ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'කකුල් දෙකෙන් ඇවිදන් ගිය මනුස්සයා ආපහු ආවේ, උස්සගෙන': හෝමාගම පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ඉෂාරගේ කතාව
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
"ගහලා මැරුවේ.. එයාට කිසි ම ලෙඩක් තිබුණේ නෑ. කකුල් දෙකෙන් ඇවිදන් ගිය මනුස්සයෙක් එනකොට කොහොම ද උස්සගෙන එන්නේ. තිරිසනෙකුට වගේ ගහන්න ඇති බඩවල්වල නිල් පැල්ලම්, කටෙන් ලේ පැනලා."
හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාරගේ බිරිඳ වන පියුමි නිසංසලා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ, පොලිස් පහර දීම හේතුවෙන් තම සැමියා මිය ගිය බව ය.
හෝමාගම පොලිසිය ඔක්තෝබර් 25 වන දා උදෑසන දුරකතන ඇමතුමක් ලබා දී පියුම් නිසංසලා හට දැනුම් දී තිබුණේ, ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බව ය. ඒ අනුව සිය පස් හැවිරිදි දරුවා ද සමග ඇය පොලිසිය වෙත ගොස් තිබිණි.
එසේ පොලිසිය වෙත ගිය පියුම් නිසංසලා, කුඩා දරුවා බියට පත්වනු ඇතැයි සැකයෙන් සිර මැදිරිය වෙත ගොස් සිය සැමියා මුණ ගැසී නැත.
'අපරාධ අංශයට අරන් ගිහිල්ලා ටික වෙලාවකින් කෑගහන සද්දේ ඇහුණා'
කෙසේ වෙතත්, සිය සැමියා බැලීමට හෝමාගම පොලිසියට ගිය පසුව දුටු දේ ඇය බීබීසී සිංහල සේවය වෙත විස්තර කළා ය.
"මම පොලිසියේ තිබුණ ශාලාවක ඉඳගෙන හිටියා. ඉඳගෙන ඉන්නකොට ටික වෙලාවකින් මගේ මහත්තයාවයි, එයත් එක්ක අල්ලපු එයාගේ යාළුවාවයි අරන් ගියා අපරාධ අංශය පැත්තට. අරන් ගිහිල්ලා ටික වෙලාවක් යද්දී කෑගහන සද්දේ ඇහුණා. අයියෝ කියලා වගේ දෙන්නා ම කෑගහනවා ඇහුණා. මට කවුද කියලා අඳුරගන්න බැරි වුණා."
'මහත්තයාව අරගෙන ආවා අත් දෙකෙනුයි, කකුල් දෙකෙනුයි එල්ලගෙන'
එලෙස හෝමාගම පොලිසියේ අපරාධ අංශය වෙත ගෙන යන ලද සිය සැමියා අත් සහ පාදවලින් ඔසවාගෙන නැවත පොලිස් සිරමැදිරිය වෙත රැගෙන එන අයුරු මෙන් ම සැමියා සමග අත්අඩංගුවට ගනු ලැබූ අනිත් පුද්ගලයා කොර ගසමින් ඇවිද එන ආකාරය පියුමි නිසංසලා දැක තිබිණි.
"ටික වෙලාවකින් මහත්තයාව අරගෙන ආවා අත් දෙකෙනුයි, කකුල් දෙකෙනුයි එල්ලගෙන බිම දිගේ වගේ ඇදගෙන ආවා, අනිත් එක්කෙනා ආවා කොර ගහ ගහ. ඒ එල්ලන් එන්නෙත් පොලිසියේ අය නෙමෙයි. එතනට ඇවිල්ලා හිටියා පිරිමි ළමයි වගයක් අත්සන් කරන්න කියලා. ඒ ළමයි ටික අරගෙන ඇවිල්ලා කූඩුවට දැම්මා."
"මගේ දරුවා අහනවා ඇතුළේ ඉඳන් එද්දී, අම්මා තාත්තා මැරිලා ද කියලා. මම කිව්වා නෑ පුතේ කලන්තේ දාලා තියෙන්නේ කියලා. එතකොට දරුවා අහනවා අපි එහෙනම් වතුර ටිකක් දාලා සිහිය ගමු ද කියලා," පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය ඉෂාර හර්ෂ කුමාරගේ බිරිඳ පැවසුවා ය.
