ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබේ අවධානය දුරකතනය නිසා නිතර ම ගිලිහී යනවා ද? ඒත් එහෙම වෙන්නේ ඇයි?
- Author, තාරක සම්මාන්
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 10
ඩිජිටල් තාක්ෂණය අපගේ එදිනෙදා කාර්යයන් පහසු කළ ද එය එක් කාර්යයක් වෙත දිගු වේලාවක් අපගේ අවධානය යොමු කර තබා ගැනීමේ හැකියාව අභියෝගයක් බවට පත් කර ඇති බව දැන් මට වඩ වඩාත් දැනෙන්නට පටන් ගෙන තිබේ.
'නොටිෆිකේෂන්ස්' මේ සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර, සමාජ මාධ්‍ය නිතර පිරික්සා බැලීමට සිත තුළ ඇති වන දැඩි පෙළඹීම ද ඊට බලපායි.
විටෙක එය ස්මාර්ට් ජංගම දුරකතනයට සමාජ මාධ්‍ය වෙතින් ලැබෙන දැනුම්දීමකි. තවත් විටෙක පරිගණක තිරය මත දිස්වන නව ඊමේල් පණිවිඩයක් පිළිබඳ දැනුම් දීමකි. එසේත් නැතිනම්, අසුනෙන් නැගිට මදක් ඇවිදින ලෙස සිහිපත් කරමින් ස්මාට් ඔරලෝසුවෙන් ලැබෙන දැනුම් දීමකි.
යමක් කියවන විට, චිත්‍රපටයක් නරඹන විට, එසේත් නැත්නම් ඉවුම් පිහුම් කරන විට පවා, එම කාර්යය මොහොතකට නතර කර දුරකතනය පරීක්ෂා කිරීම හෝ බොහෝ විට සමාජ මාධ්‍ය වෙත යොමු වීම එහි අවසාන ප්රතිඵලයයි.
ඩිජිටල් තාක්ෂණය නිසා අපගේ අවධානය ඇත්තෙන් ම අඩු වෙමින් පවතිනවා ද? නැතහොත් නිරන්තරයෙන් දුරකතනය පරීක්ෂා කිරීම සහ එක් කාර්යයකින් තවත් කාර්යයකට මාරු වීම අපගේ අවධානය යොමු කරන ආකාරය වෙනස් කර තිබෙනවා ද?
මේ ගැන විද්‍යාව පවසන්නේ කුමක් ද? අවධානය වෙනතකට යොමු කරන මෙම ඩිජිටල් සාධක අපට බලපාන්නේ කෙසේ ද? ඒ වගේ ම, වැඩි වේලාවක් එක ම කාර්යයක් වෙත අවධානය යොමු කර තබා ගැනීමට අපට කළ හැක්කේ කුමක් ද?
'ඇත්ත ම කියන්න!'
මෙම අත්දැකීම මා පමණක් අත්විඳින්නක් ද යන්න දැනගැනීමට මම සරල ප්‍රශ්නයක් මගේ ෆේස්බුක් ගිණුමේ පළ කළෙමි.
"ඇත්ත ම කියන්න! ඔයා අවසන් වරට පොතක්, ලිපියක් හෝ වෙනත් දෙයක් දුරකතනය පරීක්ෂා නොකර විනාඩි 20ක් එක දිගට කියෙව්වේ කවදා ද? අද ද? පසුගිය සතියේ ද? නැත්නම් එහෙම අවස්ථාවක් මතකවත් නැද්ද?"
ඊට ලැබුණු ප්‍රතිචාර මා මවිතයට පත් කළේ ය. මේ අත්දැකීමෙන් මා තනි වී නැති බව ඒවායින් මට හැඟී ගියේ ය.
"මතක නෑ," පරිශීලකයින් කිහිප දෙනෙකු ප්‍රතිචාර දක්වා තිබිණි.
කෙසේ වෙතත්, ඩිජිටල් තාක්ෂණය තමන්ට ඇති කරන බලපෑම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් ද ඒ අතර වූහ. ඔවුන්ගෙන් ඇතැමෙක් දවසේ නිශ්චිත වේලාවක් දුරකතනයෙන් ඈත්ව ගත කරමින්, එම කාලය තුළ දුරකතනයට තම අවධානය බිඳ දැමීමට ඉඩ නොදී කියවීමට යොදා ගන්නා බව පැවසූහ.
