මගී නෞකාවකින් හමු වූ හැන්ටාවෛරසය යනු කුමක් ද?

    • Author, යැං ටියැන්
    • Role, බීබීසී පුවත්
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, හැන්ටාවෛරසය බවට සැක කරන ආසාදනයක් හේතුවෙන් අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ මගී නෞකාවක සිටි පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

එක් හැන්ටාවෛරස ආසාදිතයෙකු තහවුරු කරගෙන ඇති අතර වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන තවත් රෝගීන් 5 දෙනෙකු පරීක්ෂා කරමින් සිටින බව එම සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය බීබීසීය වෙත පැවසුවේ, වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන රෝගීන් සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ ද ඇතුළුව "ගැඹුරින් පරීක්ෂණ" සිදු කරන බව ය.

මෙම ආසාදන තත්ත්වය වාර්තා වූයේ අර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් වෙත යාත්‍රා කරමින් සිටි MV Hondius නමැති මගී නෞකාවෙන් ය.

හැන්ටාවෛරසය ගැන අප දන්නා කරුණු මෙහි දැක්වේ.

හැන්ටාවෛරසය යනු කුමක් ද?

හැන්ටාවෛරසය යනු, මීයන් මගින් පැතිරෙන වෛරස වර්ගයක් වන අතර, එය ප්‍රධාන වශයෙන් මීයන්ගේ වියළුණු මලපහවලින් වාතයට එකතු වන අංශු ආශ්වාස කිරීම හරහා මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ.

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව, මෙම ආසාදන සාමාන්‍යයෙන් සිදුවන්නේ මීයන්ගේ මුත්‍රා, මලපහ හෝ කේඨයෙන් වෛරසය වාතයට එක්වූ විට ය.

දුර්ලභ වුව ද, එය මීයන් සපා කෑමෙන් හෝ සීරීම් හරහා ද පැතිර යා හැක.

මෙම වෛරසයෙන් දරුණු රෝග තත්ත්ව දෙකක් ඇති විය හැකි ය. පළමුවැන්න, හැන්ටාවෛරසය පුප්ඵුසීය සින්ඩ්‍රෝමය (HPS), බොහෝ විට තෙහෙට්ටුව, උණ සහ මාංශ පේශි වේදනාවෙන් ආරම්භ වන අතර පසුව එය හිසරදය, කරකැවිල්ල, සෙම්ප්‍රතිශ්‍යාව සහ උදරය ආශ්‍රිත ගැටලු ඇති කරයි. ශ්වසන රෝග ලක්ෂණ වර්ධනය වුවහොත්, මරණ අනුපාතය ආසන්න වශයෙන් 38%ක් පමණ වන බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

දෙවන රෝගී තත්ත්වය වන වෘක්කීය සින්ඩ්‍රෝමය සහිත රක්තපාත උණ (HFRS), වඩාත් දරුණු වන අතර එය ප්‍රධාන වශයෙන් වකුගඩුවලට බලපායි. පසුකාලීන රෝග ලක්ෂණ අතරට අඩු රුධිර පීඩනය, අභ්‍යන්තර රුධිර වහනය සහ වකුගඩු අකර්මණ්‍ය වීමේ බරපතළ තත්ත්වය ඇතුළත් විය හැකි ය.

ලෝකය පුරා හැන්ටාවෛරස ආසාදන කොපමණ ගණනක් වාර්තා වී තිබේ ද?

ජාතික සෞඛ්‍ය ආයතන වාර්තාවකට අනුව, ලොව පුරා සෑම වසරක ම HFRS රෝගීන් 150,000 දෙනෙකු පමණ වාර්තා වන අතර, ඔවුන් ප්‍රධාන වශයෙන් වාර්තා වන්නේ යුරෝපයෙන් සහ ආසියාවෙනි. රෝගීන්ගෙන් අඩකට වඩා සාමාන්‍යයෙන් වාර්තා වන්නේ චීනයෙනි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නවතම දත්තවලට අනුව, හැන්ටාවෛරසය පිළිබඳ නිරීක්ෂණ ආරම්භ වූ 1993 සිට 2023 දක්වා කාලය තුළ එරට තුළ රෝගීන් 890 දෙනෙකු වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, නෝර්වේ මීයන් (දුඹුරු මීයා ලෙස ද හැඳින්වේ) මගින් පැතිරෙන හැන්ටාවෛරසයේ ප්‍රධාන ප්‍රභේදවලින් එකක් වන සෝල් වෛරසය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා රටවලින් හමුවේ.

එයට ප්‍රතිකාර කරන්නේ කෙසේ ද?

හැන්ටාවෛරස ආසාදන සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත.

ඔක්සිජන් චිකිත්සාව, ශ්වසන ආධාරක යන්ත්‍ර භාවිතය, ප්‍රතිවෛරස් ඖෂධ ලබා දීම සහ රුධිර කාන්දු පෙරීම ආදී රෝග ලක්ෂණ සඳහා සිදු කෙරෙන ප්‍රතිකාර ක්‍රම එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිර්දේශ කරයි.

දරුණු රෝග ලක්ෂණ ඇති රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට සිදු විය හැකි ය. බරපතළ අවස්ථාවලදී, ඇතැමුන්ට නළයක් භාවිත කර ශ්වසනාධාරා ලබා දීමට සිදු විය හැකි ය.

වෛරසයට නිරාවරණය වීම අවම කර ගැනීම සඳහා නිවෙස්වල හෝ සේවා ස්ථානවල මීයන් ගැවසීම නතර කළ යුතු බවට එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිර්දේශ කරයි.

මීයන් නිවෙස්වලට ඇතුළු විය හැකි බිම් මහලේ හෝ අට්ටාලවල පිවිසුම් ස්ථාන මුද්‍රා තැබීමට ද ආයතනය නිර්දේශ කරයි.

දූෂිත වාතය ආශ්වාස වීම වැළැක්වීම ගැනීම සඳහා මීයන්ගේ මළපහ පිරිසිදු කිරීමේදී ආරක්ෂිත ආම්පන්න පැළඳීම ද නිර්දේශ කරයි.

මෑතකදී හැන්ටාවෛරස් රෝගීන් වාර්තා වී තිබේ ද?

2025 පෙබරවාරි මාසයේදී, ඔස්කාර් සම්මානලාභී නළු ජීන් හැක්මන්ගේ බිරිඳ වන බෙට්සි අරකාවා, හැන්ටාවෛරසයට සම්බන්ධ ශ්වසන රෝගයකින් මිය ගියා ය.

වෛද්‍ය විමර්ශකයින් විශ්වාස කරන්නේ අරකාවාට ඇමෙරිකා එක්සත් ජනපදයේ වඩාත් සුලභ ප්‍රභේදයක් වන HPS ආසාදනය වී ඇති බවත් එය ඇගේ මරණයට හේතු වූ බවත් ය.

ඇය මියගොස් සිටියදී හමු වූ ඇගේ නිවසේ පිටත ගොඩනැගිලිවලින් මී ගුල් සහ මියගිය මීයන් කිහිප දෙනෙකු හමු විය.

පොලිස් වාර්තාවලින් පෙනී ගියේ, අරකාවා මිය යාමට පෙර දින කිහිපය තුළ උණ සහ කොවිඩ් රෝග ලක්ෂණ පිළිබඳ තොරතුරු සඳහා අන්තර්ජාලය තුළ පිරික්සා ඇති බවයි.