සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි: අධිකරණයේදී හෙළිවූ කරුණු මොනවා ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම අද (නොවැම්බර් 04වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 26කි.

'බරපතළ අපරාධ යන කාරණය නිර්වචනය කර තිබෙන ආකාරය ඉතාම භයානක යි'

පෙත්සම්කරුවෙකු වන මාලින්ද සෙනවිරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ කියා සිටියේ ය.

"යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන ජාතික සීමා ඉක්මවූ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි යි. එහි මූලික පදනම පවා මෙම පනත් කෙටුම්පත මගින් උල්ලංඝනය කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීමේදී කිසියම් පුද්ගලයෙකු ජනාධිපතිවරයා නොමග යවා තිබෙනවා."

"ස්වාමීනි, මෙම පනත් කෙටුම්පත තුළ "බරපතළ අපරාධ" යන කාරණය නිර්වචනය කර තිබෙන ආකාරය ඉතාම භයානක යි. බුද්ධිමය දේපළ පනත යටතේ සඳහන් වැරදි පවා බරපතළ අපරාධ ලෙස අර්ථකථනය කර තිබෙනවා. වෙළෙඳ ලකුණු සම්බන්ධ වැරදි, සුරාබදු වැරදි සහ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ සඳහන් වැරදි ද මෙම පනත් කෙටුම්පත යටතේ බරපතළ අපරාධ ලෙස නිර්වචනය කර තිබෙනවා."

"දණ්ඩ නීති සංග්‍රහය යටතේ වසර හතරකට වැඩි සිර දඬුවම් නියම කළ හැකි සියලු වැරදි ද මීට ඇතුළත් කර තිබෙනවා. නිදසුනක් ලෙස, බුද්ධිමය දේපළ පනත යටතේ සිදු කරන වරදක් සඳහා නියම කර තිබෙන්නේ මාස හයක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක දඩයක් පමණ යි. එහෙත් මෙම පනත් කෙටුම්පත යටතේ අදාළ වරද බරපතළ අපරාධයක් ලෙස දක්වා තිබෙනවා," නීතිඥවරයා කියා සිටියේ ය.

මෙම තත්ත්වය භයානක තත්ත්වයක් බව ද නීතිඥවරයා එහිදී කියා සිටියේ ය.

"සූදු නියාමන පනත යටතේ බලපත්‍ර නොමැතිව සූදු ව්‍යාපාර පවත්වාගෙන යන පාර්ශ්ව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය එම පනතේ සඳහන් වෙනවා. එහෙත් මෙම පනත් කෙටුම්පත තුළ එම වැරදි පවා බරපතළ අපරාධ ලෙස නිර්වචනය කර තිබෙනවා."

"ස්වාමීනි, මේක විහිළුවක්. මෙවැනි ක්‍රියා නිසා අපේ රට ලෝකයා ඉදිරියේ විහිළුවක් බවට පත් වෙනවා. මේක අතිශය භයානක තත්ත්වයක්."

එමෙන් ම මෙම පනත් කෙටුම්පත හරහා පොලිසියට ලබා දීමට යෝජිත බලතල සම්බන්ධයෙන් ද නීතිඥවරයා කරුණු දක්වා තිබේ.

"යෝජිත පනත් කෙටුම්පත යටතේ කිසියම් පුද්ගලයෙකු බරපතළ අපරාධයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විට, ඔහු රඳවා තබා ගැනීම සඳහා පොලිස්පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඉල්ලීමක් කළහොත්, රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයාට ලබා දී තිබෙනවා. එවැනි රැඳවුම් නියෝගයක් නිකුත් කළ විට මාස දෙකක සිට වසරක කාලයක් දක්වා රඳවා තබා ගැනීමට පොලීසියට අවසර ලැබෙනවා."

"මේ ආකාරයට රැඳවුම් නියෝගයක් නිකුත් කළ පසු මහේස්ත්‍රාත්වරයාට එම නියෝගයට අනුකූලව කටයුතු කිරීමට සිදු වෙනවා. මහේස්ත්‍රාත්වරයාට තම අභිමතය ක්‍රියාත්මක කළ නොහැකියි. එම අභිමතානුසාරී බලය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කර තිබෙනවා."

"ඒ නිසා මෙම පනත් කෙටුම්පත යටතේ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් විට අලුත්කඩේට රැගෙන යාම අවශ්‍ය වන්නේ නැහැ. ආරක්ෂක අමාත්‍යවරයාගේ හෝ පොලිස්පතිවරයාගේ කාර්යාලයට තමයි රැගෙන යාමට සිදු වන්නේ," නීතිඥවරයා පැවසුවේ ය.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙසේ කියා සිටියේ ය.

