පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් මුදා හැරීම: ජනපතිගෙන් සාක්ෂි විමසීම වැළැක්වූයේ ඇයි?

අනුර කුමාර දිසානායක

ඡායාරූප මූලාශ්‍රය, Facebook | Anura Kumara Dissanayake

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රේගු පරීක්ෂාවකින් තොරව වරායේ බහලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක කැඳවීමට ගන්නා ලද උත්සහය අසාර්ථක වී තිබේ.

එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන් සහ ඩී.වී. චානක අප්‍රේල් 07 වන දා විශේෂ කාරක සභා සභාපති හර්ෂණ නානායක්කාර ඇමතිවරයාගෙන් ලිඛිත ඉල්ලා තිබුණේ, කාරක සභාව හමුවට මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා සාක්ෂි සඳහා කැඳවන ලෙස ය.

තව ද, අදාළ සිදුවීම වන අවස්ථාව වන විට විෂය භාර අමාත්‍යවරයා වූ බිමල් රත්නායක, අදාළ කාලය තුළ විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනිත් රුවන් කොඩිතුවක්කු සහ මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා විශේෂ කාරක සභාවේ සාක්ෂි ලබා ගැනීමට කැඳවන ලෙස ඉල්ලා තිබිණි.

ජනාධිපති කැඳවීමේ ඉල්ලීම බහුතර කැමැත්තෙන් පරාජය වෙයි

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙතට කැඳවීමට කරන ලද ඉල්ලීම කාරක සභාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් පරාජය කරන ලද බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මාධ්‍ය වෙත කියා සිටියේ ය.

"අපි සාක්ෂිකරුවන් 4 දෙනෙක් කැඳවන්න කියලා ඉල්ලීම් කළා මෙම කාරක සභාවට අද දින. මුදල් ඇමති අනුර කුමාර දිසානායක, මොක ද රේගුව තියෙන්නේ මුදල් ඇමතිතුමා යටතේ. ඒ වගේ ම බිමල් රත්නායක ඇමතිතුමා තමයි වරාය භාර ඇමතිතුමා. එතුමා තමයි දොරවල් ඇරලා මේ කන්ටේනර් අනීතිකව, ක්‍රමයට පටහැනිව මුදා හැරියේ. ඒ වගේ ම ජනිත රුවන් කොඩිතුවක්කු තමයි වගකීම මම භාර ගන්නවා, ගේට්ටු අරිනවා, තදබදය නැති කරනවා, අපි එහෙම තමයි කරන්නේ කියලා මාධ්‍යවේදී ඔබතුමන්ලා ප්‍රශ්න කරනකොට මේ විදියට කන්ටේනර් සිය ගණනක් අවිධිමත් විදියට ඉවත් කිරීම තුළ රටට හානියක් වෙනවා, නීති විරෝධි දේවල් වෙනවා කියලා කියනකොට ජනිත රුවන් කොඩිතුවක්කු තමයි රජය වෙනුවෙන් ප්‍රකාශ කළේ. ඒ වගේ ම අමාත්‍යංශ ලේකම්වරයා. මේ සාක්ෂිකාරයෝ 4 දෙනාව මේ විමසීමට අත්‍යවශ්‍ය යි."

'ඡන්දයට සාක්ෂිකරුවන් කැඳවීම ප්‍රතික්ෂේප කිරීම කවදාවත් නොවුණු දෙයක්'

"මෙම කමිටුවේ බහුතරය පාවිච්චි කරමින් ඡන්ද විමසීමක් තියලා මේ සාක්ෂිකරුවන් හතර දෙනා කැඳවීම මෙම කමිටුවේ සභාපති හර්ෂණ නානායක්කාර මහත්මයා විසින් ප්‍රතික්ෂේප කළා. ඉතාමත් ම කනගාටුදායක යි, තේරීම් කාරක සභාවකදී එහෙම ඡන්ද විමසලා, බහුතර ඡන්දයට සාක්ෂිකරුවන් කැඳවීම ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන් ම කවදාකවත් වෙච්ච නැති දෙයක්," අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා පැවසීය.

