දීපචෙල්වන් ප්‍රදීපන්: 'පොත්වල පිටකවරයෙන් ද පොතේ ලියලා තියෙන දේවල් තීරණය කරන්නේ'

ඡායාරූප මූලාශ්‍රය, Theepachelvan Piratheepan / Facebook
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 10
"මට මේ වගේ ම සිද්ධියක් වුණා 2020 අවුරුද්දේදී. ඒ වෙලාවේ මම ලියපු 'නඩුගල්' කියන කෘතියේ පොත් 60ක් ලංකාවට ගෙනාවා. ඒ වෙලාවේ ඒ පොත් ටික නිදහස් කළේ නැහැ. පස්සේ මම ඒ ගැන මුකුත් කරන්න ගියේ නැහැ, මොකද රටේ තිබ්බ කොරෝනා තත්ත්වයත් එක්ක."
සම්මානිත දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන් බීබීසී සිංහල වෙත එලෙස කියා සිටියේ, ඔහු විසින් රචිත කෘතිවල පිටපත් 300කට අධික ගණනක් ශ්‍රී ලංකා රේගුව මගින් රඳවා ගැනීම සම්බන්ධව කළ විමසීමකදී ය.
ඔහු විසින් රචිත කෘති 5ක පිටපත් 360ක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ අවස්ථාවේදී ඒවා ශ්‍රී ලංකා රේගුව සිය භාරයට ගෙන තිබිණි.
පසුව ශ්‍රී ලංකා රේගුව, මෙම කෘති සම්බන්ධයෙන් අප්‍රේල් 20 වන දින අදාළ කෘති ආනයනය කළ ආයතනය වෙත නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ මත පදනම්ව, මෙම කෘතිවලින් දෙකක් හැර, රඳවා ගෙන ඇති කෘති තොගයේ ඇති අනෙකුත් කෘති සමග "පයන්ගරවාදී" සහ "සයිනයිඩ්" යන කෘති නිදහස් කරන බව ය.
කෙසේ වෙතත්, මෙම නිර්දේශ මත පදනම්ව, "එලුත්තල් යුද්ධම් සෙයිගරේන්" සහ "ඉප්පොදෙයි ඉන්ගෙයි ඉරෙන්ඩර් දේසන්ගල්" යන කෘති දෙකේ රේගු ආඥා පනතේ (235 වන පරිච්ඡේදය) B උපලේඛනය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි ක්‍රියාවන්ට තුඩු දෙන කරුණු අඩංගු බව සොයාගෙන ඇති බැවින් ඒවා නිදහස් කළ නොහැකි යැයි රේගුව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
බීබීසීය දීපචෙල්වන් ප්‍රදීපන් සමග සංවාදයේ යෙදුණේ මෙම ලිපිය නිකුත් වීමට පෙර ය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Customs via Theepachelvan Piratheepan / Facebook
'දැනටත් ලංකාවේ වෙළෙඳපොළේ කෘති තුනක් තියෙනවා'

ඡායාරූප මූලාශ්‍රය, Theepachelvan Piratheepan / Facebook
ඉන්දියානු පොත් ප්‍රකාශයෙකු විසින් ප්‍රකාශයට පත් කරන ලද එම පොත් මේ වන විටත් මෙරට වෙළෙඳපොළේ මිල දී ගැනීමට ඇති බව ලේඛක දීපචෙල්වන් පැවසීය.
"ඉප්පොදෙයි ඉන්ගෙයි ඉරෙන්ඩර් දේසන්ගල්, සයිනයිඩ්, එලුත්තල් යුද්ධම් සෙයිගරේන්, පයන්ගරවාදී සහ නඩුගල් කියන කෘති 5ට අදාළ පොත් 360ක් තමයි මේ විදිහට ලංකාවට එව්වේ. දැනටත් ලංකාවේ වෙළෙඳපොළේ කෘති තුනක් තියෙනවා විකුණන්න.
