දේශපාලනය වෙනුවට "දේශ කළමනාකරණය" - ඩිලන්ත
ජාත්‍යන්තර නියාමනයන්ට අනුව සැකසුණු මෝටර් රථ ධාවන තරග ශ්‍රී ලංකාවේ නොපැවැත්වීම හේතුවෙන් එම ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව ජාත්‍යන්තර සම්මානලාභී මෝටර් රථ ධාවන ශූරයෙක් පවසයි.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය මෙන්ම බොහෝ කේෂ්ත්‍ර ද අදවන විට එදා පැවති තත්වයටත් වඩා පිරිහී ඇති බව ඩිලන්ත මාලගමුව බීබීසී සිංහල සේවයට පැවසීය.
ඔහු ඒ බව කියා සිටියේ එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින අතරවාරයේ බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය සමග සජීව සාකච්ඡාවකට එක් වෙමිනි.
ශ්‍රී ලංකාව තුළ සිට ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ ධාවන ශූරයෙකු බවට පත් වීමේ සිය සිහිනය ජය ගැනීමට නොහැකි බව තේරුම් ගත් බැවින් තමන් රටෙන් බැහැරව ගොස් ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ බව ඔහු සිහිපත් කළේය.


එවක මෝටර් රථ ධාවන තරග පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාව නොතිබූ බව කී ඔහු "අද වන විට එහි කිසිම වෙනසක් වෙලා නැහැ. ඒක වැරදි පැත්තට ගිහින් තියෙන්නේ. ක්‍රිකට් හැර අනෙක් කිසිම ක්‍රීඩාවකට ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් පහසුකම් නැහැ," යනුවෙන් පැවසීය.
සංචාරක කර්මාන්තය

කෙසේ නමුත් දේශපාලනඥයන් සහ බලධාරීන්ගේ සහාය බලාපොරොත්තුවෙන් රැඳී සිටියහොත් තම ගමන යා නොහැකි බව පවසන ඩිලන්ත මාලගමුව, බලධාරීන්ගේ සහාය ලබන්නේ නම් ක්‍රීඩකයන්ට සිය සිහින ජය ගැනීමට තවත් පහසු වනු ඇති බව ඔහු පෙන්වා දුණි.
"රේස් එකක් වුනත් පටන් ගන්න කලින් දිනන්න ඕනි. ඉතින් හැමදේම එහෙම තමයි. අපි හිත ධෛර්යයෙන් කටයුතු කළොත් ඕනිම දෙයක් කළ හැකියි. ඒ වගේම ඕනම දෙයක් ජය ගත හැකියි," ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ මෝටර් ධාවන තරග අන්තර්ජාතික තත්වයන් යටතේ පවත් වන්නේ නම් එය රටට විදේශීය සංචාරකයන් ඇදගැනීමට බෙහෙවින් උපකාරී වනු ඇති බවත් ඔහු පැවසීය.
"දැන් ලංකාවේ රේස් තියෙන්නේ විනාඩි පහයි නැතිනම් දහයයි. එහෙම රේස් ලෝකේ කොහෙවත් නැහැ. අඩුම තරමේ විනාඩි තිහක්වත් තියෙන්න ඕනි. ඒ වගේම ආරක්ෂාව සහ මෝටර් රථ තුළ තිබිය යුතු දෑ වැනි මූලික දේවල් ලංකාව තුළ නැහැ."
"දේශපාලනය වෙනුවට දේශ-කළමනාකරණය"
ශ්‍රී ලංකාවේ දේශපාලනය යන වචනය දේශ-කළමනාකරණය වශයෙන් වෙනස් විය යුතු බව ඔහුගේ අදහසය.
"දේශපාලනය කියන වචනයත් වැරදි. ලංකාවේ තිබිය යුත්තේ දේශ-කළමනාකරණය," යනුවෙන් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව වැඩිදුරටත් සඳහන් කළේය.





























