මැද පෙරදිග යුද්ධය තිබියදීත් කඩා නොවැටුණු මුදල් ඒකක මොනවා ද?

Banknotes from various countries including India and China, with a Chinese yuan note featuring former leader Mao Zedong in the foreground.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාන යුද්ධය අතරතුර ඇතැම් මුදල් ඒකක කඩා වැටී ඇති අතර, ස්ථාවරව පවතින මුදල් ඒකක අතරින් චීන යුවාන් තවමත් ශක්තිමත් ලෙස ඉදිරියෙන් සිටියි.
    • Author, ලුයිස් බරූචෝ සහ ජූලියා බ්‍රව්න්
    • Role, බීබීසී ලෝක සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

පෙබරවාරි මස අවසානයේදී ඉරානය සමග ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වූ විට, එහි බලපෑම දැනුණේ මැදපෙරදිගට පමණක් නොවේ.

මෙම ගැටුම හේතුවෙන් ලොව පුරා වාණිජ නැව්ගත කිරීම සහ භාණ්ඩ ප්‍රවාහනය අඩාල වීමත් සමග තෙල් මිල ඉහළ ගිය අතර, උද්ධමනය ඉහළ ගොස් ගෝලීය වෙළඳපොළවල් කැළඹීමට හේතු විය.

අවිනිශ්චිත කාලවලදී, සාමාන්‍යයෙන් බොහෝ ආයෝජකයින් නැගී එන වෙළඳපොළවල් වල සිදු කරන අවදානම් සහිත ආයෝජනවලින් ඉවත් වේ. ඒ වෙනුවට, ඔවුහු තම මුදල් සාමාන්‍යයෙන් ආරක්ෂිත ආයෝජනයක් ලෙස සැලකෙන ඇමරිකානු ඩොලරයේ ආයෝජනය කරති.

මෙය බොහෝ මුදල් ඒකකවලට බලපා තිබේ. සමහර මුදල් ඒකක වල වටිනාකම පහත වැටී ඇති අතර අනෙක් ඒවා අස්ථායී වෙනස්කම් පෙන්නුම් කර ඇත. සමහර මුදල් ඒකක ශක්තිමත් වී ඇත.

APCE උපදේශන සමාගමට නායකත්වය දෙන බ්‍රසීලියානු ආර්ථික විද්‍යාඥ ඇන්ඩ්‍රේ පෙර්ෆීටු පවසන්නේ තෙල් මිල "සෑම කෙනෙකුටම බලපාන අතර... මුදල් උච්චාවචනයන් එම බලපෑම තවත් වැඩි කළ හැකි හෝ අඩු කළ හැකි," බව යි.

ඉතින්, ආර්ථිකයට බලපාන අනෙකුත් සාධක සමග සසඳා බැලූ විට, මෙම මුදල් උච්චාවචනයන් එක් එක් රටවල් සහ ඔවුන්ගේ පුරවැසියන්ට වැදගත් වන්නේ ඇයි?

වැඩි ම බලපෑමට ලක්වූයේ කවු ද?

A consumer’s hand holds a credit card at the checkout, surrounded by groceries

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මුදල් ඒකකයක වටිනාකම, ආහාර වැනි එදිනෙදා මිලදී ගන්නා භාණ්ඩවල මිලට බලපෑ හැකි ය.

විශේෂයෙන්ම ඉන්ධන ඇතුළු බලශක්තිය විශාල වශයෙන් ආනයනය කරන රටවල් අතර මුදල් මත පීඩනය වැඩි වී ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය සහ ඊජිප්තුව ඒ අතර වන අතර, ඉහළ ඉන්ධන පිරිවැය සහ දිගුකාලීන විදේශ විනිමය හිඟය හේතුවෙන් නැවතත් එම රටවල් පීඩනයට ලක්ව ඇත.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ආයෝජකයින් ඇමරිකානු ඩොලර් වලට මුදල් මාරු කිරීමත් සමග, මෙම මුදල් වර්ග සඳහා ඇති ඉල්ලුම පහත වැටී තිබේ. ඒ නිසා එම මුදල් ඒකකවල වටිනාකම දුර්වල වී ඇති අතර, එමගින් ඩොලර් වලින් නිකුත් කරන ලද ණය ආපසු ගෙවීමේ පිරිවැය ඉහළ දමයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනයට ඇති වූ බාධා හේතුවෙන් බලපෑමට ලක් වූ ඉන්ධන සහ අනෙකුත් භාණ්ඩවල මිල ද සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් වලින් නියම කෙරේ.

