වන සතුන්ගේ මස් හා ඉබ්බන් ළඟ තබාගත් ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන කපු මහතාට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි නියෝග

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ගෝන මස්, කැබැල්ලෑ මස්, මීමින්නා මස්, ඉබි මස්, ඉබි බිත්තර 14ක්, ගල් ඉබ්බන් හය දෙනෙකු සහ ඇත් දළ කොටස්වලින් සකස් කළ පළඳනාවක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේ ප්‍රධාන කපු මහතාට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනු කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි අද (ඔක්. 26) රිටිගල වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයාට නියෝග කළා ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු මේ වන විට ඇප මත මුදා හැර සිටියි.

මෙම නඩුව මෙහෙය වීම සඳහා මීළඟ නඩු දිනයේ සිට නීතිපතිවරයාගේ උපදෙස් මත රජයේ නීතිඥවරයෙකුගේ සහය ලබා ගන්නා ලෙස ද අඩවි ආරක්ෂකවරයාට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය, නඩුව යළි 2027 පෙබරවාරි 12 වන දා කැඳවීමට ද නියෝග කළා ය.

මෙහිදී අධිකරණය මීට පෙර ලබා දුන් නියෝගයකට අනුව, සැකකාර ප්‍රධාන කපු මහතා සමග වනජීවී නිලධාරීන් භාරයට ගත් විවිධ වන සතුන්ගේ මස් වර්ග සම්බන්ධ විශේෂඥ වාර්තා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

තව ද සැකකරුගේ ජංගම දුරකතනයට ලැබුණු සහ ඉන් ලබාගත් ඇමතුම් සම්බන්ධ දුරකතන විශ්ලේෂණ වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත්, ප්‍රධාන සැකකාර කපු මහතා සහ වන සතුන්ගේ මස් වර්ග භාරයට ගැනීමේ වැටලීම වීඩියෝගත කළ වනජීවී නිලධාරීන්ට අයත් ස්මාර්ට් ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය මීට පෙර රිටිගල වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයාට නියෝග කර තිබුණු නමුත් එම රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබී නොතිබිණි.

'මස් සහ ඉබි බිත්තර ළඟ තියන් හිටියේ ජූජාවකට'

මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේ අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ අධිකරණයට පැවසුවේ, මැරීමට තහනම් දුර්ලභ වන සතුන්ගේ මස් වර්ග, ජීවී ගල් ඉබ්බන් සහ ඉබි බිත්තර සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු පරස්පර ප්‍රකාශ සිදු කර ඇති බව ය.

සැකකරු තමන් සන්තකයේ තිබූ මස් වෙනත් පාර්ශ්වයක් විසින් ලබා දෙන ලද බව හැඟවීමට දැනුවත්ව උත්සහ කරන බවට ද අඩවි ආරක්ෂකවරයා එදින අධිකරණයට පැවසීය.

කෙසේ වෙතත්, සැකකාර කපුවා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න සිය මූලික කරුණු දැක්වීමේදී කියා සිටියේ, සැකකරු වන සතුන්ගේ මස් වර්ග, ජීවී ගල් ඉබ්බන් සහ ඉබි බිත්තර ළඟ තබාගෙන සිටියේ පූජාවක් සඳහා ලබා ගැනීමට බව ය.

මස් වර්ග ඇතුළු සෙසු දෑ සැකකරුට වෙනත් පාර්ශ්වයක් විසින් ලබා දෙන ලද ඒවා බව ද ජනාධිපති නීතිඥවරයා පැවසීය.

කපුවා සමග විවිධ වන සතුන්ගේ මස් වර්ග අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික කරුණු දක්වමින් අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ කියා සිටියේ, මෙරට බෞද්ධ ජනතාව ඩහදිය මහන්සියෙන් උපයා පූජා කළ මුදල් හේතුවෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ මහ මළුවේ ප්‍රධාන කපුවා මහතා ලෙස කටයුතු කළ සැකකරු බලවත් ධනවතෙකු බවට පත්ව ඇති බවයි.

එම ධනයෙන් ලැබුණු බලය සහ විවිධ තරාතිරම්වල පුද්ගලයන් සමග ඇති සබඳතා උපයෝගී කර ගනිමින් සැකකරු විමර්ශනවලට බලපෑම් කර ඒවා විකෘති කිරීමට උත්සහ දරන බවට ද අඩවි ආරක්ෂකවරයා චෝදනා කළේ ය.

පැමිණිල්ල වෙනුවෙන් රිටිගල වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී. රාමසිංහගේ උපදෙස් මත වනසත්ව අඩවි සහකාර සමන් සෙනෙවිරත්න පෙනී සිටියේ ය.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න සමග නීතිඥ මදාරා විජේසිංහ, නීතිඥ එෂාන් අචින්ත ද සිල්වා සහ නීතිඥ සෙනාල් මතුගම යන නීතිඥවරු පෙනී සිටියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට ඇප මත මුදා හැර සිටින්නේ, අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ මහ මළුවේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන, අනුරාධපුර විහාරපාලුගම, විහාර කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි මංජු හෙවත් බෝධියාගේ ජයවර්ධන නමැත්තා ය.