ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සතියේ දිනවල ප්‍රමාණවත් නින්දක් නොලැබුණහොත්, සති අන්තයේදී වැඩි වේලාවක් නිදාගත යුතු ද?
- Author, අමන්දා රුජේරි
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
රාත්‍රියක නින්ද අඩු වූ විට, තවත් පැය දෙකක් අමතරව නිදාගැනීම පවා ශරීරයට යථා තත්ත්වයට පත්වීමට උපකාරී විය හැකි ය. කෙසේ වෙතත්, කලින් නින්දට යාම හෝ වැඩි වේලාවක් නිදාගැනීම සිදු කළ යුත්තේ ප්රවේශමෙනි.
රාත්‍රියේ නින්ද හොඳින් නොලැබීම නිසා පසුදා උදෑසන වෙහෙසට පත්ව අවදි වීම සහ දෑස් ඇරගෙන සිටීමට පවා අපහසු වීමේ මෙවැනි අත්දැකීමක් අප සැමට තිබේ. එවිට අපි අපට ම මෙසේ පවසා ගනිමු: "කමක් නැහැ, සති අන්තයේදී මම අමතර නින්දක් ලබා ගන්නම්."
අප අතරින් ඇතැමෙකුට මෙම අත්දැකීම එක් සිදුවීමක් පමණි. අනෙක් අයට මෙය ජීවන රටාවකි. එක්සත් ජනපදයේ වැඩිහිටියන් 8,000කට ආසන්න පිරිසක් යොදාගෙන සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ ඔවුන්ගෙන් අඩකට ආසන්න පිරිසක් සාමාන්‍යයෙන් සති අන්තයේදී නිදා ගෙන ඇති බව යි. පුදුමයට කරුණක් නොවිය හැකි වුවත්, වෙනත් ඕනෑ ම වයස් කාණ්ඩයකට සාපේක්ෂව යොවුන් වියේ පසුවන්නන් සති අන්තයේ දී වැඩිම වේලාවක් නිදා සිටින බවක් පෙනී යයි.
සතියේ දිනවල ප්‍රමාණවත් නින්දක් නොලබන අයට, අමතර නින්දක් ලැබීම විශේෂයෙන්ම ආකර්ෂණීය දෙයක් විය හැකි ය. වැඩිහිටියන් සාමාන්‍යයෙන් පැය හතත් නවයත් අතර කාලයක් නිදා ගැනීමට උත්සාහ කළ යුතු බවට උපදෙස් දෙනු ලබන අතර, බොහෝ නව යොවුන් වියේ පසුවන්නන්ට පැය අටත් දහයත් අතර නින්දක් අවශ්‍ය වන බව සැලකෙයි. එහෙත්, එය සෑම විට ම කළ හැකි දෙයක් නොවේ.
මෙය වැදගත් ප්‍රශ්නයක් මතු කරයි: සතියේ දිනවල ප්‍රමාණවත් නින්දක් නොලැබුණහොත්, සති අන්තයේදී වැඩි වේලාවක් නිදාගත යුතු ද? එසේ නිදාගැනීමෙන්, ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා ඇති වන බලපෑම් අවම කරගත හැකි ද?
ප්‍රමාද වී අවදි වීමේ අවදානම
ප්‍රමාද වී අවදි වීම අවාසිදායක විය හැක්කේ මන්දැයි වටහා ගැනීමට නම්, නින්ද පාලනය කරන ප්‍රධාන ක්‍රියාවලීන් දෙක දෙස බැලීම ප්‍රයෝජනවත් ය.
