හොර්මූස් සමුද්‍ර සන්ධියේදී ඇමෙරිකාවෙන් ඉන්ධන නෞකාවකට ප්‍රහාරයක්: සෞදිය සහ හූති කැරලිකරුවන් අතර ගැටුමක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, හෙලන් සුලිවාන්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ඉරානයේ සහය ලබන හූති කැරලිකරුවන් විසින් සමුද්‍රීය අවහිරයක් ප්‍රකාශයට පත් කර සෞදි නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, සෞදි අරාබිය සිකුරාදා (ජූලි 24) යේමනයේ හොඩෙයිඩා (Hodeida) වරාය නගරයේ සහ ඒ ආසන්න දූපතක පිහිටි හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේ ය.
ජිසාන් නගරය වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයක වගකීම හූති කැරලිකරුවන් භාර ගැනීමත් සමග, සෞදි බලධාරීහු ජිසාන් පළාත සඳහා හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කළහ.
සෙනසුරාදා, හූති කැරලිකරුවන්ගේ 'අන්සාරුල්ලා' (Ansarollah) මාධ්‍ය අංශය ටෙලිග්‍රාම් හරහා මුලින් ම ප්‍රකාශ කළේ, "යේමන මිසයිල ප්‍රහාරයක්" හේතුවෙන් සෞදි අරාබියේ ජිසාන් නගරයේ ගිනි ගැනීම් සිදුවූ බව ය.
මේ අතර, ඉරාන වරායන් වෙත පනවා ඇති ඇමෙරිකානු අවහිර කිරීම් මගහැර යාමට උත්සහ කළ ඕමාන් බොක්කේ තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවකට වෙඩි තබා එය අක්‍රිය කළ බව ඇමෙරිකානු හමුදාව සිකුරාදා ප්‍රකාශ කළේ ය.
ඇමෙරිකාව විසින් ප්‍රහාරයට එල්ල කරන ලද නෞකාව, මෙම මස මුලදී අවහිර කිරීමේ ක්‍රියාමාර්ගය නැවත ක්‍රියාත්මක කිරීමෙන් පසු ඇමෙරිකාව විසින් අක්‍රිය කරන ලද දෙවන වාණිජ නෞකාව ය.
"කාර්ය මණ්ඩලය අවම වශයෙන් සිව් වතාවක් අවහිර කිරීම් නොතකා යාත්‍රා කිරීමට උත්සහ කිරීමෙන් පසුව අපි නෞකාව අක්‍රිය කළා," ඇමෙරිකානු මධ්‍යම අණදෙන බළකායේ (US Central Command) ප්‍රකාශක නාවික කපිතාන් ටිම් හෝකින්ස් AFP වෙත පැවසීය.
"කාර්ය මණ්ඩලයට නැවත නැවතත් අනතුරු ඇඟවීම් කළ ද ඔවුන් ඊට අවනත නොවූ අතර, එම ස්ථානයේ සිටි ඇමෙරිකානු හමුදා භටයින් නෞකාවේ එන්ජින් කාමරයට ප්‍රහාර එල්ල කර එය අක්‍රිය කළ," බව ඔහු පැවසීය. "එම නෞකාවට තවදුරටත් ඉරානය බලා යාත්‍රා කිරීමට හැකියාවක් නැහැ."
හෝර්මූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඕමාන දූත පිරිසක් ඉරානයේ අගනුවර වන ටෙහෙරානය වෙත පැමිණි බව ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කළේ ය. එම සමුද්‍ර සන්ධියේ දකුණු දිග වෙරළ තීරය පාලනය කරනු ලබන්නේ ඕමානය විසිනි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකකට ආසන්න කාලයක් පුරා එකිනෙකා අතර ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර, ඇමෙරිකාව විසින් එරටට එල්ල කරන ලද අඛණ්ඩ 13 වන රාත්‍රී ප්‍රහාර මාලාවට ප්‍රතිචාර වශයෙන් මැද පෙරදිග පුරා පිහිටි ඇමෙරිකානු හමුදා මධ්‍යස්ථාන සහ කඳවුරු වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය සිකුරාදා ප්‍රකාශ කළේ ය.
සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතරතුර, තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීම් ද තමන් අඛණ්ඩව සිදු කරන බව සිකුරාදා දහවල් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.
"අපි ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන් මේ කාරණය සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස කටයුතු කරන බව යි මට හැඟෙන්නේ. මම හිතන්නේ... ඔවුන් මෙතෙක් අප දුටු අවස්ථා හා සසඳන විට මේ මොහොතේ ඉතාමත් ම බැරෑරුම් ස්ථාවරයක සිටිනවා; නමුත් ඉන් අදහස් වන්නේ අපට අවසාන එකඟතාවකට පැමිණිය හැකි යි කියන එක ම නෙවෙයි," යැයි ඔහු පැවසීය.