"හොඳ ප්‍රශ්නයක්. ඇත්තට ම, මම නිතර නිතර දුරකතනය පරීක්ෂා කරන, ඒ වගේ ම සමාජ මාධ්‍යවල නිමක් නැතිව කාලය ගත කරන කෙනෙක්. ඒක ඉතා ම නරක පුරුද්දක් බව දැනගෙන හිටියත් එහෙම කරන්න පෙළඹෙනවා.
"නමුත් මෑතක සිට මම පොත් කියවීමේ පුරුද්ද ඇති කරගන්න දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කළා. ඒ මගේ ම යහපත වෙනුවෙන්. ඒ හරහා කාලයත් සමග සමාජ මාධ්‍යවල නිමක් නැතිව සැරිසරන පුරුද්දෙන් මිදෙන්න මට හැකි වෙයි කියලා මම හිතුවා.
"ඒ ගැන දැඩි අධිෂ්ඨානයකින් හිටපු නිසා, කියවන අතරතුර මගේ අවධානය වෙනතකට යොමු නොවීමට මම වගබලා ගත්තා. ඒ ගැන මම මට ම දැඩි නීති පනවා ගත්තා. ඒ නිසා දුරකතනය පරීක්ෂා නොකර, කියවන දේට අවධානය යොමු කරගෙන ඉන්න මට හැකි වුණා.
ඒ වගේ ම, කියවන අතරතුර දිගට ම ඒ ගැන උනන්දුවෙන් ඉන්න පුළුවන් වෙන්න, මම කැමති සහ රසවත් පොත් තෝරාගන්නත් වගබලා ගන්නවා. ඒ මොන වර්ගයේ පොතක් වුණත් කමක් නැහැ," පරිශීලකයෙක් ලිවීය.
නමුත් තවත් පිරිසක් පැවසුවේ, දුරකතනය හේතුවෙන් අවධානය වෙනතකට යොමු වීමට ඉඩ නොදී, බාධාවකින් තොරව කියවීමේ යෙදීමට තමන්ට හැකි බව ය.
"පෙරේදා [කියෙව්වේ]. ඒත් ඇත්තට ම විනාඩි 30-40කට වඩා ෆෝන් එක නොබලා ඉන්න අමාරුයි," තවත් අයෙක් ලිවීය.
වෙනත් පරිශීලකයෙකු සඳහන් කර තිබුණේ, කියවීමේදී තමන් ජංගම දුරකතන යෙදුමක සහය ලබා ගන්නා බව ය.
අවධානය පවත්වා ගැනීමේ හැකියාව අඩු වෙලා ද?
කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ අර්වයින්හි මනෝවිද්‍යාඥ ආචාර්ය ග්ලෝරියා මාක් පවසන පරිදි, සේවා ස්ථානවලදී මිනිසුන් තිර භාවිත කරන ආකාරය පිළිබඳ ඇයගේ නවතම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ, වර්තමානයේ අපගේ සාමාන්‍ය අවධානය රඳවා ගත හැකි කාලසීමාව තත්පර 47ක් පමණක් බව ය.
2004 වසරේදී ඇයගේ කණ්ඩායම මෙවැනි ම අධ්‍යයනයක් සිදු කළ අවස්ථාවේදී (එකල කිසිවෙකුට ස්මාට් දුරකතන නොතිබූ අතර TikTok වැනි දෙයක් ද නොතිබූ කාලයක), වෙනත් දෙයකට අවධානය යොමු කිරීමට පෙළඹීමට පෙර අපට යම් කාර්යයක් වෙත මිනිත්තු දෙකහමාරක් පමණ අවධානය යොමු කරගෙන සිටීමට හැකි වී තිබේ.
එය එසේ වුව ද බීබීසී Science Focusහි පළ වූ '6 simple, science-backed ways to fix your broken attention span' ලිපිය සම්පාදනය කළ මනෝවිද්‍යාව පිළිබඳ මාධ්‍යවේදිනියක වන සොෆී ෆ්රීමන් සඳහන් කරන පරිදි මෙම සංඛ්‍යාලේඛනවලට සීමා තිබේ.
"වාර්තාවක් සකස් කිරීමේදී අපගේ අවධානය ක්‍රමයෙන් අඩු වීමෙන් අදහස් වන්නේ සමස්තයක් ලෙස අපගේ අවධානය යොමු කිරීමේ හැකියාව බිඳ වැටෙමින් පවතින බව නොවේ.
