මන්ත්‍රී අර්චුනාගේ වැටුප: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය සේවකයින් ඉතා අඩුවෙන් බදු ගෙවන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Facebook | Archchuna Ramanathan
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
සාමාන්‍ය ජනතාවගෙන් අධික ලෙස ආදායම් බදු අය කර ගන්නා තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉතා අඩු ආදායම් බද්දක් අය කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.
මෙම කතාබහ නිර්මාණය වූයේ, පසුගිය අප්‍රේල් 08 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ඔහුගේ මාසික වැටුප වෙනුවෙන් ලැබුණු වැටුප් ලේඛනය සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කිරීමත් සමග ය.
ඔහුගේ වැටුප් විස්තර අනුව පෙනී යන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අය කර ගැනෙන ආදායම් බද්ද ඉතා අඩු අගයක් ගන්නා බව ය.
අර්චුනා රාමනාදන්ගේ වැටුප් විස්තර
ඔහු පළ කර තිබූ වැටුප් ලේඛනයට අනුව ඔහුගේ මාසික දළ වැටුප රු. 415,169.93කි.
එම වැටුප සැකසෙන ආකාරය මෙසේ ය.
- මාසික දීමනාව - 54,285.00
- විනෝද දීමනාව - 1,000.00
- දුරකතන දීමනාව - 50,000.00
- ප්‍රවාහන දීමනාව - 15,000.00
- කාර්යාල දීමනාව - 100,000.00
- ඉන්ධන දීමනාව - 179,707.93
- බදු නැවත ගෙවීම - 177.00
- පාර්ලිමේන්තු අසුන් ගැනීමේ දීමනාව - 15,000.00
- එකතුව - 415,169.93
ඔහු ලබන මාසික ආදායම වෙනුවෙන් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බද්ද (APIT) ලෙස අය කරගෙන ඇත්තේ, රු. 7549.57ක් පමණි.
පෞද්ගලික අංශයේ ඊට සමාන වැටුපක් ගන්නා අයෙකුගෙන් අය කර ගන්නා APIT බද්දේ ප්‍රමාණය
පෞද්ගලික අංශයේ යම් සේවකයෙකු ඉහත සඳහන් කර ඇති වැටුපක් ලබා ගන්නේ නම් ඔහුගෙන් රු. 55,461.17ක මුදලක් බදු වශයෙන් අය කර ගැනේ.
ඒ අනුව, අදාළ වැටුපෙන් අය කරගෙන ඇත්තේ, පෞද්ගලික අංශයේ සේවකයෙකු ගෙවන බදු ප්‍රමාණයට වඩා රු. 47,911.60ක මුදලක් අඩුවෙනි.
මෙයින් පෙනී යන්නේ, පෞද්ගලික අංශයේ සමාන වැටුපක් ගන්නා සේවකයින්ට, රාජ්‍ය අංශයේ සේවකයින්ට වඩා 84%කටත් වඩා අධික බදු මුදලක් ගෙවීමට සිදුව ඇති බව ය.
මෙවැනි වෙනසක් ඇති වීමට බලපා ඇති කරුණු මොනවා ද?
මුදල් නියෝජ්‍ය ඇමතිගේ අමුතු පිළිතුර
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම ගැටලුව සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ 'රතු ඉර' වැඩසටහනේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, ඇතැම් මාසවලදී ගණනය කිරීම්වල වෙනස්කම් සිදු වන බව ය.
