පෞද්ගලික ඉන්ධන සමාගම් ඩීසල් බෙදා හැරීම සීමා කර ඇත්තේ ඇයි?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සැපයුම සිදුකරනු ලබන පෞද්ගලික සමාගම් විසින් එම ඉන්ධන සැපයුම් සීමා කිරීමක් සිදු කර තිබේ.

ඒ අනුව, ලංකා IOC සමාගම, සයිනොපෙක් සමාගම සහ ආර්.එම්. පාර්ක් සමාගම එසේ ඩීසල් නිකුත් කිරීම සීමා කර ඇති අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව සුපුරුදු පරිදි ඩීසල් බෙදාහැරීම කරයි.

මැදපෙරදිග පවතින යුද්ධය සමග ම ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීමට රජය විසින් ඉන්ධන සඳහා ලබා දුන් සහනාධාරය ජූනි මාසයෙන් අවසන් වීම හේතුවෙන් මෙසේ ඩීසල් නිකුත් කිරීම පෞද්ගලික සමාගම් විසින් සීමා කරනු ලැබ තිබේ.

මාස 3කට ලබා දුන් ඉන්ධන සහනාධාරය

ඉරානයේ පවතින යුදමය වතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහල යාම පාලනය කිරීමට රජය විසින් මාස 3ක කාලයක් සඳහා අප්‍රේල් මාසයේ සිට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගනු ලැබී ය.

ඩීසල් ලීට­ර­ය­කට රුපි­යල් 100ක සහ පෙට්‍රල් ලීට­ර­ය­කට රුපි­යල් 20ක සහ­න­යක් ලෙස එම සහනාධාරය ලබා දුන් අතර ඒ සඳහා රුපි­යල් බිලි­යන 57ක මුද­ලක් වෙන් කෙරිණි.

එම සහනාධාරය ජූනි මාසයෙන් අවසන් වූ අතර එසේ සහනාධාරයක් ලබා දෙනු ලැබූව ද ඩීසල් සහ පෙට්‍රල්වලින් අලාභයක් ලබන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ජූනි මාසයේ දී බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

'ඒ සහනාධාරය ලැබෙන්නේ නැති ආරංචියක් තමයි තියෙන්නේ'

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් විමසීමක් සිදු කරන ලදී.

"මේ වෙනකොට රටේ ඉන්ධන ව්‍යාපරයේ නියැලෙන ඉන්ධන සමාගම් තුනට ම විශාල අලාභයක් විදීමට සිදුවෙලා තියෙනවා, මොකද පහුගිය කාලේ රජය මගින් සහනාධාරයක් දුන්නා, ඒ සහනාධාරය ලැබෙන්නේ නැති ආරංචියක් තමයි තියෙන්නේ. එතකොට ඒ සමාගම්වලට විශාල අලාභයක් දැරීමට සිද්ධ වෙන නිසා, මහජනතාවට ලබා දීමත් එක පැත්තක් නිසා ඔවුන් සීමා සහිතව ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් තොග ලබා දීමට කටයුතු කරගෙන යනවා," යැයි ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ විධායක කමිටු අධ්‍යක්ෂ ශාන්ත සිල්වා බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.

මීට ඉහත දී ඉන්ධනහල් විසින් ඇණවුම් කරනු ලබන ප්‍රමාණයට ඩීසල් තොග නිකුත් කරනු ලැබුව ද මේ වන විට අදාළ සමාගම් විසින් ඇණවුම් කරන ප්‍රමාණය ම ලබා නොදෙන බව ඔහු පැවසීය.

ඉන්ධනහල් දැනටත් විශාල අලාභයක් ලබන බව කී ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ විධායක කමිටු අධ්‍යක්ෂවරයා මෙම ක්‍රියාමාර්ගය හමුවේ අලාභය තීව්‍ර වී ඇති බව සඳහන් කළේ ය.

