මීගමුව බන්ධනාගාර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමේ විශේෂ වාර්තාවක්: ගැටුමට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ මොනවා ද?

ඡායාරූප මූලාශ්රය, AFP via Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධව විමර්ශනය කළ ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය නිර්දේශ ඇතුළත් වාර්තාවක් මේ වන විට ප්රකාශයට පත් කර තිබේ.
2026 ජූලි මස 05 සහ 06 දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිදුවීම සහ ඉන් අනතුරුව රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමේදී රැඳවියන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම්වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුව තිබේ ද යන්න සොයා බැලීමට ස්වයං මෙහෙයවීම් විමර්ශනයක් සිදු කළ බව මානව හිමිකම් කොමිසම නිවේදනය කර තිබේ.
ඔක්තෝබර් 27 දා නිකුත් කරන ලද පිටු 98ක් පුරා දිවෙන ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සම්පාදනය කරන ලද නිර්දේශ ඇතුළත් වාර්තාව සැකසීමට, මාධ්ය වාර්තා, කොමිසම වෙත ලැබුණු සහ කොමිෂන් සභාව රැස් කර ගන්නා ලද තොරතුරු මෙන් ම සටහන් කරගන්නා ලද ප්රකාශයන් මූලිකව පදනම කරගෙන ඇති බව එහි සඳහන් ය.
මේ විමර්ශනය සිදු කළේ ඇයි?
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාවට අනුව, මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීමේදී නිලධාරීන් නීතියෙන් නියම කර ඇති ක්රියා පටිපාටියට අනුව අවශ්ය බලය භාවිත කර තිබේ ද යන්න සොයා බැලීම මෙම විමර්ශනයේ ප්රධාන අරමුණකි. එමෙන්ම, සිද්ධියෙන් පසු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවන ලද රැඳවියන් වධහිංසාවලට ලක්ව තිබේ ද යන්න පිළිබඳව ද කොමිෂන් සභාව විමර්ශනය කර තිබේ.
සිරභාරයේ සිටින පුද්ගලයන්ගේ වධහිංසාවලින් තොරව සිටීමේ සහ ජීවත්වීමේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වගකීම බන්ධනාගාර බලධාරීන් විසින් නිසි ලෙස ඉටු කර තිබේ ද යන්න ද මෙහිදී සොයා බලා ඇත.
තව ද, රැඳවියන් දෙපාර්ශ්වයක් අතර ආරවුලක් ඇතිවීමේ අවදානම කලින් හඳුනාගෙන එය පාලනය කිරීමට පියවර ගැනීමට බලධාරීන් අසමත් වී තිබේ ද, නැතහොත් එම තත්ත්වය හිතාමතා නොසලකා හැර තිබේ ද යන්න පිළිබඳව ද විමර්ශනය කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.
මෙම සිද්ධියෙන් පසු කොමිෂන් සභාවේ විමර්ශන කණ්ඩායම් මීගමුව බන්ධනාගාරයට ගොස් ස්ථානීය නිරීක්ෂණ සිදු කර ඇති අතර, බන්ධනාගාර නිලධාරීන්ගෙන්, සිද්ධිය ඇසින් දුටු රැඳවියන්ගෙන් සහ වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවන ලද රැඳවියන්ගෙන් ප්රකාශ ලබාගෙන තිබේ.
මීට අමතරව, කොමිෂන් සභාවේ ප්රාදේශීය කාර්යාල හරහා දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවල තත්ත්වය සහ මීගමුව බන්ධනාගාරයෙන් මාරු කළ රැඳවියන්ගේ සෞඛ්ය හා ආරක්ෂාව පිළිබඳ තොරතුරු ද රැස් කර ඇත.
වාර්තාව සකස් කිරීමේදී සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ පුවත්පත් වාර්තා සහ මාධ්ය නිවේදන මෙන් ම, අධිකරණ වෛද්ය වාර්තා සහ වගඋත්තරකාර ආයතන විසින් ලබාදුන් වාර්තා ද විශ්ලේෂණය කර ඇති බව කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, විමර්ශනය සඳහා සාක්ෂිමය කරුණු රැස් කිරීම සහ ඒවා විශ්ලේෂණය කිරීමේදී අදාළ ක්රමවේද අනුගමනය කළ බව ද වාර්තාවේ සඳහන් වේ.

