අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අපරාධයක් කිරීමේ සිද්ධිය: වින්දිත වෛද්‍යවරිය පළමු වරට සාක්ෂි දෙයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මහත් ආන්දෝලනයකට තුඩු දුන් අනුරාධුපර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබෙළාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව වින්දිත වෛද්‍යවරියගෙන් වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් 19 වන දින සිදු කරන බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක නියෝග කළේ ය.

මෙම නඩුකරය සිකුරාදා (අගෝ: 28) අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ වින්දිත වෛද්‍යවරිය පළමු වරට නඩුවට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අනුරාධපුර මහාධිකරණයට පැමිණ සිටියා ය.

අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙම නඩුවට විශේෂයෙන් පත් කර සිටින රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි ජයනෙත්ති පෙනී සිටින බව අධිකරණයට දැනුම් දෙන ලදී.

ඊට අමතරව, විත්තිකරු වෙනුවෙන් සුරංග මොහොට්ටි සහ ගයාන් සිරිවර්ධන යන නීතිඥවරුන් පෙනී සිටින බවට ද වාර්තා කෙරිණි.

වින්දිත වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරුන් කූජන බානගොඩ, මදාරා විජේසිංහ, ජනිත් මහසෙන් සහ සුභාෂිණී වීරක්කොඩි සමග ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස පෙනී සිටින බවත් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව පැමිණිලිකාර වින්දිත වෛද්‍යවරිගෙන් සාක්ෂි විමසීම අරඹන ලෙසට නියෝග කළ මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක, වෛද්‍යවරිය සාක්ෂි ලබා දෙන අවස්ථාවේ මෙම නඩුවට අදාළ නැති සියළු දෙනා විවෘත අධිකරණ ශලාවෙන් ඉවත් කරන ලෙසට පොලිසියට නියෝග කළේ ය.

අනතුරුව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි ජයනෙත්තිගේ සාක්ෂි මෙහෙයවීම මත වෛද්‍යවරිය සිය සාක්සි ලබා දීම ආරම්භ කළා ය. ඇය පැය එක හමාරකට අධික කාලයක් සාක්ෂි ලබා දුන්නා ය.

අනතුරුව වින්දිත වෛද්‍යවරිගෙන් වැඩිදුර සාක්ෂි විමසීම එළඹෙන ඔක්තෝබර් මස 19 දින දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදිනට වැඩිදුරටත් සාක්ෂි ලබා දීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පළමු සාක්ෂිකාර වෛද්‍යවරියට සහ දෙවන සාක්ෂිකාර ඇගේ පියාට නියෝග කළේ ය.

අධිචෝදනා

වෛද්‍යවරිය බරපතළ ලිංගික හිංසනයට ලක් කිරීමෙන් අනතුරුව විත්තිකාර හිටපු යුද හමුදා සෙබළා විසින් රැගෙන යනු ලැබ ගල්නෑව ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගැනුණු ස්මාර්ට් ජංගම දුරකතනය පිළිබඳ රස පරීක්ෂණ වාර්තාව මී ළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා වෛද්‍යවරියගේ ජංගම දුරකතනයට අදාළ දුරකතන ඇමතුම් විශ්ලේෂණ වාර්තාව එදින ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඩයලොග් සමාගමේ කළමනාකාරිත්වයට ද නියෝග කළේ ය.

2025 වසරේ මාර්තු මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයක පැමිණිලිකාර වින්දිත වෛද්‍යවරියට හිරිහැර කර අපරාධයක් සිදු කිරීම සම්බන්ධයෙන්, 1995 අංක 22 සහ 2006 අංක 16 දරන (සංශෝධිත) දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.

ඊට අමතරව, පැමිණිලිකාර වින්දිත වෛද්‍යවරිය බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීම සම්බන්ධයෙන් 1995 අංක 22 දරන (සංශෝධන) පනත මගින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 364 (1) වගන්තිය ප්‍රකාරව ද නීතිපතිවරයා විසින් විත්තිකාර හිටපු යුද හමුදා සෙබළාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ පුහුණු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක බරපතළ ලෙස ලිංගික හිංසනයකට ලක් කළ බවට අනුරාධපුර මහාධිකරණය්දී අධිචෝදනා ලබා සිටින්නේ, ගල්නෑව නව නගරය, ඇළ පාර, D – 3 ලිපිනයේ පදිංචි කේ.බී. මධුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළෙකි. ඔහු පැවිදි වී සිටි බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

මෙම අපරාධයට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන මූලික නඩු විභාගයක් නොපවත්වා මෙම නඩුකරය විශේෂ නඩු කටයුත්තක් සේ සලකා විත්තිකාර හිටපු හමුදා සෙබළාට එරෙහිව නීතිපතිවරයා ඍජුව ම අනුරාධපුර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළේ ය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සම්පත් සේනතුංග, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර, අනුරාධපුර පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිශානි සෙනෙවිරත්න, එම කාර්යංශයේ උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්, සිවිල් පුද්ගලයින් ඇතුළු 42 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ජංගම දුරකතනයක්, පිහියක්, ඇඳුම් කිහිපයක්, ඇඳ ඇතිරිල්ලක්, කෙස් සාම්පල කිහිපයක්, රුධිර සාම්පල, අධිකරණ වෛද්‍ය වාර්තාවක්, රජයේ රස පරීක්ෂක වාර්තාවක්, රජයේ රස පරීක්ෂක සංදේශයක්, ජීන්ටෙක් වාර්තාවක්, ජීන්ටෙක් ආයතනයේ සංදේශයක්, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක වාර්තාවක් සහ දේපළ කුවිතාන්සි කිහිපයක් මෙම නඩුවේ නඩු භාණ්ඩ ලෙස නම් කර තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කළේ, 2026 මැයි මස 22 වන දා ය.