කතානායකට එරෙහි විශ්වාසභංගයේ ඇතුළත් ප්‍රධාන චෝදනා මොනවා ද? කතානායක පාර්ශවයේ ප්‍රතිචාරය කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Parliament Media
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 10
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
එහි කතානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව චෝදනා 50ක් සඳහන් කර ඇත.
එහි ඇතුළත් ප්‍රධාන චෝදනා පහත දැක්වේ.
(01) පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ නිල නිවස ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XVIII වැනි පරිච්ඡේදය යටතේ උපලේඛනගත නිල නිවසක් වන අතර, එසේ එවැනි නිල නිවසක් හිමිව තිබියදී හා එකී නිල නිවස වර්තමාන ගරු කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා විසින් රාජකාරි හා පෞද්ගලික කටයුතු සඳහා භාවිත කරමින් ම ඊට අතිරේකව නිල නිවාස නොමැති අමාත්‍යවරුන් හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් හෝ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා සහනදායී කුලී පදනමක් මත ලබා දෙනු ලබන කොළඹ 04, ලෝරිස් පටුමග පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාස සංකීර්ණයෙන් නිල නිවසක් ලබාදෙන ලෙස නීති විරෝධී ලෙස ඉල්ලීමක් සිදු කර ඒ අනුව, අංක 8/1 දරන රජයේ නිල නිවස 2025 ජනවාරි මස සිට තම නමට වෙන් කරවා ගෙන භාවිත කිරීම හේතුවෙන් හිතාමතා හා දැන දැන ම තම අධිකාරි බලය අනිසි ලෙස භාවිත කරමින් ආයතන සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කිරීම, සහ එමගින් රජයේ දේපළ අවභාවිත කිරීම.
(එකී උල්ලංඝනය කිරීම 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ "දූෂණය" නමැති වරද යටතට ගැනෙන වරදක් වන හෙයින්)
(02) ඉහත කී කොළඹ 04, ලෝරිස් පටුමග පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාස සංකීර්ණයෙන් අංක 8/1 දරන රජයේ නිල නිවස භාවිත කරමින් ම බත්තරමුල්ල, රජමල්වත්ත පිහිටි කතානායක නිල නිවසේ නඩත්තුව සඳහා 08 දෙනෙකුගෙන් සමන්විත පෞද්ගලික කාර්ය මණ්ඩලයක් පත් කරමින් එකී කාර්ය මණ්ඩලයේ වැටුප් හා දීමනා සඳහා මසකට රු. 760,000/-කට අධික මුදලක් ද, එකී නිල නිවස සඳහා ජල, විදුලි බිල්පත් හා නඩත්තුව සඳහා අවශ්‍ය කෙරෙන අනෙකුත් බඩු භාණ්ඩ සඳහා යන වියදම් ද පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවීමට පෙළඹවීමෙන් පාර්ලිමේන්තුව වෙත හිතාමතා දැන දැන ම බරපතළ මූල්‍යමය අලාභයක් සිදු කිරීම.
(03) තමාගේ පෞද්ගලික ලේකම්වරයා වන වමීර ප්‍රියසංඛ ගාල්ලගේ යන අයට ද නිල නිවාස නොමැති අමාත්‍යවරුන් හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් හෝ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා සහනදායී කුලී පදනමක් මත ලබාදෙනු ලබන කොළඹ 04, ලෝරිස් පටුමග සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් අංක 4/3 දරන නිල නිවස ලබා දීම සඳහා පෞද්ගලිකව මැදිහත් වීම තුළින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකරමින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සඳහා ආධාර අනුබල දීම.
