ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තමිල් නාඩු මැතිවරණය 2026: තරග කළ පළමු මැතිවරණයම ජයගත් දෙමළ සිනමාවේ වීරයා විජෙයි ගැන ඔබ නොදන්නා කරුණු 8ක්
- Author, බීබීසී දෙමළ සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 10
තමිල් නාඩු දේශපාලනය තුළ, TVK නායක විජෙයි සිය පළමු මැතිවරණයෙන් ම නව ඉතිහාසයක් ලියා තිබේ. 1967 සිට ප්‍රාන්ත දේශපාලනය ආධිපත්‍යය දැරූ ද්‍රවිඩ පක්ෂ වන ඩීඑම්කේ සහ ඒඅයිඒඩීඑම්කේ ඔහුගේ පක්ෂය විසින් පසුපසට තල්ලු කරනු ලැබ ඇත.
එම්ජීආර්ගෙන් පසු තමිල් නාඩුව තුළ තරග කළ පළමු මැතිවරණයේදී ම බලයේ සිටි අනෙකුත් සියලු ම ප්‍රධාන පක්ෂ අභිබවා යමින් විජෙයි ජනතාව අතර තම බලපෑම ඔප්පු කර තිබේ.
වසර 33කට පෙර දෙගිඩියාවෙන් වීර චරිතයකට පණ පොවමින් දෙමළ සිනමාවට පිවිසි විජෙයි, දැන් දේශපාලනයේ ඔහුගේ පළමු මැතිවරණය ජයග්‍රහණය කර තිබේ. මෙම දීර්ඝ කාලය තුළ ඔහුගේ පෞද්ගලික ජීවිතය සහ චිත්‍රපට ජීවිතය බොහෝ දුරට එක හා සමාන වූ නමුත් දේශපාලනයේදී විජෙයි නව ශෛලියක් භාවිත කරයි.
1.විජෙයිගේ චිත්‍රපට සහ ඔහුගේ දේශපාලනය පවසන්නේ කුමක් ද?
විජෙයි පෞද්ගලිකව මුණගැසෙන ඕනෑ ම අයෙකු පුදුමයට පත් කරන එක් අංගයක් තිබේ. එනම්, තිරය මත ජවසම්පන්න ලෙස පෙනී සිටින විජෙයි ඉන් පිටත සැබෑ ජීවිතයේ හැසිරෙන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් ආකාරයකට ය. කෙනෙකු තිරය මත දුටු එම සජීවී පුද්ගලයා අපේක්ෂා කරන්නේ නම්, එවිට එම පුද්ගලයාට හමුවන්නේ කතා කිරීමට මැලිකමක් දක්වන, අසන ප්‍රශ්නවලට පමණක් පිළිතුරු දෙන විජෙයි ය.
"මගේ සහෝදරිය වයස අවුරුදු දහයේදී අහිමි වීම සහ මගේ වයසේ සහෝදර සහෝදරියන් නොමැතිව පවුලේ එක ම දරුවා ලෙස හැදී වැඩීම එයට හේතුවක් විය හැකියි," විජේ වරක් පැවසීය.
දැන් තම නව පක්ෂයේ දේශපාලන වේදිකාවල දැඩි විශ්වාසයකින් යුතුව කතා කරමින් සිටින්නේ එවැනි පුද්ගලයෙකි. තමන්ට නුපුරුදු පුද්ගලයින් සමග කතා කිරීමට පසුබට වන තරුණයෙකු ලෙස සිට, පක්ෂයක නායකයෙකු වීම දක්වා පැමිණි විජෙයිගේ ගමන සාමාන්‍ය එකක් නොවේ.
2. අටවන ශ්‍රේණියේදී ඇරඹි රංගන දිවිය
විජෙයි තරුණ වියේදී ඔහුගේ බාල සොහොයුරිය වූ විද්‍යාගේ මරණය ඔහුට දැඩි බලපෑමක් ඇති කළේ ය. ඔහු ම පැවසූ පරිදි, එම සිදුවීම විජෙයි වඩාත් නිහඬ පුද්ගලයෙකු බවට පත් කළේ ය.
