ඔබේ පිඟානට කොපමණ ආහාර ප්‍රමාණයක් බෙදා ගත යුතු ද?

    • Author, සාරා බෙල්
    • Role, බීබීසී ලෝක සේවය ගෝලීය සෞඛ්‍ය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ප්‍රමාණයෙන් විශාල සෝඩා බෝතල්, විශාල බර්ගර් වර්ග සහ කෑමවලින් පිරුණු පිඟන්. පසුගිය වසර 50 පුරා ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ස්ථූලභාවයේ අනුපාත සමග ම ආහාර වේලේ ප්‍රමාණයන් ද වර්ධනය වෙමින් පවතී.

නමුත් ආහාර කර්මාන්තයෙන් හමුවන බොහෝ රසවත් ආහාර හමුවේ අප සෞඛ්‍ය සම්පන්නව සිටින බව හා අධික ලෙස ආහාර නොගන්නා බවත් සහතික කර ගන්නේ කෙසේ ද?

මෙම වෙනස විශේෂයෙන් ම කැපී පෙනෙන්නේ, 1980 ගණන්වල සිට ආහාර වේලේ ප්‍රමාණයන් විශාල වීමට පටන් ගත් ඇමෙරිකාව තුළ වන අතර, නිවසින් බැහැරව ආහාර ගැනීම වර්ධනය වීම සහ ඒ ඔස්සේ ආපන ශාලා අතර ඇති වූ තරගකාරීත්වය ඊට හේතුව යි.

"පැස්ටා අලෙවි කරන එක් ස්ථානයක් කුඩා පැස්ටා පිඟනක් විකුණනවා නම්, තවත් ආපන ශාලාවක් ඊට වඩා විශාල ප්‍රමාණයක් ලබා දුන්නොත්, මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ විශාල ප්‍රමාණයේ එක දෙන තැනට යාමට යි," නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලිසා යං The Food Chain වැඩසටහනට කියා සිටියා ය.

''ආහාරවල මිලත් හරි ම අඩු වුණා. ඉතිං ආහාර මිල ගණන් අඩු වුණහම ඔබට දෙගුණයක ප්‍රමාණයක් ලබා දී අමතර ගාණක් අය කිරීම නිෂ්පාදකයාට වාසිදායක යි. ඔබ හිතන්නේ ඔබට අඩු මිලට ලැබෙනවා කියලා. ඔවුන් වැඩිපුර සල්ලි උපයා ගන්නවා,'' ඇය පැහැදිලි කළා ය.

බ්‍රසීලය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම ප්‍රවණතා දක්නට ඇතැයි සාඕ පවුලෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාර්ලේ අල්වරෙන්ගා පවසයි.

''ඒක ගොඩක් වෙලාවට සිදුවෙන්නේ ඇසුරුම් කරන ලද සහ සකසන ලද ආහාර සම්බන්ධයෙන් තමයි. අපගේ සාම්ප්‍රදායික ආහාර වන බත්, බෝංචි හෝ මාළු සහ මඤ්ඤොක්කා පිටි වගේ ආහාරවල මෙලෙස ප්‍රමාණයන් විශාල වීමක් ඔබට දකින්න ලැබෙන්නේ නැහැ," ඇය පවසයි.

මෙය බොහෝ දුරට සිදුවන්නේ ආහාර පද්ධතියේ ඇමෙරිකානුකරණය නිසා බව ආචාර්ය යන්ග් පවසයි.

"මැක්ඩොනල්ඩ්ස් හෝ ඇතැම් කැන්ඩි බාර් වගේ මෙම ඇමෙරිකානු පැලැන්තියේ ආහාර වෙනත් රටවලට ව්‍යාප්ත වන විට ඒවා ප්‍රමාණයන් විශාල වෙන්න පටන් ගන්නවා. ඔබ අධිසැකසූ ආහාර කෑමට ගන්නා විට ඔබ අමතර කැලරි 500ක් ආහාරයට ගන්නවා."

විශාල ආහාර වේලක් කියන දෙයින් අදහස් කරන්නේ ඔබ වැඩිපුර ආහාර ගන්නවා කියන එක ද?

