විදේශ ගමන් තහනම සම්බන්ධයෙන් ගෝඨාභය කළ ඉල්ලීම ගැන අධිකරණය ගත් තීරණය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීම පිළිබඳ නියෝගය (නොවැම්බර් 25 වැනිදා) ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම ඉල්ලීම අද (නොවැම්බර් 04 වැනිදා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහූ අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමිනි... පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ පිළිබඳ විමර්ශන සිදුකරමින් පවතිනවා. ඊට වක්‍රාකාරව සහාය දුන්නේ යැයි සාධාරණ සැකයක් මතුවීම නිසා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාවේ හිටපු කර්නල්වරයෙකු වන මොහොමඩ් අන්සාර් සහ හිටපු බුද්ධි අංශ නිලධාරියෙක් වන ප්‍රේමානන්ද උදලාගම යන අයට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගැනීමට කටයුතු කළා. මෙය ඉතාම සංකීර්ණ විමර්ශනයක්. මොහු විදේශ ගත වී නැවත මෙරටට නොපැමිණියහොත් විමර්ශනවලට බලවත් අගතියක් වෙන්න පුළුවන්. ඒ අනුව මෙම තැනැත්තා යළි ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ තහවුරු කරගැනීමට හැකියාවක් අධිකරණයට තිබේනම් පමණක් විදෙස් ගමන් තහනම තාවකාලිවක ඉවත් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ නැහැ." යනුවෙන් පැවසූහ.
එහිදී මහෙස්ත්‍රාත් වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ගෝඨාභය රාජපක්ෂ මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම්කර තිබේදැයි විමසා සිටියේ ය.
ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් සැකකරුවකු ලෙස නම් කර නොමැති බවයි.
ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නේ. "සැකකරුවෙකු ලෙස නම් කර නොමැති පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඇප කොන්දේසි පැනවීමට, බැඳුම්කර නියම කිරීමට අධිකරණයට හැකියාවක් නෑ. ඒ නිසා ඔය කියන විදිහට නැවත පැමිණීම පිළිබඳ තහවුරු කර ගැනීමේ හැකියාවක් අධිකරණයට නෑ. එක්කෝ සැකකාරයෙක්ද? නැද්ද? කියා සඳහන් කරන්න. එහෙමත් නැත්නම් ඔය කියන විදිහට මොහු නොපැමිණියහොත් බලවත් අගතියක් ඇතිවිය හැකිනම් මේ ඉල්ලීමට විරුද්ධ වෙනවා කියලා කියන්න. අධිකරණයට හැකියාවක් නෑ සැකකාරයෙක් නොවන පුද්ගලයෙකුට කොන්දේසි පනවන්න. පැමිණිල්ල මේ ඉල්ලීමට විරුද්ධ නැත්නම් අධිකරණයට කරන්න පුළුවන් එකම දේ මේ විදෙස්ගමන් තහනම ඉවත් කිරීම පමණයි." යනුවෙන් පැවසීය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණේවි යැයි තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් නොමැති නම් ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි.
ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත නීතිඥ රුවන්ත කුරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමිනි..... මෙම ඉල්ලුම්කාර ගෝඨාභය රාජපක්ෂ 2019 වසරේ මැයි මාසයේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී බයිපාස් සැත්කමක් සිදුකළා. ඉන් පසු සෑම වසරකම මාස 06ක් තුළ සිංගප්පූරුවට ගොස් වෛද්‍ය සමාලෝචන සහ පසු විපරම්වලට මුහුණදිය යුතුයි. මොහු මීට පෙර මේ ආකාරයෙන් සිංගප්පූරුවට ගොස් යළි දිවයිනට පැමිණ තිබෙනවා. මොහුට සැත්කම සිදුකළ වෛද්‍යවරයා සිංගප්පූරුවේ රැඳී සිටින්නේ නොවැම්බර් 28 සිට දෙසැම්බර් 08 දක්වා කාලය තුළ පමණයි. එම කාලයේ යෑමට නොහැකි වුණොත් යළි වසරක කාලයක් වෛද්‍ය සමාලෝචනයට ලක්වීමට නොහැකි වෙනවා. මොහුව මේ නඩුවට අදාළව මේ දක්වා සැකකරුවෙකු ලෙස නම්කර නැහැ. අද වනතුරු ප්‍රකාශයක් ලබාගැනීමට කැඳවීමක් සිදු කරලත් නෑ. අපි ඉල්ලන්නේ මේ කියන දිනවලට තාවකාලිකව විදෙස් ගමන් තහනම ඉවත් කරන්න කියලා විතරයි. යළි පැමිණීමෙන් පසු අවශ්‍යනම් නැවත විදෙස් ගමන් තහනම පනවන්න හැකියාවක් තිබෙනවා" යනුවෙන් පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත්කිරීම පිළිබඳ නියෝගය නොවැම්බර් 25 වනදා ප්‍රකාශයට පත්කරන බව නියම කළේය.


