එස්.ඒ. චන්ද්‍රසේකර් චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට පටන් ගත් විට, විජෙයි චිත්‍රපට උනන්දුවෙන් නැරඹීමට සහ ඒවා තේරුම් ගැනීමට තරම් වයසින් මුහුකුරා ගොස් සිටියේ ය. එම කාලවකවානුවේ එස්.ඒ. චන්ද්‍රසේකර් වැඩි වශයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ විජයකාන්ත් සමග යි. විජය මෙම චිත්‍රපටවල කුඩා චරිත නිරූපණය කිරීමට පටන් ගත්තේ ය. ඔහු තම පළමු චිත්‍රපටයේ රඟපාන විට ඉගෙනුම ලබමින් සිටියේ අටවන ශ්‍රේණියේ ය.
"මම 10 ශ්‍රේණියේ ඉන්නකොට සාමාන්‍ය ශිෂ්‍යයෙකුට වඩා ටිකක් හොඳ මට්ටමක හිටපු කෙනෙක්. ඊට පස්සේ, අධ්‍යයන කටයුතු ගැන තිබුණ උනන්දුව වෙද්දී, සිනමාව ගැන ආශාව ආවා. මගේ තාත්තා නොදැනුවත්ව ම මම ගොඩක් චිත්‍රපට බැලුවා. යම් කාලයකට පස්සේ, මට සිනාවට එන්න අවශ්‍යයි, රඟපාන්න අවශ්‍යයි කිව්වා ම ගෙදරින් දැඩි විරෝධයක් ආවා. අපේ නාමෙන් උපාධියක් කර ගන්න, ඊට පස්සේ මම ඔයාට චිත්‍රපටියක් නිෂ්පාදනය කරලා දෙන්නම් කියලා මගේ තාත්තා කිව්වා."
"ඊට පස්සේ මම ලොයෝලා විද්‍යාලයට දෘශ්‍ය සන්නිවේදනය ඉගෙන ගන්න සම්බන්ධ වුණා. මම ඉගෙන ගත්තේ අවුරුද්දක් විතරයි. ඒ කාලේ මගේ තාත්තා නාලෙයිය තීර්ප්පු චිත්‍රපටය නිෂ්පාදනය කළා. එයා මාව ඒකෙ වීරයා කළා. ඒ චිත්‍රපට ඒ තරම් සාර්ථක වුණේ නැහැ. මාස 6-7කට පස්සේ මම ආයෙත් කොලේජ් එකට ගියා," 2009 වසරේදී ඉන්දියා ටුඩේ සමග සම්මුඛ සාකච්ඡාවකදී විජෙයි ඔහුගේ සිනමා දිවියේ මුල් කාලය ගැන කෙටියෙන් පැවසීය.
නාලෙයිය තීර්ප්පු චිත්‍රපටය අපේක්ෂා කළ තරම් සාර්ථක නොවූ විට විජයකාන්ත් වීරයා ලෙස රඟපෑ 'සෙන්දූරපාණ්ඩි චිත්‍රපටයේ විජේ දෙවන වීරයාගේ චරිතයට පණ පෙවීය. විජයකාන්ත් ඒ වන විටත් ජනප්‍රිය තරුවක් වූ බැවින්, එම චිත්‍රපටයේ රඟපෑම ඔහුව පුළුල් ලෙස ජනතාව අතරට ගෙන ගියා පමණක් නොව, එය ඔහු නළුවෙකු ලෙස පිළිගැනීමේ ආරම්භය ද විය.
"නමුත්, මගේ තාත්තා මාව ඒ විදිහට හඳුන්වා නොදුන්නත්, මම අවුරුදු දෙක තුනක ප්‍රමාදයකින් පසු වුණත් සිනමාවට එන්න තිබුණා," විජෙයි කිහිප වතාවක් ම පෙන්වා දී තිබේ.
3. ඉලෙයිය තලපති
1994දී තිරගත වූ 'රාසිගන්' චිත්‍රපටයේ එස්.ඒ. චන්ද්‍රසේකර් තම පුතාට "ඉලෙයිය තලපති" යන නාමය ලබා දුන්නේය. 2017දී 'භයිරවා' චිත්‍රපටය නිකුත් වන තෙක් විජෙයි රඟ පෑ චිත්‍රපටවල මෙම නම භාවිත විය.