මුදල් ඒකකයක වටිනාකම අඩු වන විට, ආනයන මිල අධික වේ. මෙය බලශක්තියේ සිට ප්ලාස්ටික් සහ පොහොර දක්වා සෑම දෙයකටම බලපායි. එහි ප්‍රතිඵලයක් ලෙස, වෙළඳසැල්වල ආහාර සහ එදිනෙදා මිලදී ගන්නා භාණ්ඩවල මිල ද ඉහළ යයි.

යුද්ධය ආරම්භයේ සිට ඉන්දියාවේ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 5%කින් පමණ පහත වැටී ඇති අතර, තෙල් මිල ඉහළ යාමත් සමග නැවත නැවතත් වාර්තාගත අඩු ම අගයන්ට ළඟා වී තිබේ.

ගැටුමට පෙර සි ම ඉන්දියානු මුදල් ඒකකය දුර්වල වෙමින් පැවති අතර, යුද්ධයේ බලපෑම එම ප්‍රවණතාවය තීව්‍ර කර තිබේ.

සමහර මහ බැංකු පොලී අනුපාත ඉහළ නැංවීමෙන් සහ ඔවුන්ගේ මුදල්වල වටිනාකම ඉහළ නැංවීම සඳහා ඇමරිකානු ඩොලර් සංචිතවලින් සමහරක් විකුණා දැමීමෙන් ප්‍රතිචාර දක්වා ඇත.

ඉන්දුනීසියානු බැංකුව මෙම පියවර දෙක ම ගෙන ඇති අතර, ඒ සඳහා ඉල්ලුම වැඩි කිරීම වෙනුවෙන් නැවත නැවතත් ඩොලර් විකිණීම සහ තමන්ගේ ම මුදල් ඒකකය වන රුපියල මිලදී ගැනීම සිදු කර ඇත.

පොලී අනුපාත වැඩි වූ විට, මිනිසුන් තම ඉතුරුම් වලින් ඉහළ ප්‍රතිලාභ උපයා ගනී. නමුත් එයින් අදහස් වන්නේ උකස් සහ අනෙකුත් ණය වැනි ණය සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව යි.

උච්චාවචනය සහ ඉහළ යාමේ ප්‍රවණතාව

Workers walk across the top of an large, round, white oil storage tank which has Rosneft written across it, at a pumping station in the snowy Samotlor oilfield near Nizhnevartovsk.

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාන යුද්ධය ආරම්භයේ සිටම රුසියානු රූබල් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව හොඳ ම ක්‍රියාකාරී මුදල්වලින් එකක් වී ඇත.ඒ ප්‍රධාන වශයෙන් ම රුසියාව ප්‍රධාන තෙල් නිෂ්පාදකයෙකු වන බැවිනි.

තවත් මුදල් කාණ්ඩ වඩාත් අස්ථාවර වී ඇති අතර, දෙපසට ම තියුණු උච්චාවචනයන් සිදු වෙමින් තිබේ.

දකුණු අප්‍රිකාව, කොලොම්බියාව, චිලී සහ මෙක්සිකෝව වැනි රටවල් මෙම කාණ්ඩයට අයත් වේ.

මෙම මුදල් වර්ග බොහෝ විට ගෝලීය වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම් වලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වයි. ආයෝජකයින් තම මුදල් ඇමරිකානු ඩොලරය වැනි ආරක්ෂිත විකල්ප වෙත ගෙන යන විට ඒවා දුර්වල වේ. නමුත් භාණ්ඩ මිල ඉහළ ගිය විට හෝ ආයෝජකයින් නැවත අවදානම් ගැනීමට කැමති වූ විට ඒවාට ඉක්මනින් යථා තත්ත්වයට පත් විය හැකි ය.

බ්‍රසීලය සහ මැලේසියාව ඇතුළු සමහර බලශක්ති අපනයනකරුවන්, තෙල් මිල ඉහළ යාමෙන් අර්ධ වශයෙන් ප්‍රතිලාභ ලබා ඇති අතර, එමගින් අපනයන ආදායම ඉහළ යාම නිසා ආයෝජකයින්ගේ උනන්දුව වැඩි වී තිබේ.