ඡායාරූප මූලාශ්රය, Getty Images
ගැටුම ඇති වීමට හේතු පිළිබඳ නිරීක්ෂණය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මීගමුව බන්ධනාගාරයේ අංක 02 සහ 04 වාට්ටුවල රැඳවියන් අතර පැවති ආරවුලක් මෙම සිද්ධියට මූලික වී ඇති බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වේ. එමෙන් ම, බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබාදෙන බවට සැලකෙන රැඳවියන් හැඳින්වීමට භාවිත කරන ''කාමර පාටි'' යන නාමය සම්බන්ධයෙන් අනෙකුත් රැඳවියන් තුළ පැවති වෛරය ද ගැටුම උත්සන්න වීමට බලපා ඇති බව වාර්තාවේ දැක්වේ.
2026 ජූලි 05 වැනිදා රැඳවියන්ගේ තත්ත්වය බන්ධනාගාර නිලධාරීන්ගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති අතර, එහිදී රැඳවියන් බන්ධනාගාර රෝහලට සහ විනය අංශයට හානි කර තිබේ. එම ස්ථානවල තිබූ ඖෂධ සහ මත්ද්රව්ය අධි මාත්රාවලින් භාවිත කිරීම හේතුවෙන් තත්ත්වය තවදුරටත් දරුණු වූ බව කොමිෂන් සභාව පවසයි.
දින දෙකක් පුරා පැවති ගැටුම් අතරතුර රැඳවියන් විසින් තවත් රැඳවියන් පිරිසකට සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී ඝාතනය කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.
මෙම සිද්ධියෙන් බන්ධනාගාර හදිසි ප්රතිචාර උපක්රමික බලකායේ නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු මියගොස් ඇති අතර, නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
සිද්ධියෙන් පසු ආරක්ෂක හේතූන් මත මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දිවයිනේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව ද වාර්තාවේ දැක්වේ. ඒ අනුව, ඔවුන් වැලිකඩ, අඟුණකොළපැලැස්ස, බූස්ස, දුම්බර, වාරියපොළ, කුරුවිට, යාපනය, මඩකලපුව, මොණරාගල, අනුරාධපුර සහ පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.
කොමිෂන් සභාවේ නිගමනය
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිදුවීම් හුදෙක් රැඳවියන් අතර ඇති වූ ගැටුමකට පමණක් සීමා නොවන බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර තිබේ.
රැඳවියන්ගේ අධික තදබදය, ප්රමාණවත් නිලධාරීන් නොමැති වීම, 'පාටි' ලෙස හඳුන්වන රැඳවියන් පරිපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ ක්රියාවලිය, ආරක්ෂක හා පරිපාලන පද්ධතිවල දුර්වලතා, මත්ද්රව්ය හා ඖෂධ වෙත රැඳවියන්ට ප්රවේශ වීමට හැකි වීම සහ හදිසි අවස්ථාවකදී ගත යුතු ආරක්ෂක පියවර සම්බන්ධ අඩුපාඩු ඇතුළු කරුණු ගණනාවක් මෙම තත්ත්වය වර්ධනය වීමට බලපා ඇති බව වාර්තාවේ සඳහන් වේ.
විශේෂයෙන් ම, බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා රැඳවියන් යොදා ගැනීම හේතුවෙන් නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන සහ එසේ නොකරන රැඳවියන් ලෙස කණ්ඩායම් බෙදීමක් ඇති වී තිබෙන බව මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබේ.
එම භේදය 2026 ජූලි 05 වැනිදා ඇති වූ ගැටුම තවදුරටත් උත්සන්න වීමට බලපෑ සාධකයක් ලෙස පෙනී යන බව කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, බන්ධනාගාරයේ පරිපාලන කටයුතු සඳහා රැඳවියන්ගේ සහය ලබා ගැනීම වෙනුවට ඒ සඳහා අවශ්ය පුහුණුව ලැබූ ප්රමාණවත් නිලධාරීන් පිරිසක් යෙදවීම අත්යවශ්ය බව ද කොමිෂන් සභාව අවධාරණය කර තිබේ.
මේ අතර, ජූලි 06 වැනිදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් එකිනෙකට වෙනස් කරුණු ඉදිරිපත් කර ඇති බැවින්, ගැටුම ආරම්භ වූ ආකාරය මෙන්ම ඉන් අනතුරුව සිදු වූ වෙඩි තැබීම්, මරණ සහ තුවාල ලැබීම් සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹීම අපහසු වී ඇති බව වාර්තාවේ දැක්වේ.