ලොයෝලා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී ශ්‍රීනාත්, සංජීව්, රාම්කුමාර්, මනෝජ්, සුජේ, සහ විජෙයිගෙන් සැදුම්ලත් කණ්ඩායමක් නිර්මාණය විය. විජෙයි මෙම මිතුරු කවය දිගු කලක් ජීවමානව තබා ගත්තේ ය. නමුත් ඔහුගේ පියාගේ නිෂ්පාදනය යටතේ චිත්‍රපට එකින් එක නිකුත් වීමට පටන් ගත් විට, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඔහුට කාලයක් නොතිබුණු තරම් ය.
එක් වසරක් තුළ චිත්‍රපට කිහිපයක් ම නිකුත් වීමට පටන් ගත්තේ ය. 1995 සිට 1997 දක්වා කාලය තුළ වසරකට චිත්‍රපට හතරක් හෝ පහක් නිකුත් විය. ඉන් පසු 2005 වනතුරු, සෑම අවුරුද්දක ම විජෙයි රඟපෑ චිත්‍රපට තුනක් හෝ නිකුත් විණි. මෙම කාල පරිච්ඡේදයෙන් පසු, විජෙයි වසරකට රඟ පෑ චිත්‍රපට ගණන එකක් හෝ දෙකකට අඩු කළේ ය.
4. හැරවුම් ලක්ෂ්‍යයක් වූ 'පූවේ උනක්කාග'
'පූවේ උනක්කාග' චිත්‍රපටය විජෙයිගේ සිනමා ගමනේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් විය. සෙන්දූරපාණ්ඩි, රාසිගන්, දේවා සහ කොයිම්බතූර් මාපිල්ලෙයි වැනි චිත්‍රපටවලින් නිර්මාණය වූ ප්‍රතිරූපයෙන් ඉවතට පැමිණීමට මෙම චිත්‍රපටය විජෙයි බෙහෙවින් උපකාරී විය.
එතෙක් විජෙයි රඟපෑ චිත්‍රපට අතරින් මෙම චිත්‍රපටය ද සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා දුන්නේ ය. ඉන්පසුව, තම චිත්‍රපට ප්‍රවේශමෙන් තෝරා ගැනීමට පටන් ගත් විජෙයි, 'Love Today', 'Once More', සහ 'කාදලුක්කු මරියාදෙයි' වැනි චිත්‍රපටවල රඟපෑවේ ය. 'කාදලුක්කු මරියාදෙයි' විජේගේ සිනමා ගමනේ තවත් සන්ධිස්ථානයකි.
1990 දශකයේ අගභාගයේදී විජෙයි රඟපෑ චිත්‍රපට නිසා ඔහු දෙමළ පවුල්වලට ඉතා සමීප විය. රජිනිකාන්ත් සහ කමල් හසන් රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව අඩු වීමට පටන් ගත් මෙම කාලය තුළ, විජෙයි සහ අජිත් සිනමාවේ ආධිපත්‍යය දරන නව ප්‍රමුඛ තරු යුගලය බවට පත්වූහ.
ද්‍රවිඩ සිනමාවේ සීමාවන් පුළුල් වීමත් සමග, විජෙයිගේ ජනප්‍රියතාව ද ඉහළ යන්නට විය. විජෙයි ජාත්‍යන්තර වෙළෙඳ සන්නාමයක් වන කොකා-කෝලාහි වෙළෙඳ දැන්වීම්වල රඟපෑවේ ය. එක් අවස්ථාවකදී ඔහු තමිල් නාඩුවේ කොකා-කෝලාහි සන්නාම තානාපතිවරයා බවට ද පත්විය.
"විජෙයිගේ මුල් කාලීන චිත්‍රපට අවධානයට ලක් වුණේ කතාව, තිර රචනය හෝ රංගනය නිසා නෙවෙයි, වෙනත් හේතු නිසා. මෙය දිගට ම පැවතුණොත් ඒක වැඩි කල් පවතින්නේ නැති බව එස්.ඒ. චන්ද්‍රසේකර් තේරුම් ගත්තා. ඒ නිසා, ඔහු ඔහුව වෙනත් අධ්‍යක්ෂවරුන් යටතේ රඟ පෑමට යැව්වා. වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල රඟපෑමට ගිය විජෙයි, අධ්‍යක්ෂවරුන්ගේ නළුවෙකු ලෙස රැඳී සිටියා.
