දේශබන්දු ඇතුළු පොලිසියේ දෙදෙනෙකු අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි අධිකරණය තීන්දු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Facebook
2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අනුරුද්ධ බණ්ඩාර විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.
ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
පෙත්සම්කරු සිය පෙත්සම තුළින් සඳහන් කර තිබුණේ, 2022 වසරේ අප්‍රේල් මස 01 වන දා තම නිවසට කඩා වැදුණු උතුරු කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් සිය පෞද්ගලික බඩු බාහිරාදිය පරීක්ෂා කර තම විදේශ ගමන් බලපත්‍රය ඔවුන්ගේ භාරයට ගත් බව ය.
ඉන්පසුව තම ජංගම දුරකතනය, ලැප්ටොප් පරිගණකය, විද්‍යුත් තැපැල් ගිණුම සහ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කර, "GoHomeGota 2022" ව්‍යාපාරයට අදාළ සමාජ මාධ්‍ය පළකිරීම් සහ 2022 අප්‍රේල් 3 වන දින පැවැත්වීමට නියමිතව තිබූ සාමකාමී විරෝධතාව පිළිබඳව ප්‍රශ්න කළ බවත් පෙත්සම්කරු සඳහන් කර තිබිණි.
ඉන්පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව වගඋත්තරකරුවන් විසින් තමන්ව අත්අඩංගුවට ගනු ලැබූ බවත් ඔහු සඳහන් කළේ ය.
ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව තමන්ව ඇප මත මුදාහැරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු පැවසීය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මෙසේ පැවසීය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"පෙත්සම්කරු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ වගඋත්තරකරුවන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එම අවස්ථාවේදී එම වගන්තිය යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට තරම් සාධාරණ කරුණු වගඋත්තරකරුවන් හමුවේ නොතිබූ බව අධිකරණයේ අදහස යි. ඔහු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ දේශපාලනික වශයෙන් විරුද්ධ වීම සහ රජය විවේචනය කිරීම හේතුවෙන් බව පෙනී යයි."
ඒ අනුව පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.
වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා, "දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ සාධාරණ සැකයක් හෝ සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වගන්තිය යටතේ සහතික කර ඇති පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙනවා. මෙම තත්ත්වයන් තුළ වගඋත්තරකරුවන් පොලිස් බලය අත්තනෝමතික ලෙස ක්රියාවේ යොදවා තිබෙන බවත්, ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී තිබෙනවා," යනුවෙන් පැවසීය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් සහ උතුරු කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බව ය.
කෙසේ වෙතත්, පෙත්සම්කරුට වන්දි හෝ නඩු ගාස්තු ප්රදානය කිරීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත් මෙම නඩු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් තනුක නන්දසිරි, මනුජය ද සිල්වා යන නීතිඥවරුන් සමග ජනාධිපති නීතීඥ සාලිය පිරිස් පෙනී සිටියේ ය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර පෙනී සිටියේ ය.

