"මන්ද, රසවත් ඕපාදූපයක් ඇතුළත් දිගු පණිවිඩයක් ඔබට ලැබුණහොත්, එය කියවීමට අවශ්‍ය තරම් වේලාවක් පූර්ණ අවධානය යොමු කිරීමට ඔබට හැකි වන බැවිණි," ඇය එහි සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා හා උපදේශන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රන්සිරිණි ද සිල්වා සමග සම්මුඛ සාකච්ඡාවක නිරත වීමි.
ඇය සඳහන් කරන පරිදි අවධානය යොමු කිරීම යනු තනි හැකියාවක් පමණක් නොවේ. මනෝවිද්‍යාව තුළ එය යම් දෙයක් කෙරෙහි දිගු වේලාවක් අවධානය පවත්වා ගැනීම, තෝරාගත් දෙයක් වෙත අවධානය යොමු කිරීම සහ අවධානය පාලනය කිරීම ලෙස විවිධ අංශවලින් හඳුනා ගැනේ.
අපගේ අවධානය යොමු කිරීමේ හැකියාවට අභිප්‍රේරණය, උනන්දුව, මානසික තත්ත්වය, නින්ද සහ අප සිටින පරිසරය වැනි සාධක බලපාන බව ඇය පවසයි.
"කෙනෙක් ගත්තා ම යම් කාර්යයක් කරන්න අවධානය තියා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොතක් කියවනකොට, ගැඹුරු දෙයක් ඉගෙන ගන්නකොට අවධානය තියාගන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනාට ම චිත්‍රපටයක්, යම්කිසි රසවත් දෙයක් පැය දෙකක් විතර බලන්න පුළුවන්," ආචාර්යවරිය පැහැදිලි කරයි.
ඇය පෙන්වා දෙන්නේ, ඇතැම් පර්යේෂණ මගින් මිනිසුන් ඩිජිටල් කාර්යයන් අතර පෙරට වඩා නිතර මාරු වන බව පෙන්වා දී තිබුණ ද එමගින් මිනිසුන්ගේ අවධානය යොමු කිරීමේ මූලික හැකියාව ස්ථිරව ම අඩු වී ඇති බවක් අදහස් නොවන බව ය.
"ස්මාට්ෆෝන් භාවිතයත් එක්ක අපේ අවධානය නිතර නිතර බාධාවට ලක්වන බවට සාක්ෂි තියෙනවා. ඒ වුණාට මිනිස්සුන්ට අවධානය රඳවා තියා ගන්න පුළුවන් කාලය පොදුවේ අඩුවෙනවා කියලා නිගමනය කරන්න තාම ඒ තරම් සාක්ෂි නැහැ.
"අවධානය පවත්වාගෙන යාමේ මූලික හැකියාව අපට තවමත් තිබෙනවා. ඒක නැති වෙලා නැහැ.
"නමුත් අපේ අවධානය වෙනතකට යොමු වීමේ ප්‍රවණතාව වැඩි වෙලා තියෙනවා. එවිට අපි එක කාර්යයකින් තවත් කාර්යයකට මාරු වෙලා, නැවත කලින් කරමින් සිටි කාර්යයට යොමු වන විට ඒ සඳහා විශාල උත්සහයක් දරන්න සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී අපි අධෛර්යමත් වෙන්නත් පුළුවන්," ඇය සඳහන් කරයි.
ආචාර්යවරිය පවසන පරිදි දැනුම්දීමකට (notification) ප්‍රතිචාර නොදැක්වුව ද එය ලැබීම පමණක් වුවත් පුද්ගලයෙකුගේ කාර්යසාධනයට බාධා කළ හැකි බව පර්යේෂණාත්මක අධ්‍යයනවලින් පෙනී යන බව ය.
එසේ වුව ද, දුරකතනය නිහඬ කළ විට පවා අපගේ සිත තුළ විවිධ බාධා ඇති විය හැකි බව ඇය පෙන්වා දෙයි.