"ඔහු අධ්‍යක්ෂවරුන් කියන දේ පමණක් කළ කෙනෙක් වුණා. සාර්ථකත්වය අඛණ්ඩව ඔහු හඹා ඒමට පටන් ගත්තා. මෙයින් පසු, ඔහු වාණිජමය වශයෙන් සාර්ථක අධ්‍යක්ෂවරුන් තෝරා ගෙන ඒවායේ රංගනයේ යෙදුණා. මෙහිදී ඔහු විජයකාන්ත් තම ආදර්ශ චරිතය ලෙස තෝරා ගත්තා.
"ඊට පස්සේ, විජෙයි ප්‍රභූ දේවා, සිද්දික්, ධරණි, ශංකර් සහ පේරරසු වැනි විවිධ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල රඟපෑම ආරම්භ කළා. මේක රජිනිකාන්ත්ගේ ශෛලිය. 'ගිල්ලි' චිත්‍රපටය ඔහු සියලු ජන කොටස් වෙත අරගෙන ගියා. මේ කාලයේදී විජේ ගෙදර අයට (සහෝදරිය, මව වැනි) ආදරය කරන චරිත රඟපාන්න පටන් ගත්තා," මනෝන්මනියම් සුන්දරනාර් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ඒ. රාමසාමි පවසයි.
2004 වසරේදී නිකුත් වූ 'ගිල්ලි' සහ 2005දී නිකුත් වූ 'තිරුපාචි', 'සිවකාසි' වැනි චිත්‍රපට ඔහු පවුල්වල සියලු ම කොටස් වෙත ගෙන ගියේ ය. මෙයින් පසු, ඔහුගේ ඇතැම් චිත්‍රපට අසාර්ථක වූ විට, 2012දී නිකුත් කරන ලද 'තුප්පාක්කි' ඔහුට නව මාවතක් පෙන්වීය.
"කලින් වගේ නෙවෙයි, තනි පුද්ගලයෙකු ලෙස වැඩ කිරීම වෙනුවට, ඔහු රඟපාපු චරිත වැදගත් ස්ථානවල තම කණ්ඩායම භාවිත කරන ආකාරය සහ ඒ කණ්ඩායමට නායකත්වය දෙන ආකාරයට වෙනස් වෙන්න පටන් ගත්තා. 'තලෙයිවා' චිත්‍රපටයේ ඔහුගේ නායකත්වය යටතේ මාෆියා කල්ලියක් සහ 'කත්ති' චිත්‍රපටයේ ඔහු වැඩිහිටි පුද්ගල කණ්ඩායමක් මෙහෙයවීම වැනි දේවල් හරහා, හොඳ නායකයෙකු ලෙස විජෙයි පිළිබඳ නව ප්‍රතිරූපයක් ඇති වුණා."
"2017න් පසු, Mersal, සර්කාර්, බිගිල්, Master, Beast, වාරිසු, Leo, The GOAT යන චිත්‍රපටවල, ලියෝ හැර, අනෙක් සියලු ම චිත්‍රපට ඔහු නායකයෙකු ලෙස ප්‍රතිරූපය ගොඩනග ගත්තා," පර්යේෂක මොහොමඩ් ඉල්යාස් ඔහුගේ 'ජනනායගන්' පොතේ සඳහන් කරයි.
5. දේශපාලන අභිලාෂය
මෙම කාලය තුළ, විජෙයි ඔහුගේ නාමය "ඉලෙයිය තලපති" සිට "තලපති" ලෙස වෙනස් කළේ ය. "2017 වසරෙන් පසු විජෙයිගේ බොහෝ චිත්‍රපට ඔහු නව MGR කෙනෙකු ලෙස ප්‍රක්ෂේපණය කළා. ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටීම අඩු කළා. ඩිජිටල් ලෝකයේ මිනිසුන්ට තම මුහුණු ජනප්‍රිය කර ගත හැකි කාලයක, විජෙයි එවැනි ඩිජිටල් අවකාශයන්ගෙන් තම මුහුණ ඈත් කර තැබුවා. ඔහුව දැක ගැනීමට නම්, ඔහුගේ චිත්‍රපට නැරඹිය යුතු ම තත්වයක් නිර්මාණය වුණා," මොහොමඩ් ඉල්යාස් පවසයි.
