හැකර් ගිණුමකට මුදල් බැර කිරීමේ සිද්ධියට වැඩතහනම්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙක් 'සියදිවි හානි කර ගනී'

- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.
රංග රාජපක්ෂ නම් වූ මෙම නිලධාරියා මුදල් අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරිකයක් හැකර්වරයෙකුගේ ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිට ඇති බව වාර්තා වෙයි.
බීබීසී සිංහල සිදුකළ විමසීමකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් පැවසුවේ, වැඩතහනමට ලක්ව සිටි මෙම නිලධාරියා අද (අප්‍රේල් 30) උදෑසන සිය දිවි හානි කරගෙන ඇති බව ය.
ඔහු බල නහරවලට හානි කර ගැනීමෙන් සිය දිවි හානි කරගෙන ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් පැවසීය.
මෙම නිලධාරියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණ ද, ඔහු ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් බීබීසී සිංහල වෙත පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook | Malcolm Sang
සිය දිවි හානි කර ගත් බව කියන රංග රාජපක්ෂ, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.
කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි රංග රාජපක්ෂ දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
අද (අප්‍රේල් 30) පෙරවරු 10.00ට පමණ ඔහු 'වත්ත පහළ වැඩක් ඇති' බව නිවැසියන්ට පවසා ගොස් ඇති බවත්, පසුව ඔහු නිවසට නොපැමිණි නිසා එහි ගොස් බලන විට ඔහු කෙසෙල් පඳුරක් අසල වැටී සිටින අයුරු නිවැසියන් දැක ඇති බව බීබීසී සිංහල කුලියාපිටිය වාර්තාකරු පැවසීය.
ඔහු වැටී සිටි ස්ථානයේ තිබී පිහියක් ද සොයාගෙන තිබිණි.
එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂාව සඳහා කුලියාපිටිය වැඩබලන මහේත්‍රාත් කාංචනා රූපසිංහ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී බී.ඒ.සී. බාලසූරිය පැමිණ සිටියහ.

ඔබට සහයක් අවශ්‍ය ද?
මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකි ය.
දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකතන අංකය: 011 2696666 හෝ +94 112 682 535
ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකතන අංකය: 1333 හෝ +94 112 692 909

