"නොටිෆිකේෂන්ස් කියන්නේ බාහිරින් ඇති වන බාධාවක්. අපි දුරකථනය සයිලන්ට් කළත්, 'ඩූ නොට් ඩිස්ටර්බ්' හෝ 'එයාර්ප්ලේන් මෝඩ්' දැමුවත්, අපේ හිත ඇතුළේ බාධා ඇති වෙන්න පුළුවන්. කවුරු හරි මට කෝල් එකක් දීලා ද? සමාජ මාධ්‍යවල මොනවා හරි වෙලා ද? නැත්නම් මට පණිවිඩයක් ඇවිත් ද? කියලා අපට හිතෙන්න පුළුවන්," ඩිජිටල් තාක්ෂණය නිසා අවධානයට ඇති වන අභ්‍යන්තර බාධා ගැන පැහැදිලි කරමින් ඇය පවසයි.
නැවත නැවතත් දුරකතනය පරීක්ෂා කිරීමට අප පෙළෙඹෙන්නේ ඇයි?
මා මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ පරිදි, යම් කාර්යයක් වෙත අවධානය යොමු කරගෙන සිටින අතරතුර පවා දුරකතනය පරීක්ෂා කිරීමට මා තුළ ඇති වන පෙළඹීම ඔබත් අත්විඳ ඇති බව සිතමි.
ඇතැම් විට පරිගණකයේ යම් කාර්යයක නිරතව සිටියදී පවා සමාජ මාධ්‍ය වෙත ගොස් එහි අන්තර්ගතයන් උඩ පහළ පිරික්සීම අපගේ සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව තිබේ.
එය හුදෙක් පුරුද්දක් ද, නැතිනම් ඊට වඩා ගැඹුරු මානසික හේතු තිබේ ද?
නමුත් දැනුම්දීමක් ලැබුණු විට පමණක් නොව, එවැනි කිසිදු සංඥාවක් නොමැති අවස්ථාවලදී පවා දුරකතනය පරීක්ෂා කිරීමට අප පෙළඹෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
2023 වසරේ පළ වූ අධ්‍යයනයකදී, පර්යේෂකයන් මෙම හැසිරීම 'ස්වයංසිද්ධ දුරකතන පරීක්ෂා කිරීම' (Spontaneous Smartphone Checking) ලෙස හඳුන්වා දී තිබේ. එනම්, නිශ්චිත අරමුණක් නොමැතිව හෝ බාහිර දැනුම්දීමකින් තොරව, ස්වයංක්‍රීයව මෙන් තම අවධානය දුරකථනය වෙත යොමු කිරීමයි.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, විවේකීව සිටින විට, යමක් දෙස බලා සිටින විට හෝ අවධානය යොමු කළ යුතු කාර්යයක් නොමැති අවස්ථාවලදී මෙවැනි හැසිරීමක් ඇති විය හැකි බවයි.
ඔවුන් මතු කරන තවත් අදහසක් වන්නේ, දුරකතනය පරීක්ෂා කිරීමට ගත කරන කාලය, අප මීට පෙර අපගේ සිතුවිලි සමග තනිව ගත කළ කාලය වෙනුවට ආදේශ විය හැකි බව ය.
ආචාර්ය රන්සිරිණි පවසන පරිදි මෙය චර්යාත්මක මනෝවිද්‍යාව මගින් පැහැදිලි හැකි ය.
දුරකතනය දෙස නිතර බලන හැසිරීම කාලයත් සමග ස්වයංක්‍රීය පුරුද්දක් බවට පත් වන බව ඇය පෙන්වා දෙයි. නමුත් ඊට තවත් හේතු මුල් විය හැකි බව ඇය සඳහන් කරයි.
ස්මාට් දුරකතන වැනි උපකරණ භාවිතයේදී රසවත් යමක් දැකීමෙන් සතුටක් හෝ තෘප්තියක් ලැබෙනු ඇතැයි අප තුළ අපේක්ෂාවක් ඇති වන අතර සෑම අවස්ථාවකදී ම එවැනි දෙයක් හමු නොවුණ ද, ඇතැම් අවස්ථාවලදී එවැනි ප්‍රතිලාභයක් ලැබීමේ හැකියාව නිසා අප නැවත නැවතත් දුරකතනය පරීක්ෂා කිරීමට පෙළඹෙන බව ඇය පවසයි.