"මාර්තු මාසේ 27 වන දා මගේ පොත් ලංකාවට අරන් එන්න කටයුතු කරපු ආයතනයෙන් දැනුම් දුන්නා රේගුවෙන් මේ පොත් ටික නිදහස් කරන්න බැහැ කියලා දැනුම් දුන්නා කියලා.
"ඒකට හේතුව විදිහට රේගුවෙන් කියලා තිබුණේ මේ පොත් රටේ ජාතික සංහිදියාවට බාධාවක් වෙනවා කියලා. ඒ නිසා සංස්කෘතික අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ගන්න අවශ්‍යයි කියලා දැනුම් දීලා තිබුණා මේ පොත් නිදහස් කරන්න නම් කියලා," යැයි ඔහු පැවසීය.
සංස්කෘතික ඇමතිවරයාට කළ දැනුම් දීම
ඒ අනුව සිය "සිංහල මිතුරෙකු" හරහා මෙම කෘති රඳවා ගැනීම පිළිබඳව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි හට මේ බව දන්වමින් ලිපියක් යොමු කළ බවත් ඊට පිළිතුරු ලෙස පොත් නිදහස් කිරීමට කටයුතු කරන බව එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව දීපචෙල්වන් ප්‍රදීපන් බීබීසී සිංහල වෙත පැවසීය.
"පස්සේ මට දැනුම් දුන්නා පසුගිය අප්‍රේල් 17 වන දා මේ පොත් ටික නිදහස් කරන්න සාකච්ජාවක් කරනවා ඒකට එන්න කියලා. මමත් එක්ක කත්‍යානා අමරසිංහ ඇතුළු කිහිප දෙනෙක් ම ඒ සාකච්ජාවට ගියා.
"එතැනදී මම කිව්වා මම යුද්ධය තිබ්බ කාලේ ජීවත් වුණ කෙනෙක්. මම දැකපු දේවල් ඒ වගේ ම ඒ අත්දැකීම් ගැනයි මම මේ ලියන්නේ කියලා. ඒ වගේ ම මම කිසි ම වෙලාවක මේ රටේ ගැටුමක් ඇතිවෙන්න හරි, ආපහු මේ රටේ බෙදුම්වාදය ඇතිවෙන්න ඕන කියලා කිසි ම දෙයක් ගැන සඳහනක් කරලා නැහැ කියලා. මොකද මම ලියන කතාවලට සිංහල ජනතාව අතරෙත් යම් පිළිගැනීමක් තියෙනවා කියලා," ඔහු පැවසීය.
සිංහල පරිවර්තනවලට නැති දෙමළ මුද්‍රණවලට ඇති ගැටලුව

ඡායාරූප මූලාශ්‍රය, Theepachelvan Piratheepan / Facebook
තම කෘති සිංහල භාෂාවට පවා පරිවර්තනය වී ඇති බව පැවසූ දීපචෙල්වන් කියා සිටියේ, ඒවා රට තුළ විකිණීමට අවසර ලැබී ඇති බවත් ගැටලු ඇතිවන්නේ දෙමළ භාෂාවෙන් මුද්‍රිත පිටපත්වලට පමණක් බවත් ය.
"මම මීට කලින් ලියපු පොත් තියෙනවා සිංහලට පරිවර්තනය කරපු. ඒවා ලංකාවේ විකුණන්න අවසර තියෙනවා.
"ඒත් දෙමළෙන් මුද්‍රණය කරන පොත්වලට මෙහෙම කරන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ පොත්වලට හරියට එයාලා සලකන්නේ ත්‍රස්තවාදීන් දිහා බලන විදිහට. ඒක ලොකු වේදනාවක් මට.
"දෙමළෙන් ලියන නිසා මේ වගේ සැකයක් නිසා මේ පොත් නිදහස් කරන්නේ නැතිව ඉන්නේ කියලා සැකයක් මට තියෙනවා," ලේඛකයා පැවසීය.
"ඒ වගේ ම ඒ සාකච්ජාවට සම්බන්ධ වුණ කෙනෙක් මාධ්‍යට ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා එයාලා දෙමළ භාෂාව කියවන්න දන්නේ නැහැ කියලා.