(04) බත්තරමුල්ල, රජමල්වත්ත පිහිටි කතානායක නිල නිවසේ උපලේඛනගත භාණ්ඩ වන ඇඳ ඇතිරිලි, කොට්ට උර හා තුවා ඇතුළු අනෙකුත් උපකරණ නිසි අනුමැතියකින් තොරව එකී නිල නිවාස පරිශ්‍රයෙන් පිටතට ගෙන්වා ගැනීමට කටයුතු කිරීමෙන් අදාළ වක්‍රලේඛ හා විධි විධාන උල්ලංඝනය කර උපලේඛනගත රජයේ දේපළ අවභාවිත කිරීම.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
(05) බත්තරමුල්ල, රජමල්වත්ත පිහිටි කතානායක නිල නිවස කිසිදු නිල රාජකාරි හෝ පෞද්ගලික කටයුත්තක් සඳහා භාවිත කරනු නොලබන බවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව, සමස්ත පාර්ලිමේන්තුවම සහ මහජනතාව වෙත ප්‍රකාශ කරමින් එකී නිල නිවස කතානායකවරයා සභාපතීත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම් සඳහා භාවිත කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා සමස්ත මහජනතාව ද නොමග යැවීමට කටයුතු කරමින් තමා කෙරෙහි තබා ඇති මහජන විශ්වාසය පළුදු කරගෙන සාපරාධී විශ්වාසය කඩ කිරීම.
(06) කොළඹ 04, ලෝරිස් පටුමගේ පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාස සංකීර්ණයෙන් නිල නිවසක් භාවිත කරමින් සිටියදී ම පාර්ලිමේන්තුවට අයත් බත්තරමුල්ල, රජමල්වත්තේ පිහිටි කතානායක නිල නිවස පෞද්ගලික දිවා හා රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා ද, තම පෞද්ගලික පරිහරණය සඳහා ද භාවිත කිරීමට කටයුතු කිරීමෙන් ගරු කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා විසින් සාපරාධී සාවද්‍ය පරිහරණය හා සාපරාධී විශ්වාසය කඩ කිරීම.
(07) කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා විසින් බත්තරමුල්ල, රජමල්වත්ත පිහිටි කතානායක නිල නිවසේ ඇඳ ඇතිරිලි, තුවා හා කොට්ට උර ආදී බඩු බාහිරාදිය අනවසරයෙන් පිටතට ගෙන ගොස් ඇති බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කරමින් සිටින අවස්ථාවකදී එකී නිල නිවසේ ඇඳ ඇතිරිලි, තුවා හා කොට්ට උර ආදී භාණ්ඩ සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලැබූ භාණ්ඩ වට්ටෝරු ලේඛනය භාරව සිටින නිල නිවසේ සේවකයා එකී ලේඛනය අස්ථානගත වී ඇති බවට දැනුම් දී ඇති අතර, එම නිල නිවසේ සේවකයා ගරු කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා විසින් පත් කරන ලද පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයෙකු වන හෙයින් ද, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 127 වගන්තිය ප්‍රකාරව එකී පනත යටතේ විමර්ශනයකට අදාළ යම් ලේඛනයක් සැඟවීම, විනාශ කිරීම හෝ බැහැර කිරීම සඳහා කටයුතු සලස්වන හෝ අවසර දෙන හෝ ඊට ආධාර අනුබල දීම මහේස්ත්රාත්වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් මිලියන එකකට නොවැඩි දඩයකට හෝ වසර 07ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ ගැනෙන වරදක් වන හෙයින් ද, ගරු කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා එකී වරද බැලූ බැල්මට ම සිදුකර ඇති බවට සාධාරණ සැකයක් මතු වීම.
(08) 2025.03.21 දිනැති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව විසින් ජනාධිපති ලේකම්ගේ පීඑස් / සීඑස් ඒ/00/1/4/12 අංක දරන 2025.01.21 දිනැති චක්‍ර ලේඛය අනුව ගරු කතානායකතුමාහට කැබිනට් අමාත්‍යවරයෙකුට සමාන වාහන හා ඉන්ධන දීමනා ලබා ගත යුතු බව තීරණය කර ඇති අතර, ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම් විසින් නිකුත් කරන ලද අංක 14/2025 දරන 2025.05.07 දිනැති පරිපාලන චක්‍රලේඛය අනුව 2025.05.02 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගරු කතානායකතුමාගේ පරිහරණය සඳහා උපරිම වශයෙන් නිල වාහන දෙකක් ද, එකී වාහන සඳහා උපරිම ඉන්ධන ලීටර් 900ක් ද විය යුතු වන නමුත්, ගරු කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා විසින් තම ධුරයේ බලතල යොදා ගනිමින් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙත අනිසි ලෙස බලපෑම් සිදු කරමින් තමාට නිල වශයෙන් හිමි වාහන දෙකට අමතරව, පාර්ලිමේන්තුව සතු WP NC 4923 දරන වෑන් රථය ඇතුළු තවත් පාර්ලිමේන්තුව සතු වාහන තම පෞද්ගලික පරිහරණයට භාවිත කරන අතර, ඉහතින් අනුමත ඉන්ධන දීමනාවන්ට අමතරව එකී රථ සඳහා ද ඉන්ධන ලබා ගැනීම.
