මීගමුව බන්ධනාගාර ගැටුමට 'කටුවැල්ලේගම සුරේෂ්ගේ ඇති සම්බන්ධය' ගැන CIDය අධිකරණයට පැවසුවේ මොනවා ද?

Negombo Prison

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනට සිදු කර ඇති සියලු විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජූලි 16 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරට අඟහරුවාදා (ජූලි 14) නියෝග කළා ය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, මෙම සිද්ධියට අදාල නඩුකරය මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

ගැටුමට හේතුව CIDය අධිකරණයට දැනුම් දෙයි

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර වාර්තාව මගින් අධිකරණයට දැනුම් දුන්නේ, කටුවැල්ලේගම සුරේෂ් නමැති බන්ධනාගාර සිරකරු බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කර කලහකාරී ලෙස හැසිරීමත් සමග බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් අතර ගැටුම ඇති වී ඇති බව ය.

ඔහු එලෙස හැසිරී ඇත්තේ තමන්ට ව්‍යායාම කිරීමට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් බවට, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.

බන්ධනාගාරය තුළ සිටි සියලු රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර

මීගමුව බන්ධනාගාර ගැටුමින්න් බන්ධනාගාර පොලිස් හදිසි උපක්‍රමික බළකායේ (බන්ධ පොලිස්) නිලධාරීන් දස දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු ඝාතනය වීම සහ බන්ධනාගාර දේපළවලට රු. කෝටි 12කට අධික හානි සිදුවීම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව ද අධිකරණය හමුවේ පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ගැටුම සිදුවන අවස්ථාවේ මීගමුව බන්ධනාගාරය තුළ රඳවා සිටි සියලු රැඳවියන්ගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව ද පැවසීය.

ගැටුම සිදුවන අවස්ථාවේ එහි රඳවා සිටි බොහෝ රැඳවියන් මේ වන විට දිවයින පුරා ඇති වෙනත් බන්ධනාගාරවල රඳවා ඇති බැවින් ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර සහ පහසුකම් සලසා ලෙසට වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ, ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය යැයි කියන දිවයිනේ ඕනෑ ම බන්ධනාගාරයක රඳවා සිටින රරැඳවියන්ගෙන් මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර සහ පහසුකම් සලසා දෙන ලෙසයි.

සියලු විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග

මෙම ගැටුම සම්බන්ධයෙන් දැනට සිදු කර ඇති සියලු විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජූලි 16 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කළා ය.

පොලිස්පති නීතීඥ ප්‍රියන්ති වීරසුරියගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරගේ ඍජු අධීක්ෂණය යටතේ මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.

මෙම ගැටුම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිසිය මගින් මීට පෙර සිදු කෙරුණු සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කළේ, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නියෝගයකට අනුව ය.

ඒ, පොලිස්පතිවරයා වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර කළ ඉල්ලීමකට අනුව ය.