තවද, 2026 ජූලි 05 වැනිදා සිදුවීමෙන් පසුව ගැටුමට සම්බන්ධ වූ හෝ එය මෙහෙයවූ රැඳවියන් හඳුනාගෙන වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීම හෝ තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර ගැනීමට බලධාරීන් අසමත් වීම, පසුදින එනම් ජූලි 06 වැනිදා තත්ත්වය යළි උග්ර වීමට හේතු වූවා විය හැකි බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.
එබැවින්, ගැටුමේදී රැඳවියන් සිදු කළ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් වගකීම තීරණය කිරීම මෙන් ම, එවැනි තත්ත්වයක් ඇති වීමට හා වර්ධනය වීමට ඉඩ සැලසූ ආයතනික, පරිපාලන සහ ආරක්ෂක අඩුපාඩු සම්බන්ධයෙන් ද වගකීම තීරණය කිරීම අවශ්ය බව වාර්තාවේ සඳහන් වේ.
මෙම සිදුවීමෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අහිමි වීම, විශාල පිරිසක් තුවාල ලැබීම සහ බන්ධනාගාරයේ අත්යවශ්ය පරිපාලන හා ආරක්ෂක පහසුකම් විශාල වශයෙන් විනාශ වීම සැලකිල්ලට ගනිමින්, මෙවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේ ක්රියාකාරීත්වය සහ තීරණ ගැනීමේ ක්රියාවලිය ශක්තිමත් කිරීම අත්යවශ්ය බව කොමිෂන් සභාව සිය වාර්තාවෙන් අවධාරණය කරයි.

ඡායාරූප මූලාශ්රය, Getty Images
නිර්දේශ රැසක්
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයෙන් අනතුරුව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබේ.
එම නිර්දේශ අතර බන්ධනාගාර පද්ධතියේ පවතින දිගුකාලීන ගැටලු විසඳීම, සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන්ට සහන සැලසීම, රැඳවියන්ට එරෙහි පහරදීම් පිළිබඳ විමර්ශනය කිරීම සහ අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා පියවර ගැනීම ඇතුළත් වේ.
කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, 2018 වසරේදී බන්ධනාගාර හා රැඳවුම් මධ්යස්ථාන 20ක් ආශ්රිතව සිදු කළ අධ්යයනයකින් අනතුරුව 2020 නොවැම්බර් 05 වැනි දා ද නිර්දේශ මාලාවක් නිකුත් කළ බව යි.
රැඳවියන් වෙන් කර තැබීම, අධික තදබදය හමුවේ ප්රමාණවත් පහසුකම් සැලසීම, පැමිණිලි ඉදිරිපත් කිරීමේ යාන්ත්රණයක් ස්ථාපිත කිරීම සහ සුදුසුකම් ලත් නිලධාරීන් බඳවාගෙන ඔවුන්ට පුහුණුව ලබාදීම එම නිර්දේශ අතර වේ. ඒවා ක්රියාත්මක කළේ නම් මෙවැනි ප්රචණ්ඩකාරී තත්ත්වයන් වළක්වා ගැනීමට හැකිව තිබූ බව කොමිෂන් සභාවේ අදහස වේ.
එබැවින්, එම නිර්දේශ ඉදිරි වසර තුළ ක්රියාත්මක කර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ ලේකම්වරයා කටයුතු කළ යුතු බව ද නිර්දේශ කර තිබේ.
2026 ජූලි 05 සහ 06 යන දිනවල ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය අපොහොසත් වී ඇති බැවින්, එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කර අධ්යයනයක් සිදු කළ යුතු බව ද කොමිෂන් සභාව නිර්දේශ කරයි.
එම කමිටුවේ නිර්දේශ මත සුදුසු පියවර ගැනීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ සහ අදාළ අමාත්යාංශයේ ලේකම්වරයාගේ වගකීමක් බව වාර්තාවේ සඳහන් වේ.
මෙම සිදුවීමෙන් බන්ධනාගාර හදිසි ප්රතිචාර උපක්රමික බලකායේ නිලධාරීන් දසදෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් බන්ධනාගාර නිලධාරීන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්රතිකාර ලබා ඇති බව කොමිසමට වාර්තා වී තිබේ.
රාජකාරියේ නිරතව සිටියදී මියගිය නිලධාරීන්ගේ පවුල්වලට හෝ ඥාතීන්ට අදාළ චක්රලේඛ අනුව වන්දි සහ දීමනා ගෙවීමට රජය කටයුතු කළ යුතු බව කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
එමෙන් ම, තුවාල ලැබූ සහ තවදුරටත් ප්රතිකාර අවශ්ය නිලධාරීන්ට අවශ්ය පහසුකම් සැලසිය යුතු බව ද සඳහන් කර තිබේ.