(09) මීට පෙර හිටපු ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාහට අමාත්‍ය මණ්ඩලය විසින් ඔහුගේ ධූර කාලය සඳහා පමණක් පෞද්ගලික වන සේ මාධ්‍ය ඒකකයක් ස්ථාපනය කිරීමට අනුමැතිය ලබා දී තිබූ අතර, ඔහුගේ ධුර කාලය අවසන් වීමත් සමග එකී අනුමැතිය අවසන් වී තිබිය දී කිසිදු අනුමැතියකින් තොරව වර්තමාන ගරු කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා විසින් කතානායක මාධ්‍ය ඒකකය නමින් නීතිවිරෝධී ඒකකයක් පවත්වා ගෙන යමින් එකී ඒකකය සඳහා පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකයට අයත් උපකරණ අනීතිකව ලබා ගනිමින් එකී රථවාහන හා උපකරණ පාර්ලිමේන්තුවේ වියදමින් නඩත්තු කරමින් හිතාමතා දැන දැන ම සාපරාධී, සාවද්‍ය පරිහරණයක් හා රජයට මූල්‍යමය පාඩුවක් සිදු කරමින් සිටීම.
(10) ඉහත (9) හි සඳහන් අනුමැතියකින් තොර කතානායක මාධ්‍ය ඒකකය සඳහා අතීතයට බලපාන පරිදි නීත්‍යනුකූලභාවයක් ලබා ගැනීමට අසද්භාවයෙන් කටයුතු කරමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව ද නොමග යවමින් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අග්‍රාමාත්‍යතුමිය මගින් අමාත්‍ය මණ්ඩලය වෙත, මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත හා ජනාධිපති ලේකම්වරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීමට කටයුතු කළ ද එකී සියලු පුද්ගලයින් හා ආයතන ඒ සඳහා අනුමැතිය ලබා දීම සිදුකර නොමැති බව දැන දැන ම තවදුරටත් නීතිවිරෝධී හා අනීතික ආකාරයෙන් පාර්ලිමේන්තුව සතු වාහන හා උපකරණ එකී නීතිවිරෝධී කතානායක මාධ්‍ය අංශයේ භාවිතයට යොදා ගැනීම.
(11) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාට දිවා ආහාර ලබා ගැනීමේ පහසුව සලසා ඇත්තේ පාර්ලිමේන්තුවේ දෙවන මහලේ පිහිටි කතානායකවරයාට වෙන් කර ඇති දිවා ආහාර ගන්නා කාමරය තුළ වන අතර, කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට ආහාර ගැනීමට වෙන් කර ඇත්තේ විධායක නිලධාරීන්ගේ භෝජනාගාරය වන අතර, ඒ ඒ භෝජනාගාරවල පහසුකම් භුක්ති විඳීම වෙනුවෙන් පාර්ලිමේන්තුව මගින් අය කරනු ලබන මුදල ද වෙනස් වන අතර, එසේ තිබියදී වර්තමාන කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා තම පෞද්ගලික ලේකම් වමීර ප්‍රියසංඛ ගාල්ලගේ මහතා සමග කතානායකවරයාගේ පෞද්ගලික භෝජනාගාරය තුළ දිවා ආහාරය ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කතානායකවරයාගේ අමුත්තෙකු සඳහා අය කරනු ලබන මුදල කතානායකවරයා විසින් ගෙවනු ලැබිය යුතු වුව ද එසේ නොගෙවා එකී දිවා භෝජන පහසුකම් ලබා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත මූල්‍යමය වශයෙන් අලාභයක් සිදුකිරීම.