ඉරාන යුද්ධයෙන් ඉවත් වීම සඳහා වන තම සැලැස්ම පිළිබඳව විමසූ විට ට්‍රම්ප් මෙසේ පැවසීය: "එක් ක්‍රමයක් වන්නේ හමුදාමය වශයෙන් ඉවත් වීම යි; ඒ යටතේ අප දැනට සිදු කරන ආකාරයට ම කටයුතු කිරීම හෝ ඊටත් වඩා දැඩි ප්‍රහාර එල්ල කිරීම මගින් ඔවුන් සතු සියල්ල විනාශ කර දැමිය හැකි යි. නැතහොත්, ගිවිසුමකට එළැඹීම වැනි වඩාත් බුද්ධිමත් උපායමාර්ගයක් ද අනුගමනය කළ හැකි යි."
නමුත් ඔහු මෙසේ ද පැවසීය: "අපි සියලු ආකාරයෙන් සූදානමින් සිටිනවා. අපි ක්‍රියාත්මක වීමට සූදානම්."
යේමනයේ හූති කැරලිකරුවන්ගෙන් රතු මුහුදේ නාවික ගමනාගමනයට එල්ල වන නව තර්ජන පිළිබඳව මතුවෙමින් පවතින අර්බුදය හේතුවෙන්, මෙම සතියේදී බොරතෙල් බැරලයක මිල නැවතත් ඇමෙරිකානු ඩොලර් 100 (පවුම් 74.96) සීමාව ඉක්මවා ඉහළ ගියේ ය; මෙය මැයි මාසයෙන් පසු වාර්තා වූ ඉහළ ම අගය යි.
කෙසේ වෙතත්, සිකුරාදා පස්වරුවේ එහි මිල නැවතත් පහත වැටුණු අතර, ඒ අනුව 'බ්‍රෙන්ට්' (Brent) අනාගත ගිවිසුම් මිල ඇමෙරිකානු ඩොලර් 4කට (පවුම් 3.00) වඩා පහත වැටීමෙන් ඩොලර් 96 (පවුම් 72.07) ඉක්මවූ මට්ටමකට පත්විය. චීනයට අයත් දැවැන්ත ඉන්ධන ප්‍රවාහන නෞකා (supertankers) දෙකක් 'බාබ් අල්-මන්දාබ්' (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය හරහා සාර්ථකව ගමන් කිරීමෙන් අනතුරුව මෙම මිල පහත වැටීම සිදුවූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය.
සෙනසුරාදා අලුයම ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසුව, හූති කැරලිකරුවන්ගේ අන්සාරුල්ලා මාධ්‍ය අංශය ටෙලිග්‍රෑම්හි පළ කළේ, "හොඩෙයිඩාහි සහ කමරන් දූපතේ සිවිල් පහසුකම් වෙත සෞදි සතුරාගේ ඉලක්ක එල්ල වීම භයානක තත්ත්වයක්" යනුවෙනි. "මෙම මෑත කාලීන අපරාධවලට ප්‍රතිචාර නොදක්වා නොසිටින බව අපි සහතික කරමු."
මේ සම්බන්ධයෙන් සෞදි බලධාරීන් කඩිනම් ප්‍රතිචාර දක්වා තිබුණේ නැත.
හෝර්මූස් සමුද්‍ර සන්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ලබන සතියේ ලන්ඩනයේදී සමුළුවක් පැවැත්වීමට නියමිත බව බීබීසීයට වාර්තා වේ. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ඩෑන් කේන් මෙම සමුළුවට සහභාගී වන බව Axios විසින් මුලින් ම වාර්තා කරන ලදී.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ලබන අඟහරුවාදා ධවල මන්දිරයේදී එක්සත් ජනපද ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇති පසුබිමක මෙය සිදුවේ.
හමුදා ක්‍රියාකාරකම් නැවැත්වීමට සහ හෝර්මූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට මෙන් ම, ඉදිරි දින 60 තුළ යුද්ධය අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීමට ද අදාළ කරුණු 14කින් සමන්විත අවබෝධතා ගිවිසුමක් (MOU) පිළිබඳව ජූනි මාසයේදී එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට පැමිණියහ.
නමුත් එය අත්සන් කිරීමෙන් සති තුනකට පසු, සමුද්‍ර සන්ධියේ නැව්වලට ඉරානය ප්‍රහාර එල්ල කිරීමෙන් සහ ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ට්‍රම්ප් සටන් විරාමය "අවසන්" බව ප්‍රකාශ කළේ ය.


