ඒ වගේ ම මේ පොත්වලින් රටේ සංහිදියාවට ගැටලුවක් වෙයි කියලා එයාලා හිතනවා කියලා. දෙමළ කියවන්නෙවත් නැතිව කොහොමද එහෙම තීරණය කරන්නේ කියන ගැටලුව තියෙනවා," ඔහු තම කනස්සල්ල පළ කරමින් සඳහන් කළේ ය.
'පොත්වල පිටකවරයෙන් ද පොතේ ලියලා තියෙන දේවල් තීරණය කරන්නේ'
එම කෘතිවල පිටකවරයා බලා එමගින් ජාතික සංහිඳියාවට ගැටලුවක් වෙතැයි බලධාරීන් සැක කර ඇතැයි පවසන ලේඛකයා, පොතේ පිටකවරයෙන් ලියා ඇත්තේ කුමක්දැයි තීරණය කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේ ය.
"මගේ එක පොතක පිටකවරේ නිර්මාණය කරලා තියෙනවා ලංකාවේ සිතියමක කොටසක් කොටු කරලා වගේ, ඒ එක්ක ම මේ පොත්වල නම් එහෙම සැක කරලා තමයි රටේ ජාතික සංහිදියාවට මේ පොත් ගැටලුවක් කියලා එයාලා තීරණය කරන්නේ කියලා මට හිතෙන්නේ.
"රටේ තිබ්බ මැතිවරණවලදී උතුරු නැගෙනහිර පළාත් ඒ වගේ කොටු කරලා පෙන්නලා තියෙනවා. මේ පොත්වල පිටකවරයෙන් ද පොතේ ලියලා තියෙන දේවල් තීරණය කරන්නේ?
"මගේ එක පොතක් තියෙනවා 'පයන්ගරවාදී' (ත්‍රස්තවාදියා) කියලා නම් කරලා. ඒකෙ තියෙන්නේ ප්‍රබන්ධ කතාවක්. මොකද ඒ පොතේ තියෙන්නේ අරගල කරන සිසුවෙකුගේ ජීවිත කතාවක් ගැන. ඒත් 'පයන්ගරවාදී' කියන නම නිසා මේ පොත සංහිදියාවට ප්‍රශ්නයක් කියලා තේරුම් අරන් තියෙන්නේ."
මෙම සිදුවීම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇති බව පවසන ලේඛක දීපචෙල්වන් එහි තීන්දුව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවසීය.
'සාහිත්‍ය නිර්මාණවල ඇති කරුණු ගැන තීන්දු කරන්න රාජ්‍ය යාන්ත්‍රණයට අයිතියක් නැහැ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම සිදුවීමත් සමග ලේඛක හා සාහිත්‍ය සමාජ තුළ ද බෙදීමක් ඇතිව තිබෙන බව පෙනෙන්නට තිබේ. පිරිසක් ශ්‍රී ලංකා රේගුව මගින් කෘති රඳවා ගැනීමට විරෝධය පළ කරන අතර තවත් පිරිසක් එය ගැටලුවක් නොවන බව පවසයි.
"දීපචෙල්වන් ලියන්නේ දෙමළ බසින්. අපේ අවාසනාවකට ඇත්තට ම අපේ දුර්වලකමක් නිසා අපට අපේ රටේ භාවිත වන ප්‍රධාන භාෂා දෙකෙන් එකක් වන දෙමළ බස පිළිබඳව අවබෝධයක්, දැනුමක් ලබා ගන්නට බැරි වෙලා තිබෙනවා.