(12) පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරිකව පැවති කාරක සභා රැස්වීම් හා අනෙකුත් විශේෂිත කමිටු රැස්වීම් සඳහා සහභාගි විය හැක්කේ ඒ සඳහා සහභාගී වීමට බලයලත් මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තුවේ මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට හා බලයලත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් වන නමුත්, ගරු කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම් වමීර ප්‍රියසංඛ ගාල්ලගේ මහතාහට පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කරන පක්ෂ නායකයින් සහභාගී වන "පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව", පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කටයුතු පිළිබඳ සාකච්ඡා වන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව ඇතුළු කාරක සභා හා කමිටු රැස්වීම් සියල්ල සඳහා ම නිසි අනුමැතියක් හෝ බලයක් නොමැතිව සහභාගී වීම සඳහා ආධාර අනුබල දෙමින් කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හා සම්ප්‍රදායන් හිතාමතා හා චේතනාන්විතව ම උල්ලංඝනය කිරීම.
(13) 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් කතානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය, ඔහුගේ මාධ්‍ය ඒකකය හා එකී ඒකකයට ලබා දී ඇති බඩුබාහිරාදිය, ඔවුන්ගේ වැටුප් හා දීමනා හා ඔවුන් භාවිත කරන නිල රථ පිළිබඳව ඉදිරිපත් කර ඇති තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ ඇති ප්‍රතිපාදන අවභාවිත කරමින් වර්තමාන කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා විසින් හා ඔහුගේ උපදෙස් පරිදි ඔහුගේ පෞද්ගලික ලේකම් වමීර ප්‍රියසංඛ ගාල්ලගේ මහතා විසින් ඉහතින් දක්වන ලද 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව එකී තොරතුරු ලබා නොදෙන ලෙස පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීන් වෙත ලිඛිතව නියෝග කරනු ලැබීමෙන් එකී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම.
(14) ඉහත (13) හි සඳහන් ආකාරයෙන් කටයුතු කිරීම තුළින් ගරු කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා තමා විසින් සිදු කරනු ලබන රාජ්‍ය මුදල් අවභාවිතය හා රජයට මූල්‍යමය පාඩු සිදුකරමින් කරනු ලබන කටයුතු අධිකාරි බලය අවභාවිත කරමින් හෙළිදරව් වීම වැළැක්වීමට කටයුතු කිරීම මගින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ "දූෂණය" නැමති වරද සිදු කිරීම.
(15) කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් කටයුතු කළ ජී.කේ.ඒ. වමින්ද කුමාර කුලරත්න මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට තමා වෙත නැති බලයක් ආරෝපණය කර ගනිමින් රාජ්‍ය පරිපාලන හා මුදල් අමාත්‍යාංශයන්හි චක්‍ර ලේඛයන්හි විධිවිධානවලට පරිබාහිරව නීතිවිරෝධී ලෙස විමර්ශන නිලධාරියෙකු පත්කිරීමට කටයුතු කර, එකී විමර්ශන නිලධාරියාහට අනීතිකව රු. 274,975/-ක මුදලක් 2025.11.17 දිනැති පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවෙන් නිකුත් කරන ලද අංක 293566 දරන චෙක් පත මගින් පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවීම සඳහා පෙළඹවීමෙන් ද ඊට අතිරේකව එකී නීතිවිරෝධී විමර්ශන නිලධාරියා වෙත පාර්ලිමේන්තු ගිණුමෙන් ආහාර හා ප්‍රවාහන පහසුකම් ලබාදීමට උපදෙස් ලබා දීමෙන් ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ගිණුමෙන් එකී ප්‍රතිපාදන වැය කිරීමට සැලැස්වීම හේතුවෙන් ගරු කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුව සතු රජයේ මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීමෙන් රජයට මූල්‍යමය අලාභයක් සිදුකිරීම.
(16) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලය හා අනුබද්ධ කාර්ය මණ්ඩල වෙත දීර්ඝ කාලයක් තිස්සේ ලබා දෙන ලද දිරි දීමනා හා පහසුකම් කප්පාදු කිරීමට කටයුතු කිරීමෙන් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය තුළ තම රැකියාව පිළිබඳ තෘප්තිමත්භාවය නැති කිරීමට කටයුතු කිරීමට ඉඩ සැලසීමෙන්, කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කතානායක ධුරය කෙරෙහි තබා ඇති විශ්වාසය හා ගෞරවය පළුදු කරගෙන තිබීම.
