සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයින් ඉල්ලා අස්වී තිබේ ද?: දීපචෙල්වන්ගේ කෘති පසුපස කතාව

ඡායාරූප මූලාශ්‍රය, Facebook | Theepachelvan Piratheepan
ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘති දෙකක් රේගුව විසින් රඳවාගනු ලැබීමේ සිද්ධිය මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය ඇතුළු පාර්ශව ගණනාවකට චෝදනා එල්ල වෙමින් තිබේ.
සාහිත්‍ය අනුමණ්ඩලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙද්දී, පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණු තවත් ප්‍රවණතාවක් වූයේ, අනුමණ්ඩලයේ සාමාජිකයින් ලෙස ක්‍රියා කළ ඇතැමුන් තමන් ඉන් ඉල්ලා අස්වූ බවට සටහන් පළ කර තිබීම ය.
ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අනුමණ්ඩලයේ උපසභාපති ලෙස කටයුතු කළ ආචාර්ය මධුභාෂිණී දිසානායක සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
ආචාර්ය මධුභාෂිණී දිසානායකගේ සටහනේ දළ සිංහල පරිවර්තනය මෙසේ ය.
'මෙහි යම් යම් කරුණු නිවැරදි කළ යුතු ය. රාජ්‍ය සාහිත්‍ය කමිටුවට අයත් සාමාජිකයින්ගේ නම් ලැයිස්තුවේ, තවදුරටත් එහි නොමැති බොහෝ දෙනෙක් සිටිති. ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස් මෙවර කමිටුවේ කිසිදා සිටියේ නැත. ආචාර්ය ශෂී අසේලා පසුගිය වසරේ සාහිත්‍ය උත්සවයෙන් පසු ඉල්ලා අස්විය. ආචාර්ය චම්පා ද සිල්වා සහ ඩී.වී. ගාල්ලගේ ද මෙම වසරේ පළමු හමුවීමට පෙර ඉල්ලා අස්වූහ. මම මාර්තු මාසයේදී ඉල්ලා අස්වූ අතර මාලතී පසුගිය සතියේ හෝ ඊට ආසන්න කාලයකදී ඉල්ලා අස්විය. වෙබ් අඩවිය ඉක්මනින් යාවත්කාලීන කිරීම උත්ප්රාසාත්මක දෙයක් විය.'
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයින්ගේ නම් ලැයිස්තුව යාවත් කාලීන කර නොතිබූ අතර, ඊයේ (අප්‍රේල් 21) රාත්‍රී 10.33ට එය යාවත් කාලීන කර ඇති බව දැක්වේ.
එහි සිංහල වෙබ් අඩවියේ උපසභාපති ලෙස ආචාර්ය අග්‍රා රාජපක්ෂගේ නම ඇතුළත් කර ඇති අතර, ඉංග්‍රීසි වෙබ් අඩවියේ මෙම ලිපිය පළ කරන අවස්ථාව වන විටත් දැක්වුණේ, උපසභාපති ආචාර්ය මධුභාෂිණී දිසානායක යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, culturaldept.gov.lk

ඡායාරූප මූලාශ්‍රය, culturaldept.gov.lk
ඉල්ලා අස්වුණේ ඇයි?
මේ අතර, ආචාර්ය මධුභාෂිණී දිසානායකගේ ෆේස්බුක් සටහනට ප්‍රතිචාරයක් දක්වමින් ආචාර්ය ප්‍රභා මනුරත්න විමසා ඇත්තේ, 'මෙතරම් පිරිසක් ඉවත් වූයේ හෝ ඉල්ලා අස්වූයේ ඇයි? කුතුහලයක් මතු වෙනවා' යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් ආචාර්ය මධුභාෂිණී දිසානායක සඳහන් කර ඇත්තේ, 'විවිධ හේතු නිසා. සමහරුන්ගේ පොත් නිකුත් වෙන්න තිබුණා. අධ්‍යයන වැඩ අධික වීම. දුර බැහැර සිට පැමිණීමට සිදුවීම ආදිය' යනුවෙනි.
'මම කියන්නේ මේ සියල්ල පුපුරා යන්න කලින්' යනුවෙන් ද ආචාර්ය මධුභාෂිණී දිසානයක සඳහන් කර තිබිණි.
'අනුමණ්ඩලයෙන් අස්වෙලා තියෙන්නෙ එක් කෙනෙක් විතර යි' - සභාපති කමල් පෙරේරා
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති කමල් පෙරේරාගෙන් විමසීමක් කළේ ය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, කල්පනා ඇම්බ්‍රෝස් හැර වෙනත් කිසිදු සාමාජිකයෙකු ඉල්ලා අස්වී නොමැති බව ය.