විජෙයිගේ දේශපාලන උනන්දුව ආරම්භ වූයේ කවදා ද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරු නොමැත. නමුත් එය නව පක්ෂයක් ආරම්භ කිරීමට මාස කිහිපයකට හෝ වසර කිහිපයකට පෙර ඇති වූ උනන්දුවක් නොවේ. වසර 16කට පෙර ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ පැවසීය: "යම් තැනකින් ඔබ්බට, උදව් කරන්න නම්, බලය අතේ තිබිය යුතුයි. යම් අවස්ථාවක් දක්වා පමණක් එය රසික සමාජයක් හෝ ව්‍යාපාරයක් ලෙස පැවතිය හැකිය. එතැනින් එහාට බලය තිබිය යුතුයි." එම කාලයේදී ඔහු කොංග්‍රසයට එක්වන බවට ද වාර්තා පළ විය.
මේ අතර, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර, විජෙයි හදිසියේ ම උපවාසයක් ප්‍රකාශයට පත් කිරීම පුදුමයක් විය. යුද්ධය එහි උච්චතම අවස්ථාවට පැමිණි විට, ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට සහය දක්වමින් සහ ජන සංහාරය නතර කරන ලෙස ඉල්ලා උපවාසයක යෙදෙන බව ඔහු නිවේදනය කළේ ය. ඒ අනුව, ඔහු 2008 නොවැම්බර් 16 වන දින චෙන්නායිහි චෙපෝක්හිදී විශාල උපවාස විරෝධතාවක් පැවැත්වීය. ඔහුගේ රසිකයෝ දහස් ගණනක් එයට සහභාගී වූහ.
6. විජෙයි මක්කල් ඉයක්කම් සිට තමිලග වෙට්‍රි කලගම් දක්වා
ජනතාව අතර වැඩ කිරීම සඳහා, විජෙයි මක්කල් ඉයක්කම් නමින් සංවිධානයක් 2009 ජූලි මාසයේදී ආරම්භ කරන ලදී. 2012දී, 10 සහ 12 ශ්‍රේණිවල විශිෂ්ට සාමාර්ථ ලබා දරුවන්ට විජය සම්මාන ප්‍රදානය කළේ ය.
මෙම ක්‍රියාවන් ඔහුට ජනතාව අතර වැඩ කිරීමේ අභිප්‍රාය ඇති බව පෙන්වන්නක් ලෙස දිස්විණි. 2017දී තමිල් නාඩුවේ NEET විරෝධය තවත් ශක්තිමත් කළ අනිතා නම් ශිෂ්‍යාවගේ මරණය සිදු වූ විට, විජෙයි ඇගේ පවුලේ අය හමුවී ශෝකය පළ කළේ ය.
2018දී, තූත්තුකුඩිහි ස්ටර්ලයිට් තඹ කම්හලට එරෙහි විරෝධතාවයේදී පොලිස් වෙඩි තැබීමෙන් මියගිය අයගේ පවුල්වලට විජෙයි මූල්‍ය ආධාර ලබා දුන් අතර එම වසරේ ම කේරළයේ ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලට සහනාධාර යැවීය.
මෙම සිදුවීම්වලින් පසු, විජෙයි දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට යන බවට වන කතා සෙමෙන් වැඩිවන්නට විය. නමුත් මෙම තීරණය ප්‍රකාශ කිරීමට ඔහුට වසර කිහිපයක් ගත විය. මේ අතර, 2021 ඔක්තෝබර් මාසයේ පැවති තමිල් නාඩු පළාත් පාලන මැතිවරණයේදී, විජෙයි මක්කල් ඉයක්කම් අපේක්ෂකයෝ ඇතැම් මැතිවරණ කොට්ඨාශවල ජයග්‍රහණය කළහ. අවසාන වශයෙන්, 2024 පෙබරවාරි මාසයේදී විජෙයි විසින් තමිලග වෙට්‍රි කලගම් නමින් දේශපාලන පක්ෂයක් ආරම්භ කරන ලදී.
7. කරූර් ඛේදවාචකය
එසේ වුව ද, 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂය තරග නොකරන බවට ඔහු නිවේදනය කළේ ය. මෙයින් පසු, එම වසරේ ම ඔක්තෝබර් මාසයේදී, විජය පක්ෂයේ පළමු සමුළුව වික්‍රවණ්ඩිහිදී පැවැත්වීය. මෙම සමුළුවට පැමිණි පිරිස තමිල් නාඩුවේ බොහෝ දේශපාලන පක්ෂවලට ආපසු හැරී බැලීමට සැලැස්වූහ. 2025 සැප්තැම්බර් 27 වන දින කරූර්හි පැවති ඔහුගේ රැස්වීමේදී 41 දෙනෙක් මිය ගියහ.
