ක්‍රිකට් නිලවරණය ප්‍රමාද වුවහොත් ශ්‍රී ලංකාවට සිදුවන්නේ කුමක් ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

එඩින්බරෝහි පැවති වාර්ෂික මණ්ඩල රැස්වීම් අවසානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා ක්‍රිකට් පාලනය, සාමාජිකත්වය සහ සාමාජික ආධාර සම්බන්ධ තීරණ රැසක් අනුමත කරනු ලැබීය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා තිබේ. එය ඔවුන් දක්වා ඇති ප්‍රමුඛ අවශ්‍යතාවකි.

ඒ අනුව, නිලවරණය පවත්වා අවසන් වනතුරු ICC මණ්ඩල රැස්වීම්වලට සහභාගී වීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව තවදුරටත් අහිමි වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ලබා ඇති ප්‍රගතිය ICCය නිරීක්ෂණය කරමින් සිටියි.

"ICC මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කෙරුණු අතර, සංශෝධිත ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ප්‍රගතිය එහිදී නිරීක්ෂණය විය. හැකි ඉක්මනින් නිලවරණය පැවැත්වීමේ අවශ්‍යතාව මණ්ඩලය නැවත අවධාරණය කළ අතර, එතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICC මණ්ඩල රැස්වීම් නියෝජනය කිරීමට ඇති නොහැකියාව තාවකාලිකව තවදුරටත් බලපැවැත්වෙන පරිදි පවත්වාගෙන යාමට එකඟ වියක්," යනුවෙන් ICC ය නිවේදනය කළේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. ICCය විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ, එවැනි පසුබිමක් තුළයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පසුගිය මැයි මාසයේදී ඉල්ලා අස්වූ අතර අනතුරුව එහි පාලනය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව වෙත පැවරිණි.

කලක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් බොහෝ දෙනෙකු ඉල්ලා සිටි අතර මේවන විට ක්‍රිකට් පරිවර්තන කමිටුව ඒ සඳහා ප්‍රවේශයක් ගෙන තිබේ.

නව ව්‍යවස්ථාවක් සැකසීම

ඉකුත් ජුනි 25 වන දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමේ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න, කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් සහ ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් පැහැදිලි කළේ ය.

නව ව්‍යවස්ථාව අනුමත කර ගැනීමේ කාර්ය සඳහා නිෂ්චිත කාලරාමුවක් ප්‍රකාශ කළ නොහැකි වුවත්, වේගවත් ක්‍රියාවලියක් තුළින් හැකි ඉක්මනින් එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් පරිවර්තන කමිටුව අනාවරණය කර සිටියේ ය.

"ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එක්ක බොහොම සාර්ථක සාකච්ඡාවක් තිබ්බා. අපි ඒගොල්ලන්ට පැහැදිලි කලා අපි යන මාර්ගය," ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න කියා සිටියේ, නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවට හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව ය.

ජූලි මසදී කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

අනතුරුව ඒ සඳහා විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට මහජනතාවට සති දෙකක කාලයක් ලැබෙනු ඇත.

කෙටුම්පත දෙවන වර හා තෙවනවර කියවීමෙන් පසු එය පාර්ලිමේන්තුවේදී සම්මත වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු බාධාවකින් හෝ අවහිරතාවකින් තොරව සියලු ම මූල්‍ය බැඳීම් සහ පරිපාලන කටයුතු ඉටු කරමින්, තම එදිනෙදා මෙහෙයුම් කටයුතු අඛණ්ඩව කරගෙන යනු ලබයි.

සැපයුම්කරුවන්, සේවා සපයන්නන්, සේවකයින්, ක්‍රීඩකයින් සහ අනෙකුත් සියලු ම පාර්ශවකරුවන් සඳහා නියමිත වේලාවට ගෙවීම් පියවීම ද මෙයට ඇතුළත් වේ.

ඉදිරි තරගාවලිවලට බලපෑමක් වෙයි ද?

පාලන තන්ත්‍රයේ ස්ථාවරභාවය තහවුරු කිරීම සඳහා හැකි ඉක්මනින් නිලවරණයක් පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැඩිව අවධාරණය කරන කරුණකි.