"යෝජිත පනත් කෙටුම්පත යටතේ කිසියම් තොරතුරක් පොලීසියට ලබා නොදීම වරදක් ලෙස දක්වා තිබෙනවා. නිදසුනක් ලෙස, බුද්ධිමය දේපළ සම්බන්ධ වරදක් සිදු කළ පුද්ගලයෙකු මා වෙත පැමිණ ඒ පිළිබඳව දැනුම් දෙනවා. එවිට මා ඒ පිළිබඳව පොලීසියට දැනුම් දිය යුතුයි. එසේ නොකළහොත් මෙම පනත් කෙටුම්පත යටතේ සිරභාරයට පත් වීමට සිදු වෙනවා."

"මේක සෘජුව ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. එපමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට හිමි කර දී තිබෙන අධිකරණ බලය ද මෙම පනත් කෙටුම්පත හරහා බරපතළ කප්පාදුවකට ලක් කර තිබෙනවා. ඒ නිසා මෙම පනත් කෙටුම්පත අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතු යි," යනුවෙන් සඳහන් කළේ ය.

අධිකරණ වාර්තාකරණයට බාධාවක් සිදු වන බවට කරුණු දැක්වීමක්

ඉන් අනතුරුව, පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ මෙලෙස කරුණු දැක්වූවේ ය.

"ස්වාමීනි, මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන මගින් අධිකරණයේ බලය ඉක්මවා යන බලයක් පොලීසියට ලබා දීමට යෝජනා කර තිබෙනවා. එය ඉතා අනතුරුදායකයි. මේ හරහා එම බලය වැරදි ලෙස අවභාවිත කිරීමට අවස්ථාව සැලසෙන්න පුළුවන්."

"නිදසුනක් ලෙස, මෙම පනත් කෙටුම්පතේ 14 වැනි වගන්තිය යටතේ යම් බරපතළ අපරාධයක වින්දිතයෙකු බවට පත්වන පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළිදරව් කිරීම වරදක් ලෙස දක්වා තිබෙනවා. එවැනි පුද්ගලයෙකුගේ නම මුද්‍රණය කිරීම හෝ ප්‍රසිද්ධියට පත් කිරීම ද වරදක් ලෙස සඳහන් කර තිබෙනවා."

"14(3) වගන්තිය යටතේ, බරපතළ අපරාධයකට අදාළව විභාග වන නඩුවක යම් කරුණක් එම අධිකරණයේ අවසරයකින් තොරව මුද්‍රණය කිරීම හෝ ප්‍රසිද්ධියට පත් කිරීම වරදක් ලෙස දක්වා තිබෙනවා. මෙම ප්‍රතිපාදනය හේතුවෙන් අධිකරණ ප්‍රවෘත්ති වාර්තාකරණ කටයුතු පවා සිදු කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා."

"එපමණක් නොව, මෙම පනත් කෙටුම්පත යටතේ සිදු කරන විමර්ශන අධීක්ෂණය කිරීම සඳහා කිසිදු ප්‍රතිපාදනයක් සලසා නැහැ. ඒ අනුව, අධිකරණ අධීක්ෂණය ඉවත් කර තිබෙනවා."

ඒ අනුව, මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත්, ඒ අනුව එය ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ ය.

'එහෙන් මෙහෙන් අහුලාගත් කොටස් එකතු කරගෙන තමයි මෙය සකස් කර තිබෙන්නේ'

තවත් පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණය හමුවේ මෙලෙස කරුණු දැක්වීය.

"මෙම පනත් කෙටුම්පත එක්සත් ජාතීන්ගේ සම්මුතියට සම්පූර්ණයෙන්ම පටහැනියි. ඒ තුළින් මානව නිදහස බරපතළ ලෙස සීමා කර තිබෙනවා. සිංගප්පූරුවේත් මෙවැනි නීතියක් ක්‍රියාත්මක වෙනවා. එහි රැඳවුම් නියෝග පිළිබඳව කිසිවක් සඳහන් වන්නේ නැහැ.

"එක්සත් ජාතීන්ගේ සම්මුතියේ උපදෙස් අනුව නොවෙයි මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙන්නේ. එහෙන් මෙහෙන් අහුලාගත් කොටස් එකතු කරගෙන තමයි මෙය සකස් කර තිබෙන්නේ. මෙම පනත් කෙටුම්පත මගින් අධිකරණයේ මැදිහත්වීමකින් තොරව පුද්ගල නිදහස සීමා කිරීමට විධායකයට අවකාශ සලසා තිබෙනවා."