ඩීසල් ලබා දීම සීමා කිරීම හමුවේ ඉන්ධන හිඟයක් ඇති නොවුන ද ඇතැම් අවස්ථාවලදී ඩීසල් ලබා ගැනීමේ අපහසුතාවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ විධායක කමිටු අධ්‍යක්ෂ ශාන්ත සිල්වා සැක පළ කළේ ය.

'ඩීසල් රටේ තියෙනවා. ඒගොල්ලෝ ෂෙඩ්වලට දෙන්නේ නැති එක තියෙන්නේ'

පෞද්ගලික සමාගම් ඩීසල් බෙදා හැරීම සීමා කර තිබුණ ද ඉන්ධන හිඟයක් ඇති විමේ අවදානමක් නොමැති බවත් අවශ්‍ය තරමට ඩීසල් තොග මෙරට පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී.ජේ. රාජකරුණා බීබීසී සිංහල සේවයට පැවසීය.

"ඩීසල් රටේ තියෙනවා. ඒගොල්ලෝ ෂෙඩ්වලට දෙන්නේ නැති එක තියෙන්නේ. ඒගොල්ලෝ ගාවත් තෙල් තියෙනවා. තෙල්වල හිඟයක් නැහැ. ඒගොල්ලෝ පාඩු හින්දා වෙනදා 100ක් නිකුත් කළා නම් අද නිකුත් කරන්නේ 50යි ඉතුරු ටික තියාගෙන ඉන්නවා," ඔහු පැවසීය.

පවතින තත්ත්වයට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මුහුණ දිය හැකි බවත්, ඇතැම් ප්‍රදේශවල තෙල් ලැබීම අඩුවුවහොත් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් සලකා බලමින් සිටින බව ද සභාපතිවරයා කියා සිටියේ ය.

'ගිවිසුම් අනුව ඉන්ධන බෙදා හැරීම සීමා කරන්න බැහැ'

පෞද්ගලික ඉන්ධන ගෙන්වා බෙදාහරින සමාගම් හා රජය විසින් ඇති කරගෙන තිබෙන ගිවිසුම්වලට අනුව ඉන්ධන බෙදා හැරීම සීමා කිරීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් රසල් අපොන්සු බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ය.

මීට ඉහත ද එලෙස ඉන්ධන බෙදා හැරීම සීමා කළ අවස්ථාවක දී ගිවිස ගෙන ඇති පරිදි ඉන්ධන හලක තබා ගත යුතු අවම ඉන්ධන ප්‍රමාණය පවත්වාගෙන යන ලෙස දැනුම් දුන් බව ද ලේකම්වරයා පැවසීය.

"අපිට ඊයේ තමයි වාර්තා වුණේ මෙහෙම තැන් කිහිපයක වෙනවා කියලා. අපේ පැත්තෙන් තියෙන්නේ මේක ඒගොල්ලන්ට දැනුම් දෙන එක තමයි අවම කොන්ටිටි එක මේන්ටේන් කරන්න ඕනේ කියලා. අපිට තවම සාකච්ඡාවකට ආවේ නැහැ. අපි දැනුම් දීම කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒගොල්ලන්ට බැහැ එහෙම ගිවිසුම් අනුව ඔය විදියට පාලනය කරන්න," බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියේ ය.

කෙසේ වෙතත් මාස 3ක කාලයක් සඳහා ලබා දුන් සහනාධාරය ඉදරියටත් ලබා දීම සම්බන්ධව රජය තීරණයක් ගෙන නොමැති බව ද ඔහු පැවසීය.

අදාළ පෞද්ගලික සමාගම්වලට ඛනිජ තෙල් සංස්ථාව විසින් තීරණය කර ඇති මිලට ඉන්ධන ලබා දිය හැකියාවක් නොමැති නම් තරගකාරී මිලකට ඉන්ධන අලෙවි කිරීමේ අවස්ථාව පවතින බව ද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.