ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුරේෂ් සලේගේ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලමින් කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලේ එම පෙත්සම ගොනු කර තිබිණි.
සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම අතරමැදි පෙත්සම තුළින් කාදිනල් හිමි කියා සිටින්නේ, පෙත්සම්කාර සුරේෂ් සලේ ඉදිරිපත් කළ නඩුකරය හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ස්වාධීනභාවය මෙන් ම ඵලදායීතාවට බලපෑමක් සිදුවිය හැකි බැවින් වින්දිතයයින්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා ඊට මැදිහත්වීමට අධිකරණයේ අවසරය ඉල්ලා සිටින බව ය.
පෙත්සමේ සඳහන් කරුණු මොනවා ද?
පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර ඉන්දීය බුද්ධි අංශ ඒ පිළිබඳව තුන් වතාවක් මෙරට බලධාරීන් දැනුවත් කර තිබූ බව මාධ්‍යවලින් ප්‍රකාශ කර තිබුණේ යැයි සඳහන් කරන අතරමැදි පෙත්සම්කාර කාදිනල් හිමි එය වැළැක්වීමට බලධාරීන් අවශ්‍ය පියවර නොගත් බවටත් චෝදනා කර තිබේ.
කතෝලික බැතිමතුන් සහ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල විය හැකි බවට ඉදිරිපත් වූ බුද්ධි වාර්තා පිළිබඳව කොළඹ අගරදගුරු හිමි සහ කිතුණු පූජකවරුන් දැනුවත් කිරීමක් කර නොතිබූ බව ද පෙත්සමේ සඳහන් වෙයි.
බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවට ප්‍රකාශයක් සිදු කළ අසාද් මවුලානා නමැති පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරය සහ ඊට පෙත්සම්කාර සුරේෂ් සලේ සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබෙන බවත් ඒ පිළිබඳව විමර්ශනය සිදුකිරීම අවශ්‍ය බවත් කාදිනල් හිමි තවදුරටත් සඳහන් කරයි.
2024 වසරේ ඔක්තෝබර් 4 වන දා රොහාන් සිල්වා පියතුමා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද එහි දැක්වේ.
මෙම තත්ත්වය යටතේ පෙත්සම්කාර සුරේෂ් සලේ ඉල්ලා සිටින සහනය අධිකරණය මගින් ප්රදානය කළහොත් ඉන් අගතියට පත් වූවන්ගේ අයිතිවාසිකම්වලට බලපෑම් සිදුවිය හැකි බව ද මෙම පෙත්සම මගින් පෙන්වා දී තිබේ.
ඒ අනුව, පෙත්සම්කාර සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස ද එම පෙත්සම මුල් අවස්ථාවේදී ම නිෂ්ප්‍රභ කරන ලෙසත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.