"ඒ නිසා ඔහුගේ නිර්මාණවල තිබෙන, තිබෙන්නේ මොනවා ද කියන එක ගැන අපිට පැහැදිලි වැටහීමක් නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් ඇතුළේ ඔහු ලියන සියලුදේ ම භාෂණයේ නිදහස, ලේඛනයේ නිදහස භූක්ති විදීමක් හැටියට භාර ගන්නවා නම් අපිට අපේ සමාජය පිළිබඳ තිබෙන වගකීම, සමාජයේ සංහිඳියාව පිළිබඳ තිබෙන වගකීම අපි අමතක කරා වෙනවා," යැයි සාහිත්‍යධර ජයතිලක කම්මැල්ලවීර මෙම සිදුවීම සම්බන්ධව අදහස් දක්වමින් මාධ්‍ය වෙත පැවසීය.
සාහිත්‍ය නිර්මාණවල ඇති "කරුණු සම්බන්ධව තීන්දු කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයට අයිතියක් නැති" බව පැවසූ ලේඛක ජයතිලක කම්මැල්ලවීර, ශ්‍රී ලංකා රේගුව මගින් රඳවා ගෙන ඇති කෘති වහා ම නිදහස් කළ යුතු බව ද පැවසීය.
එමෙන් ම දීපචෙල්වන් ප්‍රදීපන් ලේඛකයා විසින් රචිත ඇතැම් ලේඛන මගින් ජාතික සංහිඳියාවට හානි වන බව අසන්නට ලැබුණ බැවින් එවැනි තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.
'ඉවසීමෙන් ජය ගමු'
වත්මන් ආණ්ඩුව කිසිසේත් ම මර්දනීය ආණ්ඩුවක් නොවන බව පෙන්වා දෙන ලේඛක කෞෂල්‍ය කුමාරසිංහ, මෙම රජය කිසි ම ආගමක් හෝ ජන වර්ගයක් වෙනස් කොට සලකන ආණ්ඩුවක් නොවන බව කියා සිටියේ ය.
"මේ ආණ්ඩුව කිසිසේත් ම ව්‍යුහාත්මක ආකාරයට ජන වර්ග මර්දනය කරන ආණ්ඩුවක් නෙමෙයි.
"මේ ආණ්ඩුවට පළවෙනි වතාවට උතුරේ ප්‍රභූ දේශපාලන පක්ෂ නැතිව උතුරේ සමාන්‍ය ජනතාව ඡන්දේ දීපු ආණ්ඩුවක්. නැගෙනහිර ප්‍රභූ දේශපාලන පක්ෂ නැතුව මේ රටේ මුස්ලිම් ජනතාව ඡන්දේ දීපු ආණ්ඩුවක් මේ තියෙන්නේ.
"එතකොට මේ ආණ්ඩුව කිසිසේත් ම අදහස්වලට බය වෙන ආණ්ඩුවක් නෙමෙයි. ඕනෑ ම අදහසක් ජනගත වීම ගැන මේ ආණ්ඩුව බය වෙන ආණ්ඩුවක් නෙමෙයි.
"මෙතන සිද්ධ වෙලා තියෙන්නේ රේගුවේ ක්‍රියාපටිපාටිය තුළ යම් කිසි කාලයක් ගත වෙනවා ඒ පර්යේෂණ කරලා මේක එළියට දාන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා, අපි ඉල්ලාත් හිටිනවා මේවා නිදහස් කරන්න ඉතා ම ඉක්මනින් ඒවා කඩිනම් කරලා," ඔහු සඳහන් කළේ ය.
"දීපචෙල්වම් සහෝදරයාගෙන් ඉල්ලා සිටින්න කැමතියි මේකෙදි, ඉවසීමෙන් මේ ප්‍රශ්නය ජය ගමු. මේ ආණ්ඩුව කිසිසේත් ම හෝ මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින සාහිත්‍යකරුවන්, කලාකරුවන් කිසිසේත් ම ප්‍රකාශනයේ නිදහස යටපත් කිරීම වෙනුවෙන් පෙනී සිටින්න කිසිසේත් ම සූදානම් වෙන අය නෙමෙයි," යැයි ලේඛක කෞශල්‍ය කුමාරසිංහ වැඩිදුරටත් පැවසීය.