ගෝල්ඩ්මන් සැක්ස් සහ බෑන්ක් ඔෆ් ඇමරිකා ඇතුළු බැංකු, අප්‍රේල් මාසයේදී ගනුදෙනුකරුවන්ට වාර්තා කරමින් බ්‍රසීල රජයේ බැඳුම්කර සහ සමාගම් කොටස් සඳහා දැඩි ඉල්ලුමක් පවතින බව පැවසීය. ගෝල්ඩ්මන් සැක්ස් එහි ඉහළ ම නැගී එන වෙළඳපොළ තේරීම ලෙස බ්‍රසීලය නම් කළේ ය.

කෙසේ වෙතත්, ඉහළ යන බලශක්ති මිල ගණන් බ්‍රසීලයේ උද්ධමනය වැඩි කිරීමට, පොලී අනුපාත කප්පාදුව ප්‍රමාද කිරීමට සහ ආයෝජන මුදල් ප්‍රවාහයට බලපෑම් කිරීමට හේතු විය හැකි බව මාර්ටින් කැස්ටෙලානෝ පවසයි.

බ්‍රසීලය පෙට්‍රල් සහ ඩීසල් වැනි පිරිපහදු කළ නිෂ්පාදන ආනයනය කරන අතර එයින් දේශීය ඉන්ධන පිරිවැය ඉහළ යයි.

Two one‑real coins on top of Brazilian banknotes.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තෙල් මිල ඉහළ යාම හේතුවෙන් බ්‍රසීලියානු රියාල් මුදල් ඒකකය අර්ධ වශයෙන් ශක්තිමත් වී ඇත.

විවිධ හේතූන් මත තවත් මුදල් කාණ්ඩ ශක්තිමත්ව පවතී.

ප්‍රාග්ධන පාලනයන් සහ වටිනාකමේ තියුණු වෙනස්කම් වළක්වන රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් චීනයේ මුදල් සාපේක්ෂව ස්ථාවරව පවතී. රට තුළට සහ ඉන් පිටතට මුදල් ගෙනයාම සීමා කිරීම සහ යුවාන් විනිමය අනුපාතය සමීපව කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුවේ සෘජු ක්‍රියාමාර්ග ඊට ඇතුළත් වේ.

ඉරාන යුද්ධය ආරම්භයේ සිට ඩොලරයට සාපේක්ෂව ඉහළ ම ක්‍රියාකාරී මුදල් ඒකකයක් වන රුසියානු රූබල්, ඉහළ බලශක්ති ආදායම් සහ දැඩි ප්‍රාග්ධන පාලනයෙන් සහාය ලබා ඇත. අපනයනකරුවන්ට විදේශ ඉපැයීම් රූබල් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය නීති රීති සහ රටින් පිටවන මුදල් සඳහා සීමාවන් මෙයට ඇතුළත් වේ.

දියුණු ආර්ථිකවල තත්ත්වය කෙසේ ද?

ඔස්ට්‍රේලියාව ප්‍රධාන වෙළඳ භාණ්ඩ අපනයනකරුවෙකු වන අතර, විශේෂයෙන් යකඩ යපස් අපනයනය කරන රටක් වන බැවින්, ඔස්ට්‍රේලියානු ඩොලරය අඩු අස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇත

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියාව ප්‍රධාන වෙළඳ භාණ්ඩ අපනයනකරුවෙකු වන අතර, විශේෂයෙන් යකඩ යපස් අපනයනය කරන රටක් වන බැවින්, ඔස්ට්‍රේලියානු ඩොලරය අඩු අස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇත

අර්බුදයේ ආරම්භයේ දී ආයෝජකයින් ආරක්ෂිත ආයෝජන සොයමින් සිටි බැවින් සාම්ප්‍රදායිකව ආරක්ෂිත බවට පිළිගන්නා මුදල් වර්ග ශක්තිමත් විය. යුද්ධයට පෙර දක්නට ලැබුණු මට්ටම්වලට නැවත වැටීමට පෙර එක්සත් ජනපද ඩොලරය සහ ස්විස් ෆ්‍රෑන්ක් යන දෙකම ඉහළ මට්ටම් කරා ළඟා විය. නෝර්වේ ක්‍රෝන් වැනි තෙල් ආශ්‍රිත මුදල් වර්ග ද බොරතෙල් මිල ඉහළ යාමෙන් ශක්තිමත් තල්ලුවක් ලබා ගත්තේ ය.

කෙසේ වෙතත්, ජපන් යෙන් සාමාන්‍ය ආරක්ෂිත මුදල් ඒකකයක් ලෙස නොසැලකුණු අතර එය දුර්වල විය. එයට හේතුව ජපානය ආනයනික බලශක්තිය මත දැඩි ලෙස රඳා පැවතීම යි.