"ස්මාට්ෆෝන් භාවිතයේ තියෙනවා සූදුවේ නිරත වීමට සමාන දෙයක්. හැම තිස්සේ ම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. හැබැයි යම් කිසි වෙලාවක ලැබෙන්න පුළුවන්. කොයි වෙලේ ලැබෙයිදෝ කියලත් අපි දන්නේ නැහැ," ආචාර්යවරිය පෙන්වා දෙයි.
"අනිත් එක තමයි අපි ෆෝන් එක දිහා බලන්නේ ඒක හැම වෙලේ ම රසවත් නිසා ම නෙවෙයි. අපි කරන කාර්යය අපහසු නිසා, අපිට මනසට පීඩනයක් දැනෙනවා, අපි ඒකෙන් තාවකාලිකව මිදෙන්න අපි දුරකතනය බලන්නත් පුළුවන්," අනෙක් හේතුව සඳහන් කරමින් ඇය සඳහන් කරයි.
ආචාර්යවරිය පෙන්වා දෙන්නේ, මෙය ස්වයං පාලනයක් නැතිකම නිසා ම සිදුවන්නක් නොව අප හදාගත් පුරුදු, ප්රතිලාභ අපේක්ෂාව, හැඟීම් කළමනාකරණය සහ ජීවත්වන පරිසරය යන සියලු සාධකවල එකතුවක් බව ය.
අවධානය බිඳ වැටීම අපේ එදිනෙදා ජීවිතයට බලපාන්නේ කෙසේ ද?
මෙහි බලපෑම මට පමණක් නොව, තවත් බොහෝ දෙනෙකුට එදිනෙදා ජීවිතයේදී අත්විඳීමට සිදු වන බව මම සිතමි.
යම් කාර්යයක් කරමින් සිටියදී අවධානය වෙනතකට යොමු වීම නිසා ඇතැම් විට එය අවසන් කිරීමට වැඩි කාලයක් ගත වන අතර, එක් කාර්යයකින් තවත් කාර්යයකට නිතර මාරු වීම ද ඊට හේතුවක් විය හැකි ය.
අධ්‍යාපනය, රැකියාව සහ මානව සම්බන්ධතා කෙරෙහි ද එය බලපෑම් කරන බව ආචාර්ය රන්සිරිණි පෙන්වා දෙයි.
"පාඩම් කිරීමේදී තොරතුරු තේරුම් ගෙන මතකයේ තබා ගැනීමට අවධානය "බොහෝ සෙයින් වැදගත්" වන අතර පාඩම් කරන අතරතුර දුරකතනය දෙස බැලීමෙන් ඉගෙනීමේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව සැලකිය යුතු ලෙස අඩු වන බව ඇය පවසයි.
"පාඩම් කරන කාලය ම නෙවෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ ඒ කරන කාර්යයේ ගුණාත්මක බව. දුරකතනය නිසා බාධාවට ලක් නොවන ශිෂ්‍යයෙක් සහ දුරකතනය දිහා බලන ශිෂ්‍යයෙක් එකම කාලයක් පාඩම් කළත් වැඩි ඵලදායීතාව තියෙන්නේ අවධානය වැඩිපුර යොදවලා ඉගෙන ගන්නා ශිෂ්‍යයෙකුට," ඇය පැහැදිලි කරයි.
රැකියාවේදී වාර්තා ලිවීම, තොරතුරු විශ්ලේෂණය කිරීම සහ සැලසුම් සෑදීම වැනි සංකීර්ණ වැඩවලදී නිතර බාධා සිදු වූ විට, වැඩි මානසික වෙහෙසක් දැරීමට සිදු වන අතර දවස පුරා සේවය කළත් නිමවන වැඩ ප්‍රමාණය අවම විය හැකිය.
අන්තර් මානව සබඳතාවලට මෙය බලපාන ආකාරය ද ආචාර්යවරිය මා සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කළා ය.
"පවුලේ අය එක්ක කාලය ගත කරද්දීත් අපි දුරකතනය බලනවා. එතකොට අපි ශාරීරිකව එතන හිටියට අපේ මනස තියෙන්නේ වෙන ම තැනක. අපේ අවධානය අරගෙන තියෙන්නේ මේ ස්මාට්ෆෝන් එක."
එමගින් අපගේ සම්බන්ධතාවල ගුණාත්මකභාවය අඩු වන බව ඇය පවසයි.