සංස්කෘතික ඇමතිවරයා සමග පැවති සාකච්ඡාව
ශ්‍රී ලංකා රේගුවෙන් ඊයේ දිනයේ සිය නිවේදනය නිකුත් කිරීමට පෙර මේ සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 17 වන දා සංස්කෘතික ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒ සඳහා ලේඛක දීපචෙල්වන් වෙනුවෙන් සම්බන්ධ වූ ලේඛකයින් හා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් නිවේදනයක් නිකුත් කළේය.
එහිදී ලේඛකයාගේ කෘතිය සම්බන්ධව ජාතික කලා මණ්ඩලයේ සහ රාජ්‍ය සාහිත්‍ය අනු-මණ්ඩලයේ නිරීක්ෂණ වාර්තාවක් සකසා තිබෙන බව පවසා එය රේගුව වෙත භාර දීමෙන් පසු පොත් නිදහස් කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව දන්වමින් සාකච්ඡාව නිමාවූ බව එම පිරිස නිවේදනයේ සඳහන් කර ඇත.
තව ද, අදාළ නිවේදනයේ එම සාකච්ඡාවේ පැවති ගැටලු කිහිපයක් දක්වා ඇති අතර ඒවා පහත පරිදි වේ.
- සංස්කෘතික අමාත්‍යංශයට මේ ප්‍රශ්නය හා නෛතික සම්බන්ධයක් නැති තත්ත්වයක් තුළ ඒ යටතේ පවතින ලංකා කලා මණ්ඩලයේ සහ රාජ්‍ය සාහිත්‍ය අනු-මණ්ඩලයේ සාමාජිකයන් දීපචෙල්වන්ගේ කෘති සම්බන්ධයෙන් දක්වන අදහස් ඇතුළත් නීරීක්ෂණ වාර්තාවක් සැකසීමේ අරමුණ කුමක් ද? එම වාර්තාවේ අන්තර්ගතය ප්‍රසිද්ධ නොකිරීමේ පදනම කුමක් ද?
- අදාළ නිරීක්ෂණ වාර්තාව සංස්කෘතික ඇමතිවරයාට භාර දෙන බව මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි. එහෙත් සාකච්ඡාව තුළදී දැනුම් දුන්නේ එය රේගුවට භාර දෙන බවයි. සංස්කෘතික ඇමතිවරයාට භාර දෙන්නේ නම් එම නිරීක්ෂණ වාර්තාව ඉන්පසු රේගුව හෝ ආරක්ෂක අමාත්‍යංශය වෙත භාර දෙන්නේ ද?
- එම සාකච්ඡාවේදී තමන් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන කිසිවක් තම කෘතිවල ලියා නැති බව ලේඛක දීපචෙල්වන් අවධාරණය කළේ ය. ඔහු ලියූ කෘති හතරක් "ගැටලු සහිත" බව රේගු පාර්ශ්වයෙන් දන්වනු ලැබීය. රාජ්‍ය කලා මණ්ඩල සහ සාහිත්‍ය අනුමණ්ඩල සාමාජිකයන් වෙතින් ද එම කෘති කිහිපයක ගැටලු පවතින බව ප්‍රකාශ විය. එසේ නම් එම ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ නිර්වචන සපයමින් අවසන් විනිශ්චය ලබා දෙන්නේ කවුරු විසින් ද?
- මීට ඉහතදී මේ හා සමානව රේගුව විසින් රඳවා ගනු ලැබූ ප්‍රබන්ධ හෝ ප්‍රබන්ධ නොවන කෘති තිබේ ද? තිබේ නම් ඒවා මේ වනවිට නිදහස් කර තිබේ ද? ඒවා නිදහස් කිරීමට අනුගමනය කළ ක්‍රමවේදය කුමක් ද?
"පිළියම් වෙනුවට තවදුරටත් ගැටලු සහ ව්‍යාකූලතා ඉතිරි කළ සාකච්ඡාවක් අවසන, කිලිනොච්චියේ සිට කොළඹට ගෙන්වාගත් ලේඛකයා, නිශ්චිත තීරණයක් ලබා නොදෙමින් ආපසු හිස් අතින් යැවීමට සැලැස්වීම පිළිබඳව ඔහුට සහයෝගය දැක්වීමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට රැස්වූ අපි අපගේ තදබල විරෝධය පළ කරමු," යැයි අදාළ නිවේදනයේ සඳහන් විය.