කැනේඩියානු සහ ඔස්ට්‍රේලියානු ඩොලර් ද ඔ වුන්ගේ රටවල් විසින් අපනයනය කරන ලද භාණ්ඩ වන බොරතෙල්, ගෑස්, ලෝහ, යපස් සහ ගල් අඟුරු සඳහා ඉහළ මිල ගණන්වලින් ප්‍රතිලාභ ලබා තිබේ. කෙසේ වෙතත්, ගෝලීය ආර්ථික වර්ධනය සහ වෙළඳ ආතතීන් පිළිබඳ කනස්සල්ල එම ලාභ සීමා කර ඇත.

ඉහළ බලශක්ති පිරිවැය, අඛණ්ඩ උද්ධමනය සහ යුරෝපය පුරා ආර්ථික වර්ධනය මන්දගාමී වීම පිළිබඳ කනස්සල්ල හේතුවෙන් යූරෝ සහ බ්‍රිතාන්‍ය පවුම ද අස්ථාවර කාල පරිච්ඡේදවලට මුහුණ දී තිබේ.

මීළඟට සිදුවන්නේ කුමක් ද?

පළමු ගුවන් ප්‍රහාරවලින් පසු ආයෝජකයින් මුලින් ම ආරක්ෂාව සඳහා තම මුදල් ඇමරිකානු ඩොලරයට මාරු කළ නමුත්, පසුව ඩොලරය දුර්වල වීමත් සමග නැගී එන වෙළඳපොළවල් එයින් ප්‍රතිලාභ ලබා ඇති බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.

"දුර්වල ඩොලරයක් සාමාන්‍යයෙන් පහසු මූල්‍ය තත්ත්වයක්, සංවර්ධනය වෙමින් පවතින රටවලට පොලී අනුපාත අඩු කිරීමට වැඩි ඉඩක් ලබා දෙනවා, ඒ වගේම අවදානම් ගැනීම පිළිබඳ බිය අඩු කරනවා. මේ සියල්ල නැගී එන වෙළඳපොළවල් සඳහා ප්‍රයෝජනවත් වෙනවා," එක්සත් රාජධානියේ ගෝලීය ආයෝජන සමාගමක් වන AllianceBernsteinහි ආර්ථික විද්‍යාඥයෝ මෑත වාර්තාවක සඳහන් කර තිබේ.

බොහෝ නැගී එන ආර්ථිකයන් ඩොලර්වලින් ණය ලබා ගන්නා නිසාත්, ප්‍රධාන භාණ්ඩවල මිල ඩොලර්වලින් තීරණය වන නිසාත්, එක්සත් ජනපද ඩොලරය තවමත් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරන බව ඔවුහු තවදුරටත් පැවසූහ. එයින් අදහස් කරන්නේ දුර්වල ඩොලරයක් සාමාන්‍යයෙන් ඔවුන්ගේ ආර්ථික දැක්ම වැඩිදියුණු කරන බව යි.

කෙසේ වෙතත්, ඉරාන යුද්ධය හේතුවෙන් ඇති වන අඛණ්ඩ බාධාවන් ගෝලීය ආර්ථිකය නරක තත්ත්වයකට තල්ලු කරමින් සිටින බවත්, මන්දගාමී ආර්ථික වර්ධනය සහ ඉහළ උද්ධමනය එක්ව සිදුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප්‍රේල් මාසයේදී අනතුරු ඇඟවීය.

මෙම තත්ත්වය යටතේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතී, උද්ධමනය අස්ථායී වුවහොත් සහ මූල්‍ය තත්වයන් දැඩි වුවහොත්, ගෝලීය ආර්ථිකය වඩාත් සෙමින් වර්ධනය විය හැකි ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වර්තමාන පුරෝකථනය වන 3.1% වර්ධනය සහ 4.4% උද්ධමනය හා සසඳන විට, ගෝලීය ආර්ථික වර්ධනය 2.5% දක්වා පහත වැටිය හැකි අතර උද්ධමනය 5.4% දක්වා ඉහළ යා හැකි ය.

ගෝලීය ආර්ථික වර්ධනය 2.0% දක්වා පහත වැටී උද්ධමනය 6%ට වඩා ඉහළ යන වඩාත් බරපතළ අවස්ථාවක් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තර කළේ ය. ජූලි මාසයේදී ඔවුන් නැවත යාවත්කාලීන අනාවැකි නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.