'මූට කෑල්ලක් ගෙනල්ලා දෙන්න කියලා මටයි එයාලගේ නංගිලා දෙන්නටයි කියනවා'
අපරාධ අංශයේ සිට පොලිස් සිර මැදිරියට ගෙන එන ලද සිය සැමියා බැලීමට ගිය විට ඔහු අපහසුවෙන් හුස්ම ගන්නා ආකාරය දුටු බව පැවසූ පියුමි නිසංසලා, එම අවස්ථාවේදී ඔහුට මත්ද්රව්ය ලබා දෙන ලෙස පොලිසිය පැවසු බව ද සඳහන් කළා ය.
"මම බලන්න යද්දී මහත්තයා වැටිලා ඉන්නවා හුස්ම ගන්න වගේ ගොරෝන සද්දේ ආවා. මම ඇහුවා සර් අපි මොක ද කරන්නේ බෙහෙත් මොනවා හරි දෙන්න ද කියලා, ඒත් එපා කිව්වා. මූට තියෙන්නේ සික් එක කිව්වා. මූට කෑල්ලක් ගෙනල්ලා දෙන්න කියලා මට යි එයාගේ නංගිලා දෙන්නට යි කිව්වා. අපි ඇහුවා අපි කොහොම ද කෑල්ලක් ගෙනත් දෙන්නේ මොනවා වුණත් ගෙනත් දෙන්න අපිට බෑනේ අපි කාගෙන් ඉල්ලන්න ද ගෑණු ළමයි වෙලා?"
"පොලිසියේ අය හොඳට ම බය වෙලා මෙයා කතාවක්වත් නැති නිසා. ඊට පස්සේ මූණට ගහනවා, වතුර ගහනවා මෙයා හ්ම් සද්දයක් නෑ. ඊට පස්සේ මම ආයේ ඇහුවා සර් බලන්න දෙන්න ඉස්පිරිතාලේ හරි එක්කන් යන්න කියලා. එතකොට කියනවා දැන් අපි කෑල්ලක් දුන්නා නැගිටියි කියලා කිව්වා. ඒත් නැගිට්ටේ නැහැ. මම පොඩි එක්කෙනාට බීම එකක් අරන් දෙන්න පාරට යද්දී එයාව ජීප් එකේ දාගෙන හොස්පිටල් එකට අරන් යනවා කිව්වා"
'පොඩ්ඩක් හරි උත්සහ කළා නම් බේර ගන්න තිබුණා'
ඔහු රෝහලට ඇතුළත් කළ පසුව ද ඔහුව බැලීමට තමාට හෝ ඥාතීන්ට අවසර ලබා නොදුන් නමුත් සැමියාට ප්රතිකාර ලබා දෙන ස්ථානය අසලට ගිය බවත්, එහිදී සිය සැමියාට පපු තෙරපුම ලබා දෙන ආකාරය දුටු බවත් පියුමි නිසංසලා බීබීසී සිංහල සේවයට පැවසුවා ය.
"මම එතනට ගිහිල්ලා විඩියෝ කළා. එයාට මැෂින් එකක් හරි ගහන්නේ නැහැ. පොඩ්ඩක් හරි උත්සහ කළා නම් බේර ගන්න තිබුණා. හෝමාගම පොලිසියේදිත් පණ තිබුණා. එතනදී මම විඩියෝ කළා කියලා නර්ස්ලා පොලිසිය එක්ක එක්තු වෙලා මට බැනලා ෆෝන් එකේ වීඩියෝ ඩිලීට් කළා. රී සයිකල් බින් එකෙනුත් ඩිලීට් කළා මගේ ෆෝන් එකේ වීඩියෝ."
ඉන් ස්වල්ප මොහොතකට පසුව ගොස් බැලිමේදී සිය ස්වාමි පුරුෂයා මිය ගිය බව දැන ගන්නට ලැබුණ බව පියුම් නිසංසසලා කියා සිටියා ය.
'නීතිය ක්රියාත්මක කිරීමට පොලිසිය පසුබට වෙන්නේ නැහැ'
හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයෙකු මිය යාම සම්බන්ධව හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් කරුණු සෙවීමේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. වුට්ලර් බීබීසී සිංහල සේවයට පැවසීය.
"අද පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනවා. ඒ වගේ ම අධිකරණ මහේස්ත්රාත් පරීක්ෂණය අද පවත්වනවා. යම් කිසි විදයකින් පහර දීමක් මොනවා හරි සිද්ධ වෙලා තියෙනවා නම් අනීතික, නීතිවිරෝධි දෙයක්, ඔවුන්ට විරුද්ධව නීතිය ක්රියාත්මක කිරීමටත් පොලිසිය පසුබට වෙන්නේ නැහැ," පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ ය.