"මේ තරම් නරක දෙයක් වුණා ම වත් ඔහුට එම ස්ථානයේ ඉන්න තිබුණා. තිරුචි වෙත ළඟා වෙද්දී ඔහු සියල්ල ගැන දැනගෙන ඉන්න ඇත්තේ. ඊට පස්සෙවත් ඔහුට එන්න තිබුණා. ඊට පස්සේ හැමදේම වෙනස් වුණා. තාමත් ඔහු කරූර් සිද්ධියේ වගකීම භාරගෙන නැහැ. ඔහු තම කණගාටුව ප්‍රකාශ කරලා නැහැ. ඔහු දිගින් දිගට ම වරද වෙනත් අයට පටවනවා. ඔහු හිතන්නේ මිනිස්සු ඒවා විශ්වාස කරාවි කියලා," ඒ. රාමසාමි පවසයි.
විජෙයි ගැන කතා කරන සෑම කෙනෙකු ම එක දෙයක් සඳහන් කරනු ඇත. ඒ ඔහුගේ වෙලාවට වැඩ කිරීම ගැනයි. "ෂූටිංවලට 8ට එන්න කිව්වොත්, එයා 7.50 වෙනකොට ලෑස්ති වෙලා ඉන්නවා. විජෙයි හරියට ම වෙලාවට වැඩ කරන නිසා අපිට හිතිලා තියෙනවා ටිකක් වෙලාව පස්සට දාලා කිව්වා නම් කියලා," අධ්‍යක්ෂ සිම්බුදේවන් බීබීසීයට පැවසීය. ඔහු සමග රඟපෑ නිළි ට්‍රිෂා ද සම්මුඛ සාකච්ඡාවකදී ඒ බව සඳහන් කළා ය.
නමුත්, කරූර් මහජන රැස්වීම සඳහා නියමිත වේලාවට වඩා පැය කිහිපයක් ප්‍රමාද වී විජෙයි පැමිණීම පරස්පර විරෝධී විය. ඒ හා සමානව, යම් කාලයක් දක්වා ඔහු මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා ලබා දීමට පසුබට වූයේ නැත. එම සම්මුඛ සාකච්ඡාවලට ඔහු පෙනී සිටියේ තම සැබෑ ස්වරූපයෙනි. නමුත් දේශපාලනයට පැමිණි පසු මාධ්‍ය හමු නොවීම තවත් පරස්පර විරෝධී කාරණයකි.
"TVK නායක විජෙයිගේ ප්‍රධාන උපාය මාර්ගය ඔහුගේ නිහඬතාවය. නිහඬව සිටින නායකයෙකුට බොහෝ වාසි සහ අවාසි තිබෙනවා. විජේගේ නිහඬතාව පොදු අවකාශය තුළ යම් ආකාරයක අපැහැදිලි බවක් ඇති කරනවා. මේ නිසා, විවිධ කණ්ඩායම් එහි අර්ථය විවිධ ආකාරවලින් අර්ථකථනය කරනවා.
"කරූර් ඛේදවාචකයේදී, ඔහු එයට ඍජුව ම සම්බන්ධ වුණා ම, විජෙයි පෙන්වූ නිශ්ශබ්දතාව සහ පසුව ඔහු නිකුත් කළ වීඩියෝව ඔහුගේ ආධාරකරුවන් විසින් ඔහුගේ මෘදු ස්වභාවය ලෙස විස්තර කළා. මෙය වගකීම් විරහිත ක්‍රියාවක් ලෙස විපක්ෂය විසින් දැඩි ලෙස විවේචනය කළා. ඔහුගේ නායකත්ව ගුණාංග පවා ප්‍රශ්න කෙරුණා," මොහොමඩ් ඉල්යාස් පවසයි.