දීපචෙල්වන්ගේ කෘති අප්‍රමාදව නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කරන එම ක්‍රියාකාරීන්, මීට ඉහතදී ද මෙවැනි කෘති රඳවා ගැනීම් සිදු වූ ලේඛකයන් වෙත් නම් ඔවුන්ට ද ඒ හා සමාන ලෙස සාධාරණය ඉටු කරන ලෙස අවධාරණය කර ඇත.
එම්. සත්‍යවේල් පියතුමා, ශෙරාඩ් ජයවර්ධන පියතුමා, අනූෂා සිවලිංගම්, කත්‍යානා අමරසිංහ , විරංජන හේරත්, සංජුලා පීටර්ස්, ජෝසෆ් ස්ටාලින්, කනගසූරියර් ප්‍රදීප්,ඉන්ෆාස් ඉස්සදීන්, ටී.එම්.ජී.චන්ද්‍රසේකර, දර්ශන කාහිංගල, සුරේඛා සමරසේන, සම්මානි විජේසිංහ, රංග බණ්ඩාරනායක, රන්ජන් ප්‍රනාන්දු, ආලෝක බණ්ඩාර, තරුරසී ප්‍රනාන්දු, මො.ල. සෙනෙවිරත්න, ජනක් මායාදුන්න, සම්පත් සමරකෝන්, ප්‍රසාද් තුසිත, ඩී.එම්.එස්.ආරියරත්න, ලාල් ලක්ෂ්මන් යන ලේඛක හා සමාජ ක්‍රියාකාරීන් ඒකාබද්ධව එම නිවේදනය නිකුත් කර තිබේ.
වරදකට සම්බන්ධ බවට තීරණය කිරීමට විශේෂඥ නෛතික දැනුමක් තිබේ ද?
මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා රේගුව ලේඛක දීපචෙල්වන්ගේ කෘති දෙකක් පමණක් නිදහස් කිරීමට ගත් තීරණයත් සමග මෙරට සාහිත්‍ය, කලා සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සම්බන්ධ "බරපතළ සහ භයානක ගැටලු කිහිපයක්" මතු වන බව ආචාර්ය විරංජන හේරත් පවසා තිබේ.
මෙම තීරණය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
"රේගුව මුලින් සදහන් කළේ, අදාළ කෘති දණ්ඩ නීති සංග්‍රහයේ 120හි දැක්වෙන රාජද්‍රෝහි වීමේ වරදට ඇතුළත් වන බවට වන සැකය මත ඒ කෘති පිළිබද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් නිර්දේශ වාර්තාවක් කැදවා ඇති බවයි.
"කෙසේ වෙතත් සිය තීරණය දැනුම් දෙමින් රේගුව නිකුත් කර ඇති ලිපියේ දැක්වෙන්නේ කලා මණ්ඩලය සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ වාර්තාව ඒ සදහා පදනම් කරගත් බවයි.
"රේගුව විසින් මේ පිළිබද සංස්කෘතික අමාත්‍යංශයෙන්, කලා මණ්ඩලය සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ වාර්තා කැදවීමක් සිදුනොකළ පසුබිමක ඒ පිළිබද නැති බලයක් ආරෝපණය කර ගෙන වාර්තා ලබා දීමට, දේශපාලන පත්වීම් ලබා ඇති කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන්ට ඇති නෛතික, සහ සදාචාරාත්මක අයිතිය කුමක් ද?
"රදවා ගැනීමට තිරණය කර ඇති කෘති දෙක දීපචෙල්වන්ගේ සම්මුඛ සාකච්ඡා සහ ලිපි ඇතුළත් ප්‍රබන්ධ නොවන කෘති දෙකකි. එවැනි කෘති දෙකක් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියට යටතේ වන වරදකට සම්බන්ධ බවට තීරණය කිරීමට තරම් විශේෂඥ නෛතික දැනුමක් දේශපාලන පත්වීම් ලබා සිටින කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන්ට පවතී ද?