රාත්‍රී කාලයේ දුරකථනය භාවිත කිරීම නිසා නින්දට වෙන් කළ යුතු කාලය අහිමි විය හැකි ය. මොළයට විවේකය ලබා දී නැවත ප්‍රබෝධමත් වීමට ප්‍රමාණවත් නින්දක් අත්‍යවශ්‍ය වේ. නින්ද අඩු වීමෙන් පසුදින අවධානය පවත්වා ගැනීම අපහසු වන අතර, එමගින් නැවතත් අවධානය බිඳ වැටීමට හේතු වන "විෂම චක්‍රයක් නිර්මාණය විය හැකි බව" ආචාර්ය රන්සිරිණි පැහැදිලි කළා ය.
"හැබැයි ඉතින් දුරකතනය අපිට මේ වගේ ප්‍රශ්න නිර්මාණය කළාට, හැම බාධාවක් ම හානිකර නැහැ. අපිට රසවත් දේවල් අවශ්‍යයි. එතකොට විවේක ගැනීමේදී දුරකතනය භාවිතය ප්‍රයෝජනවත් වෙනවා. ඒක හානිකර නැහැ.
"අපි හිතන්න ඕනේ, දුරකතනය නිසා අපි කරන්න අවශ්‍ය වැඩවලට බාධා වෙනවා ද සහ අපි සැලසුම් නොකරපු විදිහට අපේ අවධානය වෙන තැනකට අරගෙන යනවා ද කියන එක ගැන," ඇය පවසයි.
අවධානය පවත්වා ගැනීමට කළ හැක්කේ කුමක් ද?
ආචාර්ය රන්සිරිණි සඳහන් කරන පරිදි, අවධානය ආරක්ෂා කර ගැනීමට ගත හැකි පියවර කිහිපයකි.
ඉන් පළමුව ලෙස ඇය පෙන්වා දෙන්නේ, දුරකතනය හෝ තමන්ට බාධා ඇති කරන උපකරණයට ඇති ප්‍රවේශය සහ ඉන් සිදුවන බාධා සීමා කිරීම ය.
එහිදී දුරකතනය නිහඬ (silent) කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, එය ළඟා විය නොහැකි ස්ථානයක හෝ වෙනත් කාමරයක තැබීමෙන් නිතර පරීක්ෂා කිරීමට ඇති පෙළඹීම පාලනය කළ හැකි ය.
ඇතැම් රටවල මේ සඳහා නියමිත කාලයක් දුරකතනය අගුළු දමා තැබිය හැකි විශේෂ පෙට්ටි ද භාවිත කරන බව ඇය පවසයි.
"සමහර වෙලාවට අපි කොච්චර උත්සහ කළත් අර පුරුද්ද තියෙනවා නේ. අපි දුරකතනය අතට ගන්නේ වෙන වැඩකට. හැබැයි ඒ වැඩේ කරන්න කලින් පුරුද්දට යනවා සමාජ මාධ්‍යයට. ඊට පස්සේ කල්පනා කරනවා, මම මොකට ද දුරකතනය බැලුවේ කියලා," ඇය සඳහන් කරයි.
එබැවින්, දුරකතනය වෙත පහසුවෙන් ළඟා වීමට ඇති ඉඩකඩ සීමා කිරීමෙන් මෙම පුරුද්ද පාලනය කරගැනීමට උපකාරී විය හැකි බව ඇයගේ අදහසයි.
තවත් පියවරක් ලෙස ආචාර්යවරිය පෙන්වා දෙන්නේ, වෙනත් කාර්යයන් වෙත අවධානය මාරු නොකර, වරකට එක් කාර්යයක් සඳහා පමණක් විනාඩි 20ත් 30ත් අතර කාලයක් අඛණ්ඩව අවධානය යොමු කිරීමට උත්සහ කළ යුතු බව ය.
"ඒක ඒ කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි උත්සහ කරන්න ඕනේ එක කාර්යයකට විතරක් අවධානය යොමු කරන්න. ඒ වැඩේට වැඩි ම අවධානය දෙන්න පුළුවන් කාලය කොච්චර ද කියලා හඳුනාගෙන, ටිකෙන් ටික ඒ කාලය වැඩි කරගන්න පුළුවන්," ඇය පවසයි.