"දැන් ඔය බදු අය කිරීම පිළිබඳවත් සමාජයට වැරදි තොරතුරු යනවා. දැන් මේ තියෙන්නෙ PAYE ඒ කියන්නෙ පඩිය ලබා ගන්නකොට උපයන විට ගෙවීමක් නෙ. සමහර අවස්ථාවලදී අය කිරීම් සිද්ධ කරනකොට වගුවක් තියෙනවා. ඒව දිහා බලල සමහර අයගෙ තියෙනවා ප්‍රාථමික ආදායම්, ඒ වගේ ම ද්විතීක ආදායම් කියලත් තියෙනවා.... ඒ කියන තොරතුරු මත ගණනය කිරීමේදී හරියට ම ගණනය කරල ටේබල් එකේ තියෙනව හරියට ම අඩු කරන්න ඕන ප්‍රමාණය. හැබැයි, යම් යම් අවස්ථාවලදි නිර්මාණය වෙලා තියෙනව, සමහර මාසවලදී වැඩිපුර අය කරපු අවස්ථා තියෙනවා. අඩුවෙන් අය කරපු අවස්ථා තියෙනවා. කිසි දේකට කලබල විය යුතු නෑ. මේ මාසයකදී බදු අය කරා කියල ඔබගේ බදු වගකීම හරියට ගණන් හදල ඒ ගණන් හිලව් බලල සෙට්ල්මන්ට් එක එන්නෙ බදු වර්ෂයක් අවසන් වුණාට පස්සෙ.... එහෙම නැතුව මන්ත්‍රීවරුන්ට වෙන විදිහකටත්, වෙනත් අයට වෙන විදිහකටත් අය කරන්නෙ නෑ. ඒක සම්පූර්ණයෙන් ම එක්කො අනවබෝධයෙන්, එහෙම නැත්නම් සමාජය නොමග යවන්න කරන දෙයක්."
පෞද්ගලික සහ රාජ්‍ය අංශයට බදු අයකරන විධි දෙකක්
මන්ත්‍රීවරුන්ට සහ වෙනත් අයට විධි දෙකක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුව ද, එවැනි විධි දෙකක් ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ බදු උපදේශන නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවකයින්ගෙන් ආදායම් බදු අය කර ගැනීමේදී වෙනස් ක්‍රමයක් අනුගමනය කරන බව ය.
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියල නෙවෙයි, රජයේ සේවකයින්ට තියෙනව වෙනසක්. ඒ කියන්නෙ අපේ තියෙනව පෞද්ගලික සේවකයොයි, රජයේ සේවකයොයි ඔක්කොට ම අදාළ වෙන මූල්‍ය නොවන ප්‍රතිලාභවලට (Non Cash Benefits) චක්‍රලේඛයක් නිකුත් කරල තියෙනව, ඒවායේ ඉවැලුවේෂන් එක ගන්නෙ කොහොම ද කියල."
ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළුව රජයේ සේවකයින්ගෙන් ආදායම් බදු අය කර ගැනීමේදී දීමනා 3ක් සඳහා ආදායම් බද්දට යටත් කර ගැනෙන්නේ, එම දීමනාවල වටිනාකමෙන් 25%ක් පමණි.
එම දීමනා වන්නේ, ඉන්ධන දීමනාව, දුරකතන දීමනාව සහ ප්‍රවාහන දීමනාව යි.
ඒ අනුව, මන්ත්‍රී අර්චුනාගේ වැටුපෙහි සඳහන් දුරකතන දීමනාව (රු. 50,000.00), ඉන්ධන දීමනාව (රු. 179,707.93) සහ ප්‍රවාහන දීමනාව (රු. 15,000.00) යන දීමනාවල එකතුවෙන් බද්දට යටත් වන්නේ, 25%ක් පමණි.
ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අය කර ගැනෙන අත්තිකාරම් පෞද්ගලික ආදායම් බද්ද ඉතා අඩු අගයක් ගනී.
මෙය පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ අධ්යක්ෂවරයා ද බීබීසී සිංහල සේවය කළ විමසීමකදී තහවුරු කළේ ය.
බද්දෙන් 75%ත් නිදහස් කරන්නේ ඇයි?
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු උපදේශන ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයා පැවසුවේ, රජයේ සේවකයින් බොහෝවිට බද්දෙන් නිදහස් කෙරෙන දීමනා සිය රාජකාරී සඳහා වැය කරන බැවින් ඔවුන්ට එම ප්‍රතිලාභය දී ඇති බව ය.


