(17) කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලබන අනීතික ඉල්ලීම් සඳහා ඉඩ ප්රස්ථා ලබා නොදෙන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් ස්ථාන මාරු කිරීමට හා ඔවුන් කැඳවා දෝෂාරෝපණයට ලක් කිරීමට කටයුතු කිරීම තුළින් පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පාලනයට අනීතිකව මැදිහත් වෙමින් කතානායකවරයා හා ඔහුගේ පෞද්ගලික ලේකම් වමීර ප්‍රියසංඛ ගාල්ලගේ මහතා "තමාට නොමැති බලයක් ආරෝපිතව කටයුතු කිරීම" මගින් ස්වාභාවික යුක්ති මූලධර්මයන් හිතාමතා හා චේතනාන්විතව ම උල්ලංඝනය කිරීම.
(18) පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වාර්තාවක් සකස් කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ උපදෙස් පරිදි මීට පෙර කමිටුවක් පත්කර ඒ සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැය කර වාර්තාවක් සකස් කර තිබියදී වර්තමාන කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා විසින් එකී වාර්තාව ප්‍රමාණවත් නොවන හා පිළිගත නොහැකි බවට හේතු දක්වමින් අත්තනෝමතික ලෙස ප්‍රකාශ කර කාර්ය මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා නව වාර්තාවක් සකස් කිරීමට විශ්‍රාමලත් නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර, එකී නව ත්‍රිපුද්ගල කමිටු වාර්තාව සඳහා පාර්ලිමේන්තු ගිණුමෙන් රු. 3,262,477.42ක (රුපියල් තිස් දෙලක්ෂ හැට දෙදහස් හාරසිය හැත්තෑ හතයි සත හතළිස් දෙකක්) මුදලක් වැය කිරීමට කටයුතු කර පාර්ලිමේන්තු ගිණුමට හිතාමතා හා චේතනාන්විතව ම අලාභයක් සිදු කිරීම.
(19) ඉහතින් සඳහන් කරන ලද නීතිවිරෝධී හා දූෂණ ක්‍රියා එකක් හෝ කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව බීසී/0356/2026 බී - 206 අංක දරන විමර්ශනය ආරම්භ කර ඇත. එකී පරීක්ෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරින් විසින් මේ වන විට ප්‍රකාශ හා ලිපිලේඛන සාක්ෂි වශයෙන් ලබා දී ඇති අතර, ඉදිරියේදී ද තවදුරටත් එකී විමර්ශනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරීන්ගෙන් ප්‍රකාශ හා සාක්ෂි ලබා ගැනීමට නියමිතව ඇත. එම නිසා (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මෙම පාර්ලිමේන්තුවේ කතානායක ධූරය දැරීම මෙකී විමර්ශනය අපක්ෂපාතීව, බලපෑමකින් තොරව හා විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීමට බාධාවක් වීම.
(20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉහත (19)හි සඳහන් විමර්ශනය සිදු කරමින් තිබියදී ගරු කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ප්‍රියසංඛ ගාල්ලගේ මහතා එකී විමර්ශනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්ගෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කිරීම හේතුවෙන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ පරීක්ෂණ සඳහා මැදිහත් වීමක් හා බලපෑමක් කිරීම හා/හෝ ඊට ආධාර අනුබල දීම නමැති වරද සිදුකර ඇති හෙයින් ද; හා ඒ සම්බන්ධයෙන් ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එකී පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් AC/0695/2026 යන අංකය යටතේ විමර්ශනයක් ද ආරම්භ කර තිබීම.
(21) එබැවින්, පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන කතානායකතුමා යටතේ සේවය කරන නිලධාරින්ට එතුමා සම්බන්ධයෙන් සාක්ෂි හා තොරතුරු ලබාදීමේදී අපක්ෂපාතී හා ස්වාධීනව කටයුතු කිරීමට හැකි වේ ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් ඇති විය හැකි බැවින් ගරු කතානායකතුමා හෝ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වෙතින් අදාළ විමර්ශනය සඳහා තොරතුරු හෝ සාක්ෂි ලබා දෙන පාර්ලිමේන්තු මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්හට බලපෑමක් සිදු කිරීමට ඉඩකඩක් තිබීම.