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ගොනු කර තිබූ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක ද අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

"ස්වාමීනි, මෙම පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමේදී මට ගැටලු කිහිපයක් මතු වුණා. මෙම පනත් කෙටුම්පතේ ඉහළින් 'ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය' යනුවෙන් සඳහන් වෙනවා. ලතින් ඇමෙරිකානු රටකට සකස් කළ පනත් කෙටුම්පතක් වැරදීමකින් මෙරටට ගෙන ආවාදැයි මට ගැටලුවක් මතු වුණා."

"ස්වාමීනි, මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් බරපතළ ලෙස සීමා කර තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය ද සීමා කර තිබෙනවා."

"2022 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේදී වත්මන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වැදගත් ප්‍රකාශයක් කර තිබුණා. එදා ඔහු ප්‍රකාශ කළේ එම පනත් කෙටුම්පතේ අන්තර්ගත බලතල සම්පූර්ණයෙන්ම අමාත්‍යවරයාට පවරා තිබෙන බව යි. ඉතින්, මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන පුද්ගලයෙකු අතට මෙම බලය පත් වුවහොත් කුමක් සිදුවේ ද?"

"ස්වාමීනි, එවැනි තත්ත්වයක් තමයි මෙම පනත් කෙටුම්පත තුළත් දකින්නට ලැබෙන්නේ. ඒ නිසා මෙම පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි," යනුවෙන් ඔහු කියා සිටියේ ය.

'මහේස්ත්‍රාත්වරයා හුදෙක් රබර් මුද්‍රාවක් බවට පත් කර තිබෙනවා'

තවත් පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් 'සහභාගිත්වය' සම්බන්ධයෙන් පනත් කෙටුම්පතේ දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු කළේ ය.

"ස්වාමීනි, මෙම පනත් කෙටුම්පතේ 10 වැනි වගන්තියේ 'සහභාගිත්වය' පිළිබඳව සඳහන් කර තිබෙනවා. නිදසුනක් ලෙස, කිසියම් අපරාධ කණ්ඩායමක් ශ්‍රමදානයක් හෝ දන්සලක් පවත්වනවා. එම ක්‍රියාව තුළ කිසිදු ආකාරයක අපරාධයක් සිදු වන්නේ නැහැ. නමුත් මෙම පනත් කෙටුම්පත යටතේ එම ක්‍රියාව වරදක් ලෙස දක්වා තිබෙනවා. එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් නඩු පවරනු ලැබුවහොත් අධිකරණයට එම පුද්ගලයන් වරදකරුවන් කිරීමට සිදු වෙනවා."

"මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වැරදි සම්බන්ධයෙන් නිගමනය කිරීමේ බලය පවරා තිබෙන්නේ පොලීසිය වෙත යි. එම කටයුතු අධිකරණයේ අධීක්ෂණයට නතු වන්නේ නැහැ. එම නිසා එම බලය අවභාවිත වීමේ අනතුරක් තිබෙනවා."

"අදාළ පනත් කෙටුම්පතේ 19(4) වගන්තිය අනුව, මෙම පනත් කෙටුම්පත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝගයක් නිකුත් නොකරන අවස්ථාවකදී, එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ විට මහේස්ත්‍රාත්වරයාට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. අධිකරණ මනස ක්‍රියාවේ යොදවා තීරණ ගැනීමට මහෙස්ත්‍රාත්වරයාට අවකාශ සැලසෙන්නේ නෑ. මහේස්ත්‍රාත්වරයා හුදෙක් රබර් මුද්‍රාවක් බවට පත් කර තිබෙනවා."

"මෙම පනත් කෙටුම්පත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු පැය 72ක් පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට අවසර ලබා දී තිබෙනවා. එම කාලසීමාව තුළ අදාළ පුද්ගලයා අධිකරණයේ අධීක්ෂණයට නතු වන්නේ නැහැ. එය භයානක තත්ත්වයක්."

අදාළ පනත් කෙටුම්පත යටතේ සැකකරුවන්ට ඇප ප්‍රදානය කිරීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත් කර තිබෙනවා. එම බලය මහාධිකරණයට පවරා තිබෙනවා. මුල් අවස්ථා අධිකරණයට එම බලය හිමි නොවීම ගැටලු සහගත තත්ත්වයක්."