පළමුවැන්න වන නින්දේ සමස්ථිතිය, 'නිද්‍රා ටැංකියක්' වැනි ය. අප වැඩි වේලාවක් අවදියෙන් සිටින තරමට, 'නිද්‍රා පීඩනය' එතරම්ම වැඩි වන අතර, අපට වැතිරී නිදා ගැනීමට අවශ්‍ය බව වඩාත් තදින් දැනෙන්නට පටන් ගනී. දෙවැන්න වන අපගේ දෛනික ජෛව රිද්මය (circadian rhythm), ආලෝකය සහ අඳුරට නිරාවරණය වීම, උෂ්ණත්වයේ වෙනස්වීම්, සහ අප ආහාර ගන්නා හෝ චලනය වන වේලාවන් වැනි සාධක මගින් දිනපතා ම සකස් වෙයි. මේවා එකට එකතු වී ක්‍රියා කරමින්, සෑම රාත්‍රියක ම වඩාත් සුදුසු වේලාවක අපට නිදිබර ගතියක් දැනීමට සලස්වයි.
වැඩිපුර නිදාගැනීම මගින් අපගේ නින්දේ සමතුලිතතා යාන්ත්‍රණය සහ ජීව විද්‍යාත්මක ඔරලෝසුව යන දෙකම අවුල් විය හැකි ය. ඔබ කලින් නින්දට ගිය ද එසේත් නැතිනම් උදෑසන වැඩි වේලාවක් නිදාගත්ත ද, මෙය සත්‍යයකි. උදෑසන අමතර වේලාවක් නිදාගැනීමෙන් දවසේ පසු කාලයේදී අපට දැනෙන 'නින්ද සඳහා වන පීඩනය' අඩු වන බැවින්, එදින සවස් වන තුරුම අපට වෙහෙසක් නොදැනීමට ඉඩ ඇත. අප නින්දට යන වේලාව වෙනස් වනවා පමණක් නොව, ආලෝකයට නිරාවරණය වීම ඇතුළු අනෙකුත් සියලු ම ක්‍රියාකාරකම් සිදු කරන වේලාවන් ද වෙනස් වන බැවින්, එය අපගේ දෛනික ජෛව රිද්මයට ද බලපෑම් ඇති කළ හැකි ය.
ප්‍රතිඵලය කුමක් ද? ඉරිදා උදෑසන අප ප්‍රමාද වී අවදි වුවහොත්, ඉරිදා රාත්‍රියේ නින්ද යාම අපට වඩාත් අපහසු විය හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස, සඳුදා උදෑසන 06:00ට අවදි වීමට පෙර අපට ප්‍රමාණවත් නින්දක් නොලැබී යා හැකි ය. මෙය එම චක්‍රයම නැවත මුල සිටම ආරම්භ වීමට හේතු විය හැකි ය. "ඒක හරියට සෑම සතියක ම කාල කලාපවලට මාරු වෙනවා වගේ දෙයක්," නින්ද පිළිබඳ මනෝවිද්‍යාඥ සහ ඔරිගන් විශ්ව විද්‍යාලයේ නින්ද පිළිබඳ රසායනාගාරයේ අධ්යක්ෂ මෙලින්ඩා කේස්මන්ට් පවසයි.
ක්ෂණික නින්දක් ලැබීම සැමවිට ම නරක අදහසක් නොවේ. අමතර විවේකයක් ලබා ගැනීම ප්‍රයෝජනවත් විය හැකි අවස්ථා මෙහි දැක්වේ.
ප්‍රකෘතිමත් වීමට උපකාරී වන නින්දේ ප්රතිලාභ
කෙටි නින්ද අපගේ සෞඛ්‍යයට සහ සංජානනයට කෙතරම් බලපාන්නේ ද යන්න තවමත් විසඳී නොමැත. කෙසේ වෙතත්, පුද්ගලයින් ලබන නින්දේ ප්‍රමාණය ඉතා සැලකිල්ලෙන් පාලනය කරමින් සිදු කරන ලද අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ, ඉතා අයහපත් නින්දක් ලැබෙන එක් රාත්‍රියක් වුව ද ශරීරයේ ක්‍රියාකාරීත්වය බලපෑම් කළ හැකි බව යි. පසුව අමතර නින්දක් ලැබීම මගින් මෙවැනි බලපෑම් කිහිපයක් අවම කර ගැනීමටත්, ඇතැම් අවස්ථාවලදී ඒවා සම්පූර්ණයෙන්ම ආපසු හැරවීමටත් හැකි වනු ඇත.