(22) මේ අනුව දැනටමත් කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ හා ඔහුගේ පෞද්ගලික ලේකම්ගේ නීතිවිරෝධී මැදිහත්වීම මෙම විමර්ශනය සඳහා සිදුවන බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වී ඇති හෙයින්, කතානායකතුමා හෝ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසින් මෙකී විමර්ශනයට අදාළව සාක්ෂි ලබා දෙනු ලබන පාලන අංශයේ, මූල්‍ය අංශයේ හා ප්‍රවාහන අංශයේ නිලධාරීන් කතානායක කාර්යාලයට ගෙන්වා ගැනීමටත්, දුරකතන මාර්ගයෙන් ඔවුන් වෙත මෙකී විමර්ශනය සම්බන්ධයෙන් යම් යම් බලපෑම් සිදු කිරීමත් කරනු ලබන බව දැන ගැනීමට ලැබී තිබීම.
(23) දූෂණ විරෝධී පනතේ 3(4) සහ 3(5) වගන්ති අනුව කොමිෂන් සභාවේ බලතල හෝ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම හෝ කිරීමට මැදිහත් වීම හෝ මැදිහත්වීමට තැත් කිරීම බරපතළ වරදක් වන හෙයින්, තමා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන අවස්ථාවකදී හා එකී විමර්ශනයට අවශ්‍ය තොරතුරු හා සාක්ෂි ලබා දෙන නිලධාරීන් තමා යටතේ සේවය කරනු ලබන අවස්ථාවකදී, එමෙන් ම එකී නිලධාරීන්ට සාක්ෂි සම්බන්ධයෙන් ඍජු බලපෑම් එක එල්ලේ සිදුවන බවට කරුණු පවතින අවස්ථාවකදී වර්තමාන කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා තවදුරටත් උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කතානායක ධූරය දැරීම නීත්‍යනුකූලව හා සදාචාරාත්මකව අයිතියක් නොතිබීම.
එහි තවත් චෝදනා 27ක් ඇතුළත් වේ.
කතානායක පාර්ශවයේ ප්‍රතිචාරය
මේ සම්බන්ධයෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ පාර්ශවයේ ප්‍රතිචාරය විමසා බැලීමු.
ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ ප්‍රකාශ කළේ, අදාළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නේ නම් ඊට කැමැත්තෙන් මුහුණ දීමට කතානායකවරයා අපේක්ෂාවෙන් සිටින බව ය.
ඔහු පෙන්වා දුන්නේ, අදාළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් චෝදනාවලින් බහුතරයක් හිටපු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න විසින් ගොනු කරන ලදුව දැනට අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ බව ය.
අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ චෝදනා විශ්වාසභංග යෝජනාවකට ඇතුළත් කළ නොහැකි බව කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සඳහන් කළේ ය.
"ඒ නඩුවේ තියෙන කරුණු 30ක් පමණ ප්‍රමාණයක් මේ වෙනකොට ඔය විශ්වාසභංගයේ තියෙනවා. එතුමාලා ඔය චෝදනා කරන බෙඩ්ෂීට් අරන් යන එක, එතකොට කෑම කන සිද්ධිය, වාහන භාවිතාව, මාධ්‍ය භාවිතාව ඔය සියල්ල ම ඒ චෝදනා ගොනුවෙත් තියෙනවා. ඒ හින්දා ඒවා ඒකෙ 91(F) කියන එක ඔබතුමා අරන් කියවලා බලන්න, ඒකෙ පැහැදිලිව ම තියෙනවා අධිකරණයට, ඒ කියන්නෙ භාජනය වෙමින් පවතින කිසි දෙයක් යෝජනාවක ඇතුළත් වෙන්න බෑ කියලා. ඒකයි මම කියන්නෙ. තීන්දුව එනකන්, ඔව්, තීන්දුව එනකන්. නැතුව අපි ඒකට බය නෑ කොහොමත්. අපි අපි වංචා කරල නෑනෙ."



