සිද්ධියට සම්බන්ධයක් නොමැති රැඳවියන් මියගොස් හෝ තුවාල ලබා ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා ඔවුන්ට වන්දි සහ වෙනත් සහන ලබාදීමට ද කොමිසම නිර්දේශ කර ඇත.
කෙසේ වෙතත්, ගැටුම අතරතුර රැඳවියන් මියගිය ආකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිත නිගමනයකට එළඹී නොමැති අතර, ඊට අදාළ නඩු කටයුතු අධිකරණයේ විභාග වෙමින් පවතින බව වාර්තාවේ දැක්වේ.
එබැවින්, අධිකරණ ක්රියාවලියෙන් පසු යම් රාජ්ය නිලධාරියෙකු හෝ වෙනත් පුද්ගලයෙකු වගකිව යුතු බව තහවුරු වුවහොත්, අදාළ පාර්ශ්වයන් නීතිමය පියවර ගත යුතු බව කොමිෂන් සභාව පවසයි.
පහර කෑ රැඳවියන් අධිකරණ වෛද්යවරුන් වෙත යොමු කර විමර්ශනයක් සිදු කිරීමට නිර්දේශ
ජූලි 06 වැනිදා ගැටුම පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් 'අවි සහිතව' හා 'රහිතව' යොදවා තිබූ බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ගැටුම පාලනය කිරීමේදී යෙදවීමට අවශ්ය බලය ඉක්මවා කටයුතු කර තිබේ ද යන්න සම්බන්ධයෙන් කොමිෂන් සභාව විමර්ශනය කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීම් සිදු කළ බවට සාක්ෂි ඉදිරිපත් වී තිබුණ ද, පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙඩි තැබීම් සිදු නොකළ බව ප්රකාශ කර තිබේ. කෙසේ වෙතත්, ඇතැම් රැඳවියන්ගේ ප්රකාශවලින් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙඩි තැබූ බවට කරුණු ඉදිරිපත් වී ඇති බැවින්, ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීමට ප්රමාණවත් සාක්ෂි නොමැති බව වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයෙන් වගකිව යුතු පාර්ශ්ව හඳුනාගෙන අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළ යුතු බව නිර්දේශ කර තිබේ.
සිද්ධියෙන් පසු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන්ට එම බන්ධනාගාරවල නිලධාරීන් විසින් පහරදෙන බවට මාධ්ය සහ වෙනත් පාර්ශ්ව හරහා චෝදනා එල්ල වීමෙන් පසු, කොමිෂන් සභාව අදාළ බන්ධනාගාර වෙත ගොස් රැඳවියන් පරීක්ෂා කර ප්රකාශ ලබාගෙන තිබේ.
එම ප්රකාශවලින් නිලධාරීන් රැඳවියන්ට පහරදී ඇති බවට කරුණු ඉදිරිපත් වී ඇති බැවින්, ඔවුන් අධිකරණ වෛද්යවරුන් වෙත යොමු කර අදාළ සිදුවීම් පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන ලෙස කොමිෂන් සභාව දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් විශේෂ අභ්යන්තර කමිටුවක් පත් කර විමර්ශනයක් සිදු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.
එම විමර්ශනයෙන් වගකිව යුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනය ක්රියාමාර්ග ගත යුතු බව ද නිර්දේශ කර ඇත.
අනාගතයේදී මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් ඇති වූ විට රැඳවියන් පාලනය කිරීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ පද්ධතියක් සකස් කිරීමේ අවශ්යතාව ද කොමිෂන් සභාව අවධාරණය කර තිබේ.
ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු විද්වත් කමිටුවක් පත් කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ ලේකම්වරයා කටයුතු කළ යුතු බව වාර්තාවේ සඳහන් වේ.
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නිර්දේශ 2027 ජනවාරි 28 වැනිදා වන විට ක්රියාත්මක කර, ඒ සම්බන්ධ වාර්තාවක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ ලේකම්වරයාට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව, අදාළ නිර්දේශ ක්රියාත්මක කිරීම සඳහා කොමිෂන් සභාව විසින් එම නිර්දේශ දෙපාර්ශ්වය වෙත යොමු කර ඇත.
එමෙන්ම, වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව දැනුවත් වීම සඳහා එහි පිටපත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යවරයාට, ආරක්ෂක අමාත්යවරයාට සහ මහජන ආරක්ෂක අමාත්යවරයාට ද යොමු කිරීමට ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.


