තෙවැන්න දුරකතනය භාවිත කිරීමට ඇති පෙළඹීමට හේතුව හඳුනා ගැනීම ය. එය සිදුවන්නේ අලස බව, ආතතිය හෝ වෙනත් මානසික හේතුවක් නිසා ද යන්න තේරුම් ගෙන, එම හැඟීම් පාලනය කරගැනීමට උත්සහ කළ යුතු බව ඇයගේ අදහසයි.
"ඒ වගේ අවස්ථාවල අපි දුරකතනය කොච්චර අයින් කළත්, අර පුරුද්ද කඩන්න කියලා අපි කොච්චර හංගලා තිබ්බත්, අපි දුරකතනයට නැඹුරු වන හේතුව තාම තියෙනවා.
"එතකොට අපි ඒක තේරුම් අරගෙන කම්මැලිකම කොහොම ද දරාගන්නේ, නැත්නම් අපේ කලකිරීම අපේ හැඟීම් කොහොම ද පාලනය කර ගන්නේ සහ අපි කරන කාර්යයන්වලට අවධානය යොමු කරන්න අපිව දිරිමත් කර ගන්නේ කොහොම ද කියලා අපි තේරුම් ගන්න ඕනේ."
ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම, නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම සහ මානසික ආතතිය පාලනය කර ගැනීමට උපකාරී වන යහපත් පුරුදු ඇති කර ගැනීම වැදගත් වන බව ඇය පවසයි.
2025 වසරේ පළ වූ අහඹු ලෙස කණ්ඩායම්වලට බෙදා සිදු කළ පාලිත අධ්‍යයනයක් උපුටා දක්වමින් ආචාර්යවරිය සඳහන් කරන්නේ, දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ යැවීමේ පහසුකම් පවත්වා ගනිමින්, ස්මාර්ට්ෆෝන්වල ජංගම අන්තර්ජාල පහසුකම සති දෙකක කාලයක් අවහිර කිරීමෙන් පුද්ගලයන්ගේ මානසික යහපැවැත්ම, මානසික සෞඛ්‍යය සහ වෛෂයිකව මනිනු ලැබූ අවධානය දිගු වේලාවක් පවත්වා ගැනීමේ හැකියාව වැඩිදියුණු වූ බව ය.
එහිදී අවධානය යොමු කිරීමේ හැකියාවේ දියුණුව සාපේක්ෂව මධ්‍යස්ථ මට්ටමක පැවති අතර, මෙම මැදිහත්වීම අඛණ්ඩව අනුගමනය කිරීම සහභාගී වූවන්ට අභියෝගයක් වී තිබේ.
ස්මාර්ට්ෆෝන් භාවිතය සම්පූර්ණයෙන් ම අත්හැර දැමීමට වඩා, ඩිජිටල් ප්‍රවේශ රටා වෙනස් කර ගැනීම වඩාත් හිතකර විය හැකි බව මෙම සොයාගැනීම්වලින් ඇඟ වෙන බව ඇය පෙන්වා දෙයි.
ආචාර්යවරිය පවසන්නේ, ඩිජිටල් වේදිකාවල ඇති විවිධ විශේෂාංග, නිතර ලැබෙන දැනුම්දීම් සහ ඕනෑ ම අවස්ථාවක සම්බන්ධ වීමට සූදානමින් සිටිය යුතුය යන අපේක්ෂාව නිසා දිගු වේලාවක් අවධානය පවත්වා ගැනීම වඩාත් අපහසු විය හැකි බව ය.
එහිදී වඩාත් හිතකර ලෙස අවධානය පවත්වා ගැනීමේ පුරුදු ඇති කර ගැනීමට උපකාරී වන පරිසරයක් නිර්මාණය කිරීමේදී රැකියා ස්ථාන, අධ්‍යාපන ආයතන, පවුල් සහ තාක්ෂණික සමාගම්වලට ද කාර්යභාරයක් පැවරෙන බව ඇය පෙන්වා දෙයි.
"අරමුණ ඩිජිටල් ලෝකයෙන් සම්පූර්ණයෙන් ඈත් වීම නොවෙයි. අපගේ අවධානය යොමු කළ යුත්තේ කුමන දේවල් වෙත ද යන්න තීරණය කළ හැකි වන පරිදි තාක්ෂණය සමග වඩාත් සෞඛ්‍ය සම්පන්න සබඳතාවක් ගොඩනගා ගැනීමයි," ආචාර්ය රන්සිරිණි වැඩිදුරටත් පවසයි.