වඩාත් ම ශක්තිමත් පර්යේෂණවලින් සොයාගෙන ඇති කරුණක් වන්නේ, මිනිසුන්ට විශාල ආහාර වේලක් පිළිගැන්වූ විට ඔවුන් වැඩිපුර ආහාර ගන්නා බව යැයි අප වෙත අදහස් දැක්වූ මනෝවිද්‍යාඥයෙක් පැවසීය. එක් විශ්ලේෂණයකට අනුව, ආහාර වේලක ප්‍රමාණය දෙගුණ කළ විට මිනිසුන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා 35%ක ප්‍රමාණයක් වැඩියෙන් ආහාරයට ගනියි.

''බොහෝවිට මිනිස්සු තමන්ගේ පිඟානේ තිබෙන සියල්ල ආහාරයට ගන්නේ නැති නිසා මේක ඔවුන් තමන්ගේ පිඟානේ ඇති සියල්ල ආහාරයට ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් ම නෙමෙයි. නමුත් ආහාර වේලක ප්‍රමාණය විශාල වන විට, මිනිසුන් අවසානයේදී පරිභෝජනය කරන සමස්ත ආහාර ප්‍රමාණය ද ඉහළ යන බව අප දන්නවා," ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෙනී වර්ටේනියන් පවසයි.

ගැටලුවේ විශාලතම කොටස වන්නේ අපගේ බඩවැල් නිශ්චිත ප්‍රමාණය නොපවසන බැවින් අපට සුදුසු නිවැරදි ආහාර ප්‍රමාණය කොපමණ දැයි හඳුනා ගැනීමට අපහසු වීම බව මහාචාර්යවරයා පවසයි. අපට ඒ පිළිබඳ නිශ්චිත වැටහීමක් නොමැති විට අපි ආහාර ප්‍රමාණය මාර්ගෝපදේශය ලෙස භාවිත කරයි.

"අපි බොහෝවේලාවට බඩගින්න දැනෙන හෝ බඩ පිරී ඇති බවක් දැනෙන අවස්ථාව හඳුනා ගන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ඉන්නේ ඒ දෙකෙහි ම අතරමැද කලාපයක. ඒක නිසා විවිධ සාධක මගින් අපට පසුවෙන් ම බලපෑම් කරන්න පුළුවන්," මහාචාර්ය වර්ටේනියන් පවසයි.

කුඩා ආහාර බඳුනක් භාවිත කිරීම උපකාරී විය හැකි ද?

පිඟානේ ප්‍රමාණය අඩු කිරීම පහසු විසඳුමක් විය හැකි යැයි බව කාලයකදී සිතුවේ ය. මෙයින් අදහස් කරන්නේ ඔවුන් අඩු ආහාර ප්‍රමාණයක් රඳවා තබා ගන්නා අතර දෘශ්‍ය මායාවක් ලබා දෙන බව ය. ඔබ කුඩා පිඟානකට එම ප්‍රමාණය ම තැබුවහොත්, එය ආහාර ගොඩක් මෙන් පෙනෙනු ඇත, පිරුණු බවක් දැනෙනු ඇති අතර අඩුවෙන් ආහාර ගැනීමට පෙළඹෙනු ඇත.

නමුත්, මෙම න්‍යායට පර්යේෂණවල සාක්ෂි මගින් සහය ලබා නොදෙයි.

''පිඟානේ ප්‍රමාණය විතරක් මිනිසුන්ගේ ආහාර පරිභෝජනයට කිසිදු බලපෑමක් එල්ල කරන්නේ නැහැ, ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ අමතර ආහාර තියෙනවා ද කියන එකයි" ආහාර ගැනීම සහ බර පිළිබඳ මනෝවිද්‍යා විශේෂඥ මහාචාර්ය වර්ටේනියන් පවසයි.

මෙයින් අදහස් කරන්නේ, ආහාර බෙදන බඳුන මේසය මත පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක තිබේ නම්, පිඟානේ ප්‍රමාණය කුමක් වුවද මිනිසුන් තමන්ට අවශ්‍ය පරිදි ආහාර බෙදා ගන්නා බවයි.