උදාහරණයක් ලෙස එක් අධ්‍යයනයකදී, එක් රැයකට පැය දෙකක් පමණක් නිදාගත් පුද්ගලයින්ගේ සුදු රුධිරාණු වර්ග දෙකක ඉහළ අගයක් පෙන්නුම් කළ අතර, එයින් බොහෝ දුරට ශාරීරික ආතති ප්‍රතිචාරයක් පෙන්නුම් කරයි. ඇතැම් සහභාගිවන්නන්ට ඊළඟ රාත්‍රියේ පැය අටක නින්දක් ලබා දුන්නේ ය. නමුත් මින් පසුව පවා, ඔවුන්ගේ සුදු රුධිරාණු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව තිබුණේ නැත. කෙසේ වෙතත්, දෙවන දිනයේදී පැය 10ක් දක්වා නිදා ගැනීමට අවස්ථාව ලබා දුන් සහභාගිවන්නන්ගේ මට්ටම්, නැවත මූලික මට්ටමට පැමිණීමට ආසන්න වී තිබිණි.
සාමාන්‍යයෙන් සෑම රාත්‍රියක ම පැය අටක් නිදා ගන්නා පිරිමි පුද්ගලයින් 11 දෙනෙකුගේ නින්ද පැය හතරකට සීමා කළ විට කුමක් සිදුවේ ද යන්න වෙනත් අත්හදා බැලීමකින් අධ්‍යනය කළේ ය. රාත්‍රී හයක කෙටි නින්ද, ඔවුන්ගේ ග්ලූකෝස් ඉවත් කිරීමේ ක්‍රියාවලියට සහ ඉන්සියුලින් ප්‍රතිචාර අඩාල කිරීමට තරම් ප්‍රමාණවත් විය. මෙම කායික වෙනස්කම් දිගු කාලයක් පුරා පවතින්නේ නම්, එමගින් දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම ඉහළ යා හැකි ය. නමුත් පැය 12ක නින්දක් ලැබීමට අවස්ථාව සැලසුණු තවත් රාත්‍රී හයකට පසු, ඔවුන්ගේ මිනුම් නැවත මූලික මට්ටම් වෙත පැමිණ තිබිණි.
අනෙක් අත්හදා බැලීම්වලින් සොයාගෙන ඇත්තේ මුළු රාත්‍රිය පුරා ම නිදා ගැනීමෙන් පසු නැවත ලබා ගන්නා නින්දට අපගේ සංජානන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කළ හැකි බව යි.
කෙසේ වෙතත්, සති අන්තයේ වැඩි වේලාවක් නිදා ගැනීමෙන් හෝ කලින් නින්දට යාමෙන්, ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා ඇති වූ සියලුම බලපෑම් ආපසු හැරවිය නොහැක. යම් පුද්ගලයෙකු සති හෝ මාස ගණනක් පුරා දිගින් දිගට ම ප්‍රමාණවත් නින්දක් නොලබන අවස්ථාවලදී මෙය විශේෂයෙන් ම සත්‍ය වේ. අවධානය එක තැනක තබා ගැනීමට, කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට සහ අවට පරිසරය වටහා ගැනීමට අපට ඇති හැකියාව, නින්ද නොමැතිකම හේතුවෙන් විශේෂයෙන්ම බලපෑමට ලක්වන බව පෙනී යයි. මෙවැනි අවස්ථාවලදී, සතියේ දිනවල ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් ඇති වූ බලපෑම්, සති අන්තයේදී අමතර නින්දක් ලබා ගැනීමෙන් වුව ද සම්පූර්ණයෙන් ම මග හරවා ගත නොහැක.
එමෙන් ම කෙටි නින්දවල් ද තිබේ. ප්‍රමාණවත් නින්දක් නොලබන අයට මේවා ප්‍රයෝජනවත් විය හැකි ය. නමුත්, ඒවා සාමාන්‍යයෙන් අධ්‍යනය කරනු ලබන්නේ රාත්‍රී කාලයේ ලබා ගන්නා අමතර නින්දෙන් වෙනස්ව ය.
