මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට: රැඳවියන්ට වධ හිංසා එල්ල වන බවට චෝදනා

මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් රැඳී සිටින අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර කොමසාරිස්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසයි.

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එලෙස මිය ගොස් ඇත්තේ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු බව ය. ඒ සමග මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් සිදුවූ සමස්ත මරණ ගණන 31ක් දක්වා ඉහළ ගොස් ඇත.

අදාළ ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, තවත් නිලධාරීන් දෙදෙනෙකු ද සාමාන්‍ය වාට්ටුවල සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

මියගිය රැඳවියන් ගණන ඉහළට

මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් එක් රැඳවියෙකු ඉකුත් ජූලි 11 වන දා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙකු වන අතර මත්ද්‍රව්‍ය චෝදනාවකට ඔහු ඉකුත් ජූනි 16 වන දා බන්ධනාගාරගත කර තිබූ බව වාර්තා වේ.

ඒ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත රැඳවියන් ගණන 21 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කර යවන අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවනු ලැබූ අතර එම රැඳවියන්ට පහරදීම් සහ වධ හිංසා එල්ල වන බවට චෝදනා එල්ල වෙමින් පවතී

'මාරු කළ රැඳවියන්ට අමානුෂීය ලෙස පහර දෙනවා'

වැලිකඩ බන්ධනාගාරය තුළ බිහිසුණු මානව හිමිකම් අර්බුදයක් දිග හැරෙමින් පවතී. මීගමුවෙන් Y.O. සිර මැදිරියට මාරු කරන ලද රැඳවියන් 150කට අධික සංඛ්‍යාවක් ශාරීරික වධහිංසාවලට මුහුණ දෙමින් සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එහි දැක්වෙන්නේ, මීගමුවේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කර එවා දැනට Y.O. සිර මැදිරියේ රඳවා ඇති රැඳවියන් 150කට ආසන්න පිරිසකට බන්ධනාගාර නිලධාරීන්ගේ පහරදීම් සහ විවිධ වධහිංසාවලට ලක්වීමට සිදුව ඇති බව ය.

රැඳවියන්ට පහරදීම් සහ බිය ගැන්වීම් සිදුකිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සාක්ෂි දීම වැළැක්වීම බව එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

"මීගමුව බන්ධනාගාරයේ සිදුවුණ සිදුවීමේ ලොකු ම සාක්ෂි ටික තමයි ඒකේ හිටිය රැඳවියන්. මේ පහරදීම් කරලා බය කිරීම් කරන්නේ ඒ සිදුවීම ගැන සාක්ෂි දෙන එක වළක්වන්න. මේ රැඳවියන්ගේ දෙමව්පියන්ට ඥාතීන්ට ඔවුන්ව බලන්න ඉඩ දෙන්නේ නැහැ. ඇහුව ම කියනවා ලියවිලි අස්ථානගත වෙලා නැත්නම් විනාශ වෙලා කියලා. ඒකෙන් ම පේනවා අපිට බන්ධනාගාරය ඇතුළේ ඉඳල ම මේ රැඳවියන්ගේ කට වහන්න හදන්නේ කියලා."

"රැඳවියන්ගේ දෙමව්පියන් ඥාතීන් කරපු පැමිණිලි නිසා අපේ කමිටුවේ නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැඳවියන්ව බලන්න ගියාම බන්ධනාගාර නිලධාරීන් එතනට වෙලාම ඉන්නවා. නීතිඥයෙකුට තමන්ගේ සේවාදායකයා එක්ක කතා කරලා අවශ්‍ය උපදෙස් දෙන්න අවශ්‍ය කරන රහසිගතභාවයත් නැති කරලා තියෙන්නේ. මේ හැම දෙයක් ම කරන්නේ බන්ධනාගාරය ඇතුළෙදි රැඳවියන්ට සිද්ධ වෙන හිංසා ගැන තොරතුරු එළියට යන එක නතර කරන්න."

ජනාධිපතිතුමාට විතරක් වගකියන මානව හිමිකම් කොමිෂන් සභාවටත්, වැලිකඩ බන්ධනාගාරය ඇතුළට යන්න අවසර දුන්නේ නැහැ කියන එකෙන් ම තේරුම් ගන්න පුළුවන් තත්ත්වය කොහොම ද කියලා," නීතිඥ සේනක පෙරේරා පැවසුවේ ය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

'එහෙම පැමිණිලි නම් ඇවිල්ලා නැහැ'

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය බන්ධනාගාර කොමසාරිස්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායකගෙන් විමසීමක් කළේ ය.

ඔහු කියා සිටියේ, එවැනි පහරදීම් සම්බන්ධයෙන් තමාට මේ දක්වා කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව ය.

"ඒගොල්ලෝ කියනවා තමයි, මානව හිමිකම් එකේ අය ඒ තැන්වලට ගිහින් බලනවා. අපිත් අදාළ වගකිවයුතු ආයතන දැනුවත් කිරීම් කරනවා. හැබැයි මේ දක්වා පහරදීම් ගැන මට කිසි ම වාර්තාවක් ලැබිලා නැහැ. දැන් බලන්න මීගමුව සිද්ධියට කලින් වැලිකඩට මාරු කරලා හිටපු රැඳවියෙක් බෙල්ල වැල දාගෙන මැරිලා තිබ්බා. ඒත් හැමෝම කිව්වේ ගැටුමෙන් පස්සේ මාරු කරපු රැඳවියෙක් මියගියා කියලා," ඔහු පැවසුවේය.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ සිට වැලිකඩ ඇතුළු වෙනත් බන්ධනාගාරගත වෙත මාරු කර හරින ලද රැඳවියන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට ඉඩ ලබාදීම සීමා කර ඇති බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් සිදුකළ විමසීමට පිළිතුරු දෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එවැනි කිසිදු තහනමක් ක්‍රියාත්මක නොවන බව ය.