ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුහුදු කොල්ලකරුවන් සෝමාලියානු වෙරළට ඔබ්බෙන් තෙල් නැවක් පැහැර ගනී. කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර ලාංකිකයෙක්
- Author, මොහොමඩ් ගබෝබ් - මොගඩිෂු
- වාර්තාකරණය, Mogadishu
- කියවීමේ කාලය: මිනිත්තු 3
සෝමාලියානු වෙරළ ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක් කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බව බීබීසීයට අදහස් දැක්වූ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු අනාවරණය කළේය. නෞකා කාර්ය මණ්ඩලය 17 දෙනෙකුගෙන් සමන්විත අතර ලාංකිකයෙකු ද එම පිරිසට අයත් වේ.
බදාදා රාත්‍රියේ වෙරළට ආසන්න වශයෙන් නාවික සැතපුම් 30ක් දුරින් යාත්‍රා කරමින් තිබියදී , Honour 25 නෞකාව තුවක්කුකරුවන් හය දෙනෙකු විසින් පැහැර ගනු ලැබ ඇති බව නිලධාරීහු පැවසූහ.
මීට වසර තුනකට පෙර වන තුරුම, පැහැරගැනීම් සඳහා කුප්‍රකට ඉන්දියානු සාගරයේ මෙම කොටසේ මුහුදු කොල්ලකෑම් බොහෝ දුරට තුරන්ව තිබුණි, නමුත් දැන් ධීවර ට්‍රෝලර් යාත්‍රා හෝ බහාලුම් නැව් ඉලක්ක කර ගනිමින් මුහුදු කොල්ලකෑම් නැවත සිදුවෙමින් තිබේ.
සෝමාලියානු අගනුවර වන මොගඩිෂු බලා යාත්‍රා කරමින් තිබූ තෙල් නැවක් කෝල්ලකරුවන් විසින් සිය ග්‍රහණයට ගැනීම, ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට පෙට්‍රල් මිල දැනටමත් තුන් ගුණයකින් වැඩි වී ඇති මොගඩිෂුහි වැසියන්ගේ කනස්සල්ල වැඩි කිරීමට ඉඩ ඇත.
සෝමාලියාවේ අර්ධ ස්වයං පාලන පුට්ලන්ඩ් කලාපයේ ආරක්ෂක නිලධාරීන් බීබීසීයට පැවසුවේ නෞකාවේ තෙල් බැරල් 18,500 ක් ප්‍රවාහනය කරමින් තිබුණු බවයි.
පැහැර ගන්නා ලද නෞකාව පෙබරවාරි 20 වන දින ස්වයං ප්‍රකාශිත සෝමාලිලන්ත ජනරජයේ බර්බෙරා වරායෙන් පිටත් වී ගැටුම ආරම්භ වී ටික දිනකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට ළඟා වූ බව ෂිප්ඇට්ලස් වෙබ් අඩවිය පවසයි.
ඉන්පසු නැව් සිතියමේ දැක්වෙන්නේ එය අප්‍රේල් 2 වන දින යළි මොගඩිෂු දෙසට යාත්‍රා කිරීමට පෙර හෝමූස් සමුද්‍ර සන්ධියට පිවිසෙන ස්ථානයට ආසන්න ජලයේ තීරයේ යාත්‍රාකරමින් තිබූ බවයි.
මුහුදු කොල්ලකරුවන්ගේ පාලනය යටතේ, පකිස්ථානුවන් 10 දෙනෙකු, ඉන්දුනීසියානුවන් හතර දෙනෙකු, ඉන්දියානුවෙකු, ශ්‍රී ලාංකිකයෙකු සහ මියන්මාර ජාතිකයෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු රැගත් නෞකාව, සාෆුන් සහ බන්ඩර් බෙයිලා ධීවර නගර අතර සෝමාලි වෙරළට ආසන්නව නැංගුරම් ලා ඇත.
එතැන් සිට තවත් සන්නද්ධ පුද්ගලයින් පස් දෙනෙකු මෙම නෞකාවට ගොඩ වී ඇති බව ආරංචි මාර්ග පවසයි.
නිලධාරීන් විශ්වාස කරන්නේ නෞකාව පැහැරගත් පුද්ගලයින් බන්ඩර් බෙයිලා අසල දුරස්ථ ප්‍රදේශයකින් මුහුදුට පිවිස ඇති බවයි. ඔවුන්ට තෙල් නෞකාව ග්‍රහණයට ගැනීමට හැකි වූයේ කෙසේද යන්න පැහැදිලි නොමැත.
සෝමාලියානු බලධාරීන් හෝ සෝමාලියානු මුහුදු තීරයේ මුහුදු කොල්ලකෑම් මර්දනය කරන මෙහෙයුම් අධීක්ෂණය කරන යුරෝපීය නාවික හමුදාව මෙම පැහැර ගැනීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර නොමැත.