තේරීම් කාරක සභාවක හෝ වෙනත් පාර්ලිමේන්තු සභාවක මින් පෙර සාක්ෂිකරුවන් කැඳවීම සම්බන්ධව ඡන්ද විමසීමක් කර තීන්දුගෙන නොමැති බවත්, මෙවැන්නක් සිදුවූයේ ඉතිහාසයේ පළමු වතාවට බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

"පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයටත් මේක නරක යි. ඒ වගේ ම මේ රජයේ ක්‍රියාකාරීත්වය තුළ යුක්තිය ඉටු වෙනවා කියලා කවුරු හරි හිතනවා නම් කන්ටේනර් 323 නිතීවිරෝධීව බැහැර කිරීම ගැන, ඒ ක්‍රියාදාමය ගැන යම් විශ්වාසයක් තිබුණා නම් පාර්ලිමේන්තුවේ තේරිම් කාරක සභාවෙන් යුක්තිය ඉෂ්ට වෙයි කියලා, අද සම්පූර්ණයෙන් ඒක අත හැරුණා," අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

රේගු පරීක්ෂාවකින් තොරව බහලුම් 300කට වැඩි ගණනක් නිදහස් කිරීම

ආනයනික භාණ්ඩ සහිත බහලුම් රේගු පරීක්ෂාවට ලක් කර නිදහස් කිරීමට තදබදයක් පවතින බවට වාර්තා වන පසුබිමක රේගු පරීක්ෂාවට ලක් නොකර බහලුම් 300කට වැඩි ගණනක් ශ්‍රී ලංකා රේගුව විසින් මුදා හරිනු ලැබ ඇති බවට රේගු වෘත්තිය සමිතියක් 2025 වසරේ මුලදී අනාවරණය කළේ ය.

එම වසරේ ජනවාරි 17 සහ 18 යන දෙදින තුළ මෙසේ ආනයනික බහාලුම් 323ක් රේගු නිශ්කාෂණයට ලක් නොකර නිදහස් කර ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමය චෝදනා කළේ ය.

අදාළ සිදුවීම වාර්තා වූ කාලයේදී, එම සංගමයේ සභාපති අමිල සංජීව බීබීසී සිංහල සේවයට පැවසුවේ, එසේ නිදහස් කරන බහලුම් අතරින් 80%ක් පමණ දැඩි රේගු පරීක්ෂාවට ලක් විය යුතු රෙඩ් චැනල් කාණ්ඩයට අයත් ඒවා බව ය.

මෙම බහලුම් පරීක්ෂාවට ලක් නොකර නිදහස් කරනු ලැබුවේ, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අශීර්වාදය ඇති නිලධාරීන් පිරිසක් විසින් බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා චෝදනා කර සිටියේ ය.

විපක්ෂ මන්ත්‍රී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුදල් අමාත්‍යංශ වාර්තාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ආනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක් ද පත් කරනු ලැබී ය.

නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්, ඒ.කේ. සෙනෙවිරත්නගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන අතර, කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්.බී. ජයසුන්දර, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.පී. කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. කුරුම්බලපිටිය සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර අදාළ විමර්ශන කමිටු සාමාජිකයන් ‍ලෙස කටයුතු කළේ ය.

අදාළ කමිටු වාර්තාව 2025 ජූනි මාසයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබී ය.

"මේ වාර්තාවෙන් කරුණු ගණනාවක් හෙළිදරව් කරලා තියෙනවා. නිරීක්ෂණ කියන කාරණාව යටතේ පිටු අංක 6 සඳහන් වෙනවා අවදානම් කළමනාකරණය යටතේ රේගුවේ රතු, කහ, කොළ ලේබල් වර්ග තියෙනවා."

"රතු ලේබල් නම් භෞතික පරීක්ෂාවට සහ ස්කෑන් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. කහ ලේබල් කියන කන්ටේනර් වර්ගය සාම්පල් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. ස්කෑන් පරීක්ෂාවට ලක් කරන්නත් ඕනේ. කොළ ලේබල් කියන වර්ගය ඩොකියුමන්ට් විතරක් පරීක්ෂා කරලා යවන්න පුළුවන්. ඒකෙදි භෞතික පරීක්ෂාව අවශ්‍යත් නෑ ස්කෑන් පරීක්ෂාව අවශ්‍යත් නෑ. මේ කාරණා ටික ඒකෙ අඩංගු වෙනවා," යැයි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධව එම කාල වකවානුවේදී පාර්ශව ගණනාවක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කරනු ලැබූ බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

විපක්ෂ ඉල්ලීමක් අනුව පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා කරන ලද ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් 2025 නොවැම්බර් මාසයේදී පිහිටුවීය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජියන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, සුනිල් වටගල, අර්කම් ඉල්යාස්, දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, ඩී.වී. චානක, මුජිබර් රහුමාන්, නජිත් ඉන්දික, මයිල්වාගනම් ජෙගදීස්වරන්, ලක්මාලි හේමචන්ද්‍ර සහ උපලි පන්නිලගේ පත් කර තිබේ.

එම කාරක සභාව 2026 ජනවාරි 21 වන දා පළමු වරට රැස්ව ඇති අතර මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව කාරක සභා සභාපති අමාත්‍ය හර්ෂණ නානායක්කාර එහිදී පැවසූ බව පාර්ලිමේන්තු වෙබ් අඩවිය වාර්තා කර ඇත.