"මෙම සමස්ත ක්‍රියාවලිය තුළ ම දේශපාලන පත්වීම් ලබා සිටින කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන් සිදුකරමින් සිටින්නේ තමන්ට නැති අයිතියක් බලහත්කාරයෙන් ලබාගෙන තමන් විසින් තම හිතුමතයට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා මායිම් මැන දැක්වීම නොවේ ද?
"සාහිත්‍ය හා කලාව පෝෂණය කිරීම සදහා පත් කර ඇති බව කියන කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන් නැති බලතල ආරෝපණය කරගෙන මේ සිදුකරමින් සිටින්නේ තම සීමා මායිම් ඉක්මවා යමින් තමන්ට අවශ්‍ය දේ පමණක් සමාජගත කිරීමටත් තමන් අනවශය යැයි සිතන අදහස් සමාජගත වීම වැළැක්වීමෙත් කලා පොලිසියක භූමිකාවක් ඉටු කිරීම නොවන්නේ ද?," යනුවෙන් ආචාර්යවරයා ප්‍රශ්න තිබේ.
කෘති රඳවා ගැනීම ගැන රේගුව පැවසුවේ කුමක් ද?
ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘති රඳවා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා රේගුවෙන් ඊයේ දිනයේ සිය නිවේදනය නිකුත් කිරීමට පෙර බීබීසී සිංහල විමසීමක් කළේ ය.
එහිදී ශ්‍රී ලංකාවේ රේගුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා කියා සිටියේ, ජාතීන් අතර කැළඹීමක් ඇති විය හැකි සැක කටයුතු ලේඛන රඳවා ගැනීමට හැකියාව පවතින බවයි.
"සීමා කළ භාණ්ඩ කියලා අපේ තියෙනවා ලැයිස්තුවක්. ඒ ලැයිස්තුවේ තියෙනවා එක අයිටම් එකක් යම් ආගමකට, යම් ජනතාවකට අපහසුතාවක් සිත් රිදීමක් ඇතිවෙන එහෙම නැතිනම් ජාතීන් අතර කැළඹීමක් ඇතිවෙන්න පුළුවන් විදියේ ලේඛන. ප්‍රචාරක, දැන්වීම්, වීඩියෝ ඒ ඕන එකක් සම්බන්ධව අපිට සැකයක් තියෙනවා නම් මේකෙන් එහෙම එකක් ඇතිවෙනවා ද කියලා එකක් තියෙනවා නම් අපි කරන්නේ ඒක යවනවා සංස්කෘති කටයුතු අමාත්‍යංශයට.
"ඒගොල්ලෝ බලලා ඉවර වෙලා ඒ අයට තියෙනවා එක එක භාෂාවලට වෙන වෙන ම කමිටු. ඒගොල්ලෝ ඒ කමිටුවට දාලා බලලා ඉවර වෙලා අපිට කියනවා මේක ප්‍රශ්නයක් නැහැ දෙන්න කියලා කියනවා, එහෙම නැතිනම් දෙන්න එපා කියනවා. දැන් ඔය තත්ත්වයේ තමයි තියෙන්නේ," ශ්‍රී ලංකා රේගුව පැවසීය.
ශ්‍රී ලංකා රේගුව විසින් අදාළ කෘති සිය භාරයට ගැනීමට අදාළව ලේඛක දීපචෙල්වන් වෙත ලබා දී ඇති නිවේදනයේ පිටපතක් බීබීසී සිංහල වෙත ලැබී අතර එහි දක්වා ඇත්තේ, අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා අදාළ කෘති සංස්කෘතික අමාත්‍යංශයට සහ ආරක්ෂක අමාත්‍යංශයට යොමු කර ඇති බව ය.


