කෙසේ වෙතත්, ආචාර්ය මධුභාෂිණී දිසානායක පසුගිය වසරේ අනුමණ්ඩලයෙන් ඉවත් වූ බව ඔහු සඳහන් කළේ ය.
මේ අතර, බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ආචාර්ය සාමිනාදන් විමල් ප්‍රකාශ කළේ, ඔහු තවමත් සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත්ව නැති බව ය.
"මම තාම සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයෙක්. ඒත් යන්න එන්න දුර වැඩි නිසා මම සෑහෙන කාලෙකින් අනුමණ්ඩලයේ රැස්වීම්වලට සහභාගි වුණේ නැහැ."
'පොතක් රඳවා ගන්නත්, නිදහස් කරන්නත් අපට බලයක් නෑ'
සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති ලේඛක කමල් පෙරේරා ප්‍රකාශ කළේ, දීපචෙල්වන්ගේ පොත් රඳවා ගැනීමට හෝ නිදහස් කිරීමට සිය අනුමණ්ඩලයට බලයක් නොමැති බව ය.
"මේ පිටපත් රඳවාගෙන තියෙන්නේ රේගුව සහ ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීම මත. අපට බලයක් නෑ ඒකට. අපි කළේ, අදාළ කෘති නිදහස් කර ගන්න පුළුවන් ද කියලා බලන්න යම් මැදිහත් වීමක් කිරීම විතර යි. අපි ස්වාධීන කමිටුවකට පැවරුවා මේ කෘති නිදහස් කරන්න පුළුවන් ද කියලා හොයා බලන්න. ඒ කමිටුවෙන් තමයි නිර්දේශ කළේ, පොත් දෙකක් නිදහස් කරන්න කියලා. 'එලුත්තල් යුද්ධම් සෙයිගරේන්' සහ 'ඉප්පොදෙයි ඉන්ගෙයි ඉරෙන්ඩර් දේසන්ගල්' යන කෘති දෙක නිදහස් කරන්න බැහැ කියලා ඒ අනුව තීරණය වුණා."
කෘති දෙකක පිටපත් නිදහස් නොකළේ ඇයි?
'එලුත්තල් යුද්ධම් සෙයිගරේන්' සහ 'ඉප්පොදෙයි ඉන්ගෙයි ඉරෙන්ඩර් දේසන්ගල්' යන කෘති දෙකෙහි පිටපත් නිදහස් නොකිරීමට බලපෑ හේතු පිළිබඳව ද සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපතිවරයා පැහැදිලි කළේ ය.
'පයන්ගරවාදී' සහ 'සයිනයිඩ්' කියන "නවකතා දෙකක් නිදහස් කරන්න නිර්දේශ කළා ස්වාධීන කමිටුව. ඒ දෙක නවකතා නිසා ලේඛකයෙකුට හිමි පරිකල්පන අයිතිය මත ඒවා නිදහස් කරන්න නිර්දේශ කරල තිබුණා. අනිත් දෙක ලේඛකයාගේ සම්මුඛ සාකච්ඡාවල අදහස්. ඒ නිසා ඒවා නිකුත් කරන්න නිර්දේශ ලැබුණේ නැහැ."
ඒ අනුව, 'එලුත්තල් යුද්ධම් සෙයිගරේන්' සහ 'ඉප්පොදෙයි ඉන්ගෙයි ඉරෙන්ඩර් දේසන්ගල්' යන කෘති දෙකේ රේගු ආඥා පනතේ (235 වන පරිච්ඡේදය) B උපලේඛනය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි ක්‍රියාවන්ට තුඩු දෙන කරුණු අඩංගු බව හඳුනාගෙන ඇති බැවින් ඒවා නිදහස් කළ නොහැකි බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ බීබීසී සිංහල සේවයට පැවසුවේ, කෘති දෙකක පිටපත් නිදහස් කිරීමට ස්වාධීන කමිටුවෙන් නිර්දේශ ලැබුණු බව ය.
'මං ඕක ගැන කතා කරන්න කැමති නෑ' - සංස්කෘතික ඇමති
මෙම ගැටලුව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගෙන් විමසීමක් කළෙමු.
එහිදී, ඊට ප්‍රතිචාර දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය.
"මම ඒක ගැන කතා කරන්න කැමති නෑ. මෙතන කිසි ම ගැටලුවක් නෑ. කරන්න වැඩ කොච්චර තියෙනව ද?"


