ඉදිරි මාස 6 තුළ (2026 ජූලි සිට 2027 ජනවාරි දක්වා) ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ප්‍රධානතම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි වන්නේ, පකිස්ථාන කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සහ ඉන්දීය පිරිමි කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයයි. එමෙන් ම LPL තරගාවලිය ද හෙටින් ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, ඉදිරි තරගාවලි සහ තරග සංචාර පැවැත්වීමට මෙම තත්ත්වය බලපෑමක් නොවන බවයි.

එහෙත්, මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී ශ්‍රී ලංකාවට අහිතකර බලපෑම් ද ඇති බව ක්‍රිකට් විචාරයකින් පෙන්දු දුන්නේ ය.

1. ICC රැස්වීම්වල නියෝජනය සහ ඡන්ද අයිතිය අහිමි වීම

නිලවරණයක් පවත්වන තෙක් ICC මණ්ඩල රැස්වීම් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව තවදුරටත් අහිමිවනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක ක්‍රිකට් පරිපාලනයේ වැදගත් තීරණ ගැනීමේදී ශ්‍රී ලංකාවට ඇති බලය සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් ම අහිමි වී යයි.

2. ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහන් කෙරෙහි ඇති බලපෑම

ICC මණ්ඩලය තුළ ශ්‍රී ලංකාවට හඬක් නොමැති වීම හේතුවෙන්, අනාගත ද්විපාර්ශ්වික තරගාවලි සහ ජාත්‍යන්තර සංචාර සැලසුම් කිරීමේදී ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයන් ඇති විය හැක. විශේෂයෙන් ම ප්‍රධාන කණ්ඩායම් සමග තරග ලබා ගැනීමේ අවස්ථා මින් සීමා විය හැකිය.

3. මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීම හෝ පාලනය කිරීම

ICC වෙතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්ෂිකව ලැබීමට නියමිත මූල්‍ය ප්‍රතිපාදන සහ ලාභාංශ (ICC Funds) සීමා කිරීමට හෝ අත්හිටුවීමට ඉඩ ඇත. එසේ වුවහොත් දේශීය ක්‍රිකට් සංවර්ධන කටයුතුවලට සහ ක්‍රීඩාංගණ නඩත්තුවට දැඩි මූල්‍ය අර්බුද එල්ල වනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කරයි.

මෙරට ප්‍රධාන ක්‍රීඩා සමාජ 26ක් ඇති අතර, ඒ සඳහා වාර්ෂිකව ක්‍රිකට් ආයතනය මගින් අරමුදල් සපයනු ලබයි. ඒ අනුව මෙය ප්‍රාදේශීය වශයෙන් ඇති ක්‍රීඩා සමාජවලට ද බලපෑමක් එල්ල කරනු ඇත.

කෙසේ වෙතත්, ක්‍රිකට් පරිවර්තන කමිටුව පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය "මූල්‍ය අර්බුදයකට" මුහුණ දී සිටින බවට ඇතැම් මාධ්‍ය වාර්තා මගින් සිදු කරන ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බව එම ආයතනය මීට පෙර අවධාරණය කර තිබිණි.

4. පූර්ණ සාමාජිකත්වය අහිමි වීමේ අවදානම

ICCහි ප්‍රධානතම කොන්දේසියක් වන්නේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නිලධාරී මණ්ඩලයක් විසින් ක්‍රිකට් පාලනය කිරීමයි. මෙම කොන්දේසි දිගින් දිගට ම පැහැර හැරියහොත් ශ්‍රී ලංකාවට ඇති "පූර්ණ සාමාජික" තත්ත්වය සමාලෝචනය කර, එය අත්හිටුවීමට පවා ICC මණ්ඩලයට හැකියාව පවතී.

කෙසේ වෙතත්, දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එදිනෙදා පරිපාලන සහ මූල්‍ය කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර, මෙම අවදානම්වලින් මිදීම සඳහා නව ව්‍යවස්ථාවක් යටතේ කඩිනමින් නිලවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය වනු ඇත.