අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට සිදුකළ බරපතළ ලිංගික අපරාධය: වෛද්‍යවරියගේ සාක්ෂි විමසීම අවසන්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

වෛද්‍ය වැඩ වර්ජන පවා කැඳවිමට හේතුවක් වූ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්‍යවරියක සිය නිල නිවස තුළදී බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු යුද්ධ හමුදා සෙබළාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට අදාළව වින්දිත පුහුණු විශේෂඥ වෛද්‍යවරියගේ සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීමට උතුරු මැද පළාත් බද මහහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක අද (ඔක්: 21) නියෝග කළේ ය.

ඒ අනුව, වින්දිත වෛද්‍යවරියගෙන් සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය එළැඹෙන නොවැම්බර් මස 11 දින යළි විභාගයට ගැනීමට තීන්දු කරමින් එදින සාක්ෂි ලබා දීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පැමිණිල්ලේ 4 වන සාක්ෂිකරුට නියෝග කළේ ය.

එලෙස නියෝග කළේ, මෙම නඩුකරය අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ය.

නඩුවට අදාළ නැති සියලු දෙනා අධිකරණ ශාලාවෙන් ඉවත් කරයි

පැමිණිලිකාර වින්දිත පුහුණු විශේෂඥ වෛද්‍යවරිගෙන් දෙවන දිනටත් වැඩිදුරටත් සාක්ෂි විමසීම අරඹන ලෙසට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, මෙම නඩුවට අදාළ නැති සියලු දෙනා විවෘත අධිකරණ ශලාවෙන් ඉවත් කරන ලෙසට පොලිසියට නියෝග කළේ ය.

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකරුට එරෙහිව දැනට පවතින අධිචෝදනා 2ට අමතරව තවත් අධිචෝදනාවක් ගොනු කරන බව ය. ඒ අනුව වෛද්‍යවරියට අස්වාභාවික ලිංගික හිංසන සිදු කළ බවට දණ්ඩ නීති සංග්‍රහයේ 364 2 (අ) වගන්තිය ප්‍රකාරව තවත් අධිචෝදනාවක් ද ගොනු කෙරිණි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්තිගේ මෙහෙයවීම මත වින්දිත පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දෙවන දිනටත් වැඩිදුර සිය සාක්ෂි ලබා දීම ආරම්භ කළා ය.

ඇයගෙන් වැඩදුරටත් සාක්ෂි විමසීම අවසන් වීමෙන් අනතුරුව විත්තියේ නීතිඥ සුරංග මොහොට්ටි වින්දිත වෛද්‍යවරිගෙන් හරස් ප්‍රශ්න විමසීය.

වෛද්‍යවරිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමෙන් අනතුරුව විත්තිකාර හිටපු යුද්ධ හමුදා සෙබළා විසින් පැහැරගෙන යනු ලැබ, ගල්නෑව ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගැනුණු ස්මාර්ට් ජංගම දුරකතනයට අදාළ රස පරීක්ෂණ වාර්තාව සහ වෛද්‍යවරියගේ ජංගම දුරකතනයට අදාළ දුරකතන විශ්ලේෂණ වාර්තාව අධිකරණයට කෙරිණි. ඒ, මීට පෙර මහාධිකරණ විනිසුරුවරයා ලබා දී තිබූ නියෝගයකට අනුව ය.

2025 වසරේ මාර්තු මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයක වින්දිත වෛද්‍යවරියට හිරිහැර කර අපරාධයක් කළ හෙයින් 1995 අංක 22 සහ 2006 අංක 16 දරන (සංශෝධිත) දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව සහ ඉහත කී වේලාවේ, ඉහත කී ස්ථානයේදී හා ක්‍රියා කලාපයේදී ම පැමිණිලිකාර වින්දිත වෛද්‍යවරිය බරපතළ අපයෝජනයට ලක් කිරීමෙන් 1995 අංක 22 දරන (සංශෝධන) පනත මගින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 364 (1) වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා විසින් විත්තිකාර හිටපු යුද්ධ හමුදා සෙබළාට එරෙහිව මෙලෙස අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

මෙම අධිචෝදනා ලබා සිටින්නේ, ගල්නෑව නව නගරයේ පදිංචි කේ.බී. මධුරංග රත්නායක නමැති හිටපු යුද්ධ හමුදා සෙබළෙකු මෙන් ම හිටපු චීවරධාරියෙකි.

මෙම අපරාධයට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන මූලික නඩු විභාගයක් නොපවත්වා මෙම නඩුකරය විශේෂ නඩු කටයුත්තක් සේ සලකා විත්තිකාර හිටපු හමුදා සෙබළාට එරෙහිව නීතිපතිවරයා ඍජුව ම අනුරාධපුර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.

සාක්ෂිකරුවන් සහ නඩු භාණ්ඩ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සම්පත් සේනතුංග, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර, අනුරාධපුර මූලසථාන පොලිසියේ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිශානි සෙනෙවිරත්න, උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක්, වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ සිවිල් පුද්ගලයින් ඇතුළු පුද්ගලයින් 42 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ජංගම දුරකතනයක්, පිහියක්, ඇඳුම් කිහිපයක්, ඇඳ ඇතිරිල්ලක්, කෙස් සාම්පල කිහිපයක්, රුධිර සාම්පල, අධිකරණ වෛද්‍ය වාර්තාවක්, රජයේ රස පරික්ෂක වාර්තාවක්, රජයේ රස පරික්ෂක සංදේශයක්, ජින්ටෙක් වාර්තාවක්, ජින්ටෙක් ආයතනයේ සංදේශයක්, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක වාර්තාවක් සහ දේපළ කුවිතාන්සි කිහිපයක් මෙම නඩුවේ නඩු භාණ්ඩ ලෙස නම් කර තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත්තේ, 2026 මැයි මස 22 වන දා ය.

මෙම සිද්ධියට අදාළ විත්තිකාර හිටපු හමුදා සෙබළාට එරෙහිව අපරාධය සිදුවී වසරකුත්, මාස දෙකයි දින 12ක් ඇතුළත මෙම නඩුකරය විශේෂ නඩු කටයුත්තක් සේ සලකා නීතිපතිවරයා අධිචෝදනා ගොනු කිරීම විශේෂත්වයකි.