මූලික අයිතිවාසිකම් කඩවීමකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
මූලික අයිතිවාසිකම් යනු අපට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ම සහතික කර ඇති අයිතීන් ය.
ඒවා විධායකය හෝ රජය නිලධාරීන් අතින් කඩවූ අවස්ථාවක ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ අවස්ථාව ඔබට තිබේ.
නමුත් එලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යා යුතු නිශ්චිත කාල සීමාවක් සහ ගොනු කිරීමේදී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තිබේ.
මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකි.
මූලික අයිතිවාසිකම් කඩවූ බවට හඳුනා ගැනීම
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදය වන්නේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය යි.
එහි අපට හිමි වන එක් එක් මූලික අයිතිවාසිකම සම්බන්ධයෙන් විස්තර කර තිබේ.
එම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ විධිවිධාන යටතේ යම් තැනැත්තෙකුට හිමි මූලික අයිතිවාසිකමක් යම්කිසි විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනයට අත්‍යාසන්නව තිබේ නම් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට එම තැනැත්තාට හැකියාව තිබේ.
මෙහිදී විශේෂයෙන් ම සලකා බැලිය යුතු කරුණු දෙකක් තිබේ.
එකක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ සඳහන් අයිතිවාසිකමක් කඩ වී තිබෙන්නේ ද යන්න යි.
ඉන්පසුව, එය කඩ වී ඇත්තේ විධායකය හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් ද යන්න තහවුරු කරගත යුතු ය.
කාල සීමාව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මූලික අයිතිවාසිකම හෝ මූලික අයිතිවාසිකම් කිහිපයක් කඩ වී ඇති ඇති දින සිට දින 30ක් ඇතුළත මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට යාම අත්‍යවශ්‍ය වේ.
කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට පෙර මූලික අයිතිවාසිකම් කඩවීම සිදුවූ දින සිට දින 30ක් ඇතුළත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමේ හැකියාව ද පවතී.
කෙසේ වෙතත්, මූලික අයිතිවාසිකම කඩවූ තැනැත්තා එවැනි පෙත්සමක් ගොනු කිරීමට නොහැකි තත්ත්වයක සිටියහොත්, මාසයක් තුළ පෙත්සම් ගොනු කිරීමට නොහැකි වුව ද එවැනි අවස්ථාවලදී පෙත්සම් භාරගැනීම සිදුවන බව බීබීසී සිංහල සමග අදහස් දැක්වූ නීතිඥවරු පැවසූහ.
නිදසුනක් ලෙස මූලික අයිතිවාසිකම කඩවූ පුද්ගලයා එමනිසා ම පෙත්සමක් ගොනු කළ නොහැකි මට්ටමට ම රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේ නම්, ඉන්පසුව ඔහුට මාසයක් තුළ පෙත්සම ගොනු කිරීමට නොහැකි වුවත් ඔහුට හැකි වූ පළමු අවස්ථාවේදී ම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ හැකි ය.
එමෙන් ම, එවැනි තත්ත්වයක සිටින පුද්ගලයෙකු වෙනුවෙන් එම පුද්ගලයාගේ නීතිඥවරයාට හෝ පවුලේ ළඟ ම ඥාතියෙකුහට ද පෙත්සම ගොනු කිරීමට හැකි ය.
පෙත්සම ගොනු කළ යුත්තේ කෙසේ ද?
මූලික අයිතිවාසිකම් පෙත්සම ලිඛිත පෙත්සමක ආකෘතියට ගොනු කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126(2) වගන්තියේ දක්වා තිබේ.
එයට, පෙත්සම, දිවුරුම් ප්‍රකාශ හා ඇමුණුම් වැනි ලේඛන ඇතුළත් වේ.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ රීති 44(7) අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට සාමාන්‍ය පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කරනු ලබන විධිමත් නොවන ඉල්ලීමක් වුව ද ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී.
එය පසුව නීති ආධාර කොමිසම හරහා විධිමත් පෙත්සමක් ලෙස භාර ගැනේ.
මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට විශාල මුදලක් වැය වනවා ද?
මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමේදී විශාල මුදලක් වැය වන බව බොහෝ දෙනෙකුගේ මතය යි.
ඒ සඳහා මුදල් වැය වන්නේ කෙසේ දැයි දැන ගැනීමට අපි නීතිඥවරියක වන දිනූෂා තිරාණගමගෙන් විමසීමක් කළෙමු.
එහිදී ඇය පෙන්වා දුන්නේ, බොහෝවිට නීතිඥ ගාස්තු සහ ලේඛන ගාස්තු සඳහා මුදලක් වැය කිරීමට සිදුවන බව ය.
"ගොඩක් වෙලාවට අපිව නියෝජනය කරන්න අපි තෝරා ගන්න නීතිඥවරයා එක්ක මේ ගාස්තු වෙනස් වෙන්න පුළුවන්. මේ කිසි ගෙවීමක් අධිකරණයට කරන ගෙවීම් නෙවෙයි," ඇය පෙන්වා දුන්නා ය.
එමෙන් ම, ඇය පෙන්වා දුන්නේ අධිකරණයට ලබා දෙන ලිපි ලේඛන මුද්‍රණය, ඡායා පිටපත් කිරීම සඳහා ද සැලකිය යුතු මුදලක් වියදම් වන බව ය.
"පෙත්සමයි, දිවුරුම් ප්රකාශයි තව තියෙන ඇමිණුම් ඔක්කොම පිටු 80ක් විතර කියලා හිතන්න. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න විනිසුරු මඩුල්ලේ සංඛ්‍යාවට ඒකෙ පිටපත් දෙන්න අවශ්‍යයි. ඊට පස්සේ අධිකරණයට වෙන ම අමතර පිටපත් ලබා දෙන්න ඕනේ. ඒ වගේ ම, මේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරලා ඉන්න අයට එක බැගින් දෙන්න ඕනේ. වගඋත්තරකරුවන් ගණන වැඩියි නම් ගන්න ඕනේ පිටපත් ගණන වැඩි වෙනවා. ඒ වගේ ම පෙනී සිටින නීතිඥවරයාට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාටත් ලබා දිය යුතු යි," ඇය පෙන්වා දුන්නේ මෙලෙස පිටපත් ලබා දිය යුතු සංඛ්‍යාව සහ අදාළ පෙත්සමේ පිටු සංඛ්‍යාව අනුව ඒ සඳහා වියදම් වන මුදල වෙනස් වන බව ය.
කෙසේ වෙතත් වර්තමානය වන විට, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්ටර්නෙට් හරහා පෙත්සම් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇති බවත්, ඒ සඳහා ස්ථාවර ගාස්තුවක් ගෙවීමෙන් අනතුරුව අධිකරණයට දෘඪ පිටපත් ලබා දීම අනවශ්‍ය බවත් නීතිඥවරිය පෙන්වා දුන්නා ය.
"ඒත් මේකෙදි විනිසුරුවරුන්ට සහ අධිකරණයට ලබා දෙන පිටපත් විතරයි ලබා දෙන්නේ නැතිව ඉන්න පුළුවන්. වගඋත්තරකරුවන් ලෙස නම් කරලා ඉන්න අය ඇතුළු අනෙකුත් පාර්ශවයන්ට පෙත්සමේ පිටපත් ලබා දෙන්න ඕනේ."
































