙයක්' කියලා.
ඉන් අනතුරුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්ය බැවින් අදාළ නිලධාරිනියගේ නම ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටි බව සංගක්කාර පැවසුවේ ය. එහෙත්, තම නම ලබා දීමට අවශ්යතාවක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමසීමක් හෝ තර්ක කිරීමක් සිදු කළහොත් තමන් තර්ජනයක් ලෙස සලකා ගුවන් යානයට ගොඩවීමේ අවසරය අවලංගු කරන බවත් ඇය පැවසූ බව ඔහු සඳහන් කළේ ය. පසුව තමන් ඇතුළු පවුලේ සාමාජිකයින් වීසා තොරතුරු ඩවුන්ලෝඩ් කර ඇයට පෙන්වා තිබේ. සියලු තොරතුරු නිවැරදි බව තහවුරු කර ගැනීමෙන් පසු, තමන්ගේ හැසිරීමෙන් ඔවුන් සාමාජිකයින් අපහසුතාවට පත්වූ බව ඇය අවබෝධ කරගත් අතර, අනතුරුව ඔවුන්ට ගුවන් යානයට ගොඩවීමට අවසර දුන් බව සංගක්කාර පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ, තමන් ඇතුළු පවුලේ සාමාජිකයින් සිව්දෙනාට ම ශ්රී ලාංකික විදේශ ගමන් බලපත්ර ඇති බවත්, තමන් එක්සත් රාජධානියේ රැකියාවක නිරත වන බැවින් එහි පදිංචි තත්ත්වය හිමිව ඇති බවත් ය.
එමෙන් ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු රයන්එයාර් සමූහය වෙත අන්තර්ජාලය ඔස්සේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
බ්රිස්ටල් සිට අයර්ලන්තය දක්වා ගමන් කිරීමට තමන්ට පහසු ම ගුවන් සේවා වන්නේ එයාර් ලින්ගස් සහ රයන්එයාර් බැවින් තමන් රයන්එයාර් ගුවන් සේවය තෝරාගත් බව ඔහු තවදුරටත් පැවසීය.
රයන්එයාර් ප්රතිචාරය
ප්රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල රයන්එයාර් සමූහයෙන් විමසීමක් කළේ ය.
ඊට ප්රතිචාර දක්වමින් එම සමූහය සඳහන් කළේ, "අනිවාර්ය ආගමන විගමන පරීක්ෂාවක් සිදු කළ ගේට්ටු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඉල්ලා සිටි අවස්ථාවේදී අදාළ මගියා අවශ්ය වීසා ලේඛන ඉදිරිපත් කිරීම ප්රතික්ෂේප කළ" බව ය.
"කෙසේ වෙතත්, පරීක්ෂාව අවසන් කර ඔහුට ගමන් කිරීමට අවශ්ය සුදුසුකම් ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු, ඔහු ඔක්තෝබර් 28 වන දා ඩබ්ලින් සිට බ්රිස්ටල් දක්වා වූ නියමිත ගුවන් ගමනට එක් විය," යනුවෙන් සමූහය වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම චෝදනාව සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර දැක්වූයේ, මෙවන් ප්රතිචාරයකි.
"ඒක සම්පූර්ණ බොරුවක්... ගොඩක් අය හිතන්නේ මම වීසා පෙන්නන්න බැහැ කියලා උමතුවෙන් හැසිරුණා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. එහෙනම් මම හැම දා ම යන යන තැන වීසා පෙන්නන්න බැහැ කියන්න ඕනේ," යනුවෙනි.
රයන්එයාර් යනු, අයර්ලන්තයේ මූලස්ථානය කරගත් යුරෝපයේ ප්රධාන අඩු වියදම් ගුවන් සේවා සමූහයකි. 1985 දී ආරම්භ කළ එය, අඩු ගාස්තු යටතේ කෙටි දුර ගුවන් ගමන් සඳහා ප්රසිද්ධියක් උසුලයි.
"යුරෝපයේ විශාලතම ගුවන් සේවා සමූහය ලෙස" සිය නිල වෙබ්අඩවියේ තමා හඳුන්වන රයන්එයාර් සතු ගුවන් යානා ගණන 647කි [2026 ඔක්තෝබර් 2 වන දා වන විට].
වසරකට මගීන් මිලියන 214ක් පමණ ප්රවාහනය කරන එම සමූහය, දිනකට ගුවන් ගමන් 3,800ක් පමණ ක්රියාත්මක කරන බව සමූහය පවසයි. රටවල් 35ක ගුවන් තොටුපොළ 220කට අධික සංඛ්යාවක් සමග සම්බන්ධතා පවත්වන එම සමූහය, ගුවන් යානා 650කට ආසන්න සංඛ්යාවකින් සමන්විත බලඇණියක් මෙහෙයවන බව එහි වෙබ් අඩවියේ වැඩිදුරටත් දැක්වේ.
සමාජ මාධ්ය කැළඹීම
කුමාර් සංගක්කාර Xහි තැබූ සටහනින් අනතුරුව එය ප්රබල සමාජ මාධ්ය කැළඹීමකට තුඩු දී තිබේ.