නින්දට යාම මගින් ජීවිත බේරා ගැනීම
නමුත් මෙම අධ්‍යයනයන් සිදු කරන ලද්දේ කෘත්‍රිම විද්‍යාගාර තත්වයන් යටතේ ය. සැබෑ ලෝකයේ මිනිසුන් නින්දට ගිය විට කුමක් සිදුවේ ද?
එක් ස්වීඩන් අධ්‍යයනයක් සඳහා, පර්යේෂකයෝ අවුරුදු 13ක් පුරාවට වැඩිහිටියන් 40,000කට වඩා නිරීක්ෂණය කළහ. සාමාන්‍යයෙන් රාත්‍රියට පැය හයේ සිට හත දක්වා නිදා සිටින වයස අවුරුදු 65ට අඩු වැඩිහිටියන්ට මරණ අවදානම අවම බව ඔවුහු සොයා ගත්හ. සාපේක්ෂව, පැය පහක් හෝ ඊට අඩුවෙන් නිදා සිටින අයට මරණ අවදානම 65% කින් වැඩි විය. වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන් සම්බන්ධයෙන් ගත් කල, කෙටි කාලයක් නිදාගැනීම සහ මරණ අවදානම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පර්යේෂකයෝ සොයා ගත්හ. වයසට යත් ම මිනිසුන්ට අවශ්‍ය නින්දේ ප්‍රමාණය අඩුවන බැවින් මෙසේ සිදුවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත්, මෙහි අනපේක්ෂිත දෙයක් තිබිණි. සතියේ දිනවල පැය පහක් හෝ ඊට අඩු කාලයක් නිදාගත් පුද්ගලයින් අතර, සති අන්තයේදී ප්‍රමාණවත් නින්දක් ලැබීම මගින් මරණයට ඇති අමතර අවදානම ඉවත් වන බව පෙනී ගියේ ය. අධ්‍යයනයට අනුව, සතියේ දිනවල ප්‍රමාණවත් නින්දක් ලැබූ පුද්ගලයින්ට සාපේක්ෂව, සති අන්තයේදී මග හැරුණු නින්ද ලබාගත් ගත් පුද්ගලයින්ට මරණයට ඇති අවදානම වැඩි නොවී ය.
ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් සෞඛ්‍යයට ඇති වන බලපෑම්, පසුව අමතර නින්දක් ලබා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම නැති වී නොගිය ද, බොහෝ විට ඒවායේ තීව්‍රතාවය යම්තාක් දුරකට අඩු කර ගත හැකි ය. උදාහරණයක් ලෙස, කොරියානු වැඩිහිටියන් 2,800 කට ආසන්න සංඛ්‍යාවක් යොදාගෙන කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ පුරුද්දක් ලෙස කෙටි නින්දක් ලබන පුද්ගලයින්ට අධි රුධිර පීඩනය ඇතිවීමේ සම්භාවිතාව 73%කින් පමණ වැඩි බව යි. නමුත් සති අන්තයේ අමතර නින්දක් ලබන සෑම පැයක් ම එම අවදානම 17%කින් පමණ අඩු කරයි.
අනෙක් අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ සති අන්තයේ අමතර නින්දක් ලබන අයට ඩිමෙන්ශියාව ඇතිවීමේ අවදානම අඩු බව යි. දෙවන වර්ගයේ දියවැඩියාව හෝ හෘද වාහිනී රෝග අවදානම වැඩි කරන රෝග ලක්ෂණ සමූහයක් වන පරිවෘත්තීය සින්ඩ්‍රෝමය ඇතිවීමේ අවදානම ද ඔවුන්ට අඩු වී ඇත.