8.මැතිවරණ ව්‍යාපාරය තුළ විජෙයි
මැතිවරණ ව්‍යාපාරයේදී ද විජෙයිට එරෙහිව ප්‍රධාන පක්ෂ වන DMK සහ AIADMK මෙම ප්‍රශ්නය මතු කළේ ය. ඒ සමග ම, තමිල් නාඩුවේ සියලු ම මැතිවරණ කොට්ඨාශවලට ගොස් තම පක්ෂ අපේක්ෂකයින් සඳහා සහය පැතීමට විජෙයිට නොහැකි විය. විජය ඡන්ද එකතු කිරීම සඳහා කලාප අනුව ස්ථාන කිහිපයකට පමණක් සහභාගී විය. විවිධ හේතු මත ඇතැම් ස්ථානවල ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවලංගු කෙරිණි.
පොංගල් දිනයේදී තිරගත වීමට නියමිතව තිබූ විජෙයිගේගේ 'ජනනායගන්' චිත්‍රපටය වාරණ ගැටලුවලට මුහුණ දී තිබේ. අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවතිය ද චිත්‍රපටය තවමත් නිකුත් කර නොමැත. චිත්‍රපටය නිකුත් කිරීම වටා ඇති ගැටලුව විජෙයිගේ රසිකයන් අතර පමණක් නොව මහජනතාව අතර ද විවාදයට තුඩු දී ඇති මාතෘකාවක් බවට පත්ව ඇත.
මැතිවරණ ව්‍යාපාරය අතරතුර, විජෙයිගේ ප්‍රධාන ඉලක්කය වූයේ ප්‍රාන්තයේ පාලක පක්ෂය වූ DMK පක්ෂයයි. ඔහු පැවැත්වූ සෑම ප්‍රචාරක රැස්වීමකදීම DMK පක්ෂය විවේචනය කළේ ය. ඔහු තම කතාවලදී මෙම මැතිවරණය DMK සහ TDP අතර මැතිවරණයක් ලෙසත්, 'ස්ටාලින් අන්කල්' සහ 'විජේ අන්නා' අතර මැතිවරණයක් ලෙසත් හැඳින්වීමට පුරුදුව සිටියේ ය.
ප්‍රධාන විපක්ෂය වන ඒඅයිඒඩීඑම්කේ පක්ෂය කෝපයට පත් වී විජෙයි දැඩි ලෙස විවේචනය කළ ද, ඔහු තම ප්‍රචාරක රැලිවල විලාසය වෙනස් කළේ නැත. 'ජනනාගයන්' ගැටලුවේදී පවා ඔහු පාලක භාරතීය ජනතා පක්ෂය ඍජුව ම විවේචනය නොකළ අතර, ඉන්දියාවේ ව්‍යවස්ථාදායකයන් තුළ කාන්තාවන් සඳහා වැඩි ආසන ගණනක් වෙන් කිරීමට සම්බන්ධ කෙටුම්පත ඇතුළු අවස්ථා කිහිපයකදී පමණක් පක්ෂය විවේචනය කළේ ය.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු නිකුත් කරන ලද බොහෝ ඡන්ද ප්‍රතිඵලවලින් අනාවැකි පළ වූයේ ඩීඑම්කේ හෝ AIADMK පක්ෂය රජයක් පිහිටුවනු ඇති බවයි. ඩීඑම්කේ සහ AIADMK පරාජය කරමින් විජෙයිගේ තවේකා පක්ෂයට ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් ලැබෙනු ඇතැයි අනාවැකි පළ කර තිබුණේ ඇක්සිස් මයි ඉන්දියා මත විමසුම පමණි. වත්මන් ඡන්ද ගණන් කිරීම්වලින් පෙනී යන්නේ එම අනාවැකිය සත්‍ය වී ඇති බවයි.
රාත්‍රී 7:30 පමණ වනට, DMK සහ AIADMK පක්ෂ අභිබවා යමින් තනි විශාලතම පක්ෂය ලෙස ඉස්මතු වී ඇති තවේකා පක්ෂය, ආසන 106ක් දිනා ගනිමින් පෙරමුණේ සිටියේ ය. පළමු වරට මැතිවරණයට ඉදිරිපත් වන තවේකා පක්ෂය පූර්ණ බහුතරයක් දිනා ගනීදැයි දැන ගැනීමට පාක්ෂිකයෝ සහ විජෙයිගේ රසිකයෝ මැතිවරණ ප්‍රතිඵල දෙස ඉතා උනන්දුවෙන් බලා සිටිති.