මිනිසුන්ට සැබවින් ම අවශ්‍ය වන්නේ කොටසක් පිළිගැන්වීමයි, පසුව ඉතිරිය නොපෙනෙන ලෙස ඇසුරුම් කිරීමයි. "දෙවන අවස්ථාවේදී බෙදා ගන්න බැරිවෙන විදිහට ඒක ඉවත් කරන්න," මහාචාර්යවරයා පවසයි.

ඔබේ ආහාර වේලේ ප්‍රමාණය පාලනය කළ යුතු වන්නේ කෙසේ ද?

මිනිසුන්ට කළ හැකි වැදගත් ම දෙය නම් ඔවුන්ගේ කුසගින්න ගැන අවබෝධයෙන් සිටීම සහ ඔවුන් ආහාරයට ගන්නා දේ ගැන වඩාත් දැනුවත් වීම බව විශේෂඥයෝ පවසති.

''මිනිස්සු තමන්ගේ පිඟානේ තිබෙන දේ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. මිනිසුන් තමන්ගේ බඩගින්න හඳුනා ගන්නේ නැහැ. තමන්ගේ බඩ පිරී ඇත්ද නැද්ද යන්න ගැන ඔවුන් අවධානය යොමු කරන්නේ නැහැ," නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලිසා යං පවසයි.

ආහාර වේල වෙනස් කිරීම යනු ජනතාව දැනුවත් විය යුතු තවත් දෙයක් වන අතර විශාල වශයෙන් ආහාර ලබා ගැනීමේ හැකියාව සාමාන්‍යකරණය වීම යනු මිනිසුන් සැලකිලිමත්වන දේ සාමාන්‍යකරණය වීමය.

"මගේ උපදෙස වන්නේ සැලකිල්ල යොමු කරන්න කියන එකයි. ලේබලය දෙස බලන්න, මෙහි ප්‍රමාණය දෙස බලන්න. අලෙවිකරණය සහ සෑම දෙයකින්ම කර්මාන්තය කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට උත්සාහ කරන්න," ආහාර ගැනීමේ හැසිරීම පිළිබඳ විශේෂඥයෙකු වන බ්‍රසීලයේ සාඕ පවුලෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මාර්ලේ අල්වරෙන්ගා පවසයි.

කෙටි ආහාර ගැන කුමක් කිව හැකි ද?

"ඔබට ඇපල් ගෙඩියක්, පලතුරු කැබැල්ලක් හෝ ඇසුරුම් නොකළ ආහාර වැනි සම්පූර්ණ ආහාරවේලක් තිබේ නම්, ඔබ අනුභව කරන ප්‍රමාණය එතරම් වැදගත් නොවේ, මොකද ඒක සෞඛ්‍ය සම්පන්නයි," ආචාර්ය යං පවසයි.

නමුත් ඔබ ලේබලයක් සහිත ඇසුරුම් කළ ආහාරයක් තෝරා ගන්නේ නම්, එහි සම්මත ආහාර ප්‍රමාණය සඳහන් කර ඇත. උදාහරණයක් ලෙස, එක් ඇසුරුමක ආහාර වේල් හතරක් තිබිය හැක. ඔබ එම ආහාරය ඇසුරුමෙන් ඉවතට ගෙන ඔබ සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා ප්‍රමාණය සමඟ එය සසඳා බැලිය යුතුයි.

"මිනිසුන් කියයි 'මම උදෑසන ආහාරය සඳහා ලබා ගන්නේ කුඩා ධාන්‍ය බඳුනක් විතරයි' කියලා. නමුත් ඔවුන් කන ප්‍රමාණය වෙනත් බඳුනකට දමන ලෙස ඔබ පවසන විට සහ ලේබලයේ ඇති සම්මත ප්‍රමාණය සමඟ සසඳා බලන විට ඔවුන් එම ප්‍රමාණය වගේ තුන් ගුණයක් ආහාරයට ගන්නවා" ඇය පවසයි.

"ඒ සම්මත කොටස ඉවතට අරගෙන ඇස් ඇරලා බලන්න. ඊට පස්සේ කියන්න, 'මගේ පිඟානේ, මගේ බඳුනේ කොච්චර කෝප්ප ගානක් තියෙනවද කියලා?' ඒක උදව් වෙනවා."