ව්යාපාරික සංජීව වීරවර්ණ ඊට ප්රතිචාර දක්වමින් මෙලෙස සඳහන් කර තිබිණි;
"කුමාර්, බටහිර රටවල සෑම තැනකදී ම මම වෙනස්කම්වලට ලක්වීමේ අත්දැකීම් ලබා තිබෙනවා. මම එහි වසර 16ක් ජීවත් වුණා. ඉන්පසුව තවත් වසර 25ක් පුරා වරින් වර එහි ගියා ආවා. නමුත් දැන් මම ඒ සියල්ලෙන් ඉවත් වෙලා ඉවරයි. ඒ ගැන මට පොඩ්ඩක්වත් පාළුවක් දැනෙන්නේ නැහැ. මට අත්යවශ්ය කාරණයකට යන්න වුණොත් විතරක් යනවා. මට කිසි ම අවශ්යතාවක් නැහැ, කෙනෙකුගෙන් පහත් සහ අගෞරවනීය විදිහට සැලකුම් ලබමින් ඒ සියල්ල ඉවසගෙන ඉන්න."
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝස් මැතිව්ස් ද අදහස් දක්වමින් පවසා තිබුණේ; "ඔවුන් දැන් තමන්ගේ ජාතිවාදී ආකල්ප සඟවා ගැනීමටවත් උත්සහ කරන්නේ නැහැ. ඔවුන් ඒවා ප්රසිද්ධියේ ම ප්රකාශ කරන අතර, කනගාටුවට කරුණ නම් ඒ පිළිබඳව ආඩම්බර වන බවක් ද පෙනෙන්නට තිබීමයි. මෙවැනි ආකල්ප තවමත් මෙතරම් විවෘතව ප්රකාශ වීම කනගාටුවට කරුණක්," යනුවෙනි.
බ්රිතාන්යයේ ප්රවීණ මාධ්යවේදියෙකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන පියර්ස් මෝගන් ද සංගක්කාර තැබූ සටහන නැවත පළ කර රයන්එයාර්හි X ගිණුම ද සඳහන් කරමින් මෙලෙස පවසා තිබිණි;
"කුමාර් තරම් විනීත සහ ගෞරවාන්විත පුද්ගලයෙකු මට හමුවී ඇත්තේ ඉතා කලාතුරකින්. ඔහුට මෙවැනි ප්රකාශයක් කිරීමට සිදුවී ඇත්නම්, එය සැබවින් ම ලැජ්ජාසහගත හැසිරීමක් විය යුතුයි. මේ සම්බන්ධයෙන් කඩිනමින් සහ නිසි පියවර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා."
ඉන් නොනැවතී, ශ්රී ලාංකිකයින් ඇතුළු විවිධ රටවල පරිශීලකයින්, කුමාර් සංගක්කාරට මුහුණ දීමට සිදු වූ මෙම අත්දැකීම සම්බන්ධයෙන් රයන්එයාර් සමූහය සමාජ මාධ්ය ඔස්සේ දැඩි ලෙස විවේචනය කරනු දක්නට ලැබිණි.
"කනගාටුවට කරුණ නම්, මෙය දුඹුරු සමක් ඇති පුද්ගලයින්ට අලුත් හෝ කලාතුරකින් සිදුවන දෙයක් නොවීමයි. මෙවැනි සිදුවීම් ඔවුන්ට දෛනිකව මුහුණ දීමට සිදුවනවා. බ්රසල්ස්හිදී එම ගුවන් සමාගමෙන් ම මටත් මීට සමාන අත්දැකීමකට මුහුණ දීමට සිදුවුණා," එක් පරිශීලකයෙක් ලිවීය.
එම මතභේදය තවත් තීව්ර වූයේ රයන්එයාර් සමාගම සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනක් හේතුවෙනි.
කොණ්ඩය කපා ගැනීමට සූදානමින් සිටින සිංහයෙකුගේ රුවක් ඇතුළත් එම පෝස්ටුවේ, "bring back skin fades" සහ "labs at the barber before the Ibiza flight" යනුවෙන් සඳහන් කර තිබිණි.
ඉන් අනතුරුව, එම පෝස්ටුවට අදහස් දැක්වීම් 9,000කට අධික සංඛ්යාවක් ලැබී තිබූ අතර, ඒවායින් බහුතරයකින් ශ්රී ලාංකික ෆේස්බුක් පරිශීලකයින් රයන්එයාර් සමාගමේ මෙම ක්රියාකලාපයට දැඩි විරෝධය පළ ඒවා විය.
මෙම ලිපිය පළ වන මොහොත වන විට ඊට අදහස් එක් වෙමින් තිබේ.
ඉන් එක් සටහනක 'අඩු මිලට ගුවන් ගමන් සපයන ගුවන් සමාගමෙන් සහ එහි සේවය කරන පුද්ගලයින්ගෙන් මීට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?' යනුවෙන් සඳහන් විය.
තවත් පරිශීලිකයින් සඳහන් කර තිබුණේ, තම ගුවන් ගමන් සඳහා මෙම ගුවන් සේවය "තෝරා නොගන්නා" ලෙස ය.
"ඔයාලට පිස්සු හැදිල ද? ලෝක ප්රසිද්ධ ක්රිකට් ක්රීඩකයෙකුට මේ විදිහට සලකන්න? මොන දේ සිදු වුණත් සංගා කියන්නේ අපේ ම කෙනෙක්. තමන් කවුරු කියලා හිතාගෙන ද මේ විදිහට හැසිරෙන්නේ?," තවත් පරිශීලිකයෙක් ලිවීය.