සති අන්තයේ ලබන කෙටි නින්දෙන් හිමිවන ප්‍රතිලාභයක් සියලුම අධ්‍යයනවලින් සොයාගෙන නොමැත. එක්සත් රාජධානිය පදනම් කර ගෙන සිදු කළ එක් විශාල අධ්‍යයනයකින් අමතර නින්ද සහ මරණ අනුපාතය හෝ හෘද වාහිනී රෝග අතර පවතින කිසිදු සම්බන්ධයක් සොයා ගැනීමට නොහැකි විය. නමුත්, නිදා ගැනීම නිසා වැඩි අවදානමක් ඇති වන බවක් ද එම අධ්‍යයනයෙන් සොයා ගෙන නැත.
මෙම සොයාගැනීම් එකට ගත් කල, තත්වයන් කෙසේ වුව ද සෑම දිනක ම එක ම වේලාවට අවදි වීම ඇතැම් විට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ගෙන දිය හැකි බවට ඇතැම් විද්‍යාඥයින් තර්ක කරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට උපකාරී වේ.
"සමහර අය කියන්නේ, දින චර්යාව ක්‍රමවත්ව පවත්වා ගැනීම සඳහා සති අන්තයේදී පවා අවදි වෙන්න එලාර්ම් එකක් තියාගන්න කියලා," යනුවෙන් ජර්මනියේ මියුනික්හි LMU විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මනෝවිද්‍යා ආයතනයේ කාල ජීව විද්‍යාව (chronobiology) පිළිබඳ සම්මානිත මහාචාර්ය ටිල් රොනබර්ග් පවසයි. "ඇත්ත වශයෙන්ම ඔබ නින්දට යන්න ඕනේ," ඔහු පවසයි. "නින්ද අපගේ ජීවිතවල වඩා වැදගත්ම කාර්යයන්ගෙන් එකක්."
නින්ද නොයාමෙන් පෙළෙන අය ව්‍යතිරේකයකි. මෙම තත්ත්වය සඳහා සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමය ඔවුන්ට උපදෙස් දෙන්නේ වෙනදාට වඩා කලින් නින්දට යාමෙන් හෝ උදෑසන ප්‍රමාද වී නිදා ගැනීමෙන් වළකින ලෙස යි. මෙම උපදෙස නරක රාත්‍රී නින්දකින් පසුව පවා අදාළ වේ. මන්ද ඔවුන්ගේ සුපුරුදු නින්දේ කාලසටහනේ වෙනස්කම් ඔවුන්ගේ ශරීර ඔරලෝසුව කඩාකප්පල් කර නින්දට යාම දුෂ්කර කළ හැකි බැවිනි.
යථාර්ථවාදී, වඩාත් යෝග්‍ය මට්ටම
මීළඟ ප්රශ්නය වන්නේ ප්රතිලාභ උපරිම කර ගැනීමට සහ අවාසි අවම කර ගැනීමට ඔබට කොපමණ නින්දක් ලබා ගත යුතු ද යන්න යි.
අප අතර සිටින බොහෝදෙනෙකුට පැයක දෙකක පමණ අමතර නින්දක "සාර්ථකත්වයක්" ඇති බව පෙනෙන බවට නැගී එන සාක්ෂි තිබේ.
එක්සත් ජනපදයේ සහ කොරියාවේ සිදු කළ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ, මෙම ප්‍රමාණය විෂාදය ඇතිවීමේ අවදානම අවම මට්ටමක පවතින අවස්ථාව හා සම්බන්ධ බව යි. සාමාන්‍යයෙන් කෙටි වේලාවක් පමණක් නිදා ගන්නා වැඩිහිටියන්ගේ ප්‍රදාහය අඩු මට්ටමක පැවතීමත් සමග මෙය සම්බන්ධ වී ඇත. පර්යේෂකයින් තරුණ පුද්ගලයින් සඳහා සමාන රටාවක් සොයාගෙන ඇති අතර, එයට කාංසාව සහ විෂාදය ඇති වීමේ අවදානම අඩුවීම ද ඇතුළත් ය.
එබැවින්, කෙටි අමතර නින්දක් හොඳ අදහසක් විය හැක. නමුත් දහවල් ආහාර ගන්නා වෙලාවේදී අවදි වීම සාධාරණීකරණය කිරීමට නොහැකි වනු ඇත.