2070 වන විට ලෝකයේ ආගමික ජන සංයුතියේ වෙනසක් - මුස්ලිම්වරුන් විශාලතම ආගමික ජන කණ්ඩායම බවට පත්වනු ඇතැයි පුරෝකථනයක්

2026 මැයි 28 වන දින ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊද්-අල්-අදා උත්සවය වෙනුවෙන් මුස්ලිම්වරු ඓතිහාසික ජාමා මස්ජිදයේ යාඥා (නමාස්) පවත්වති.
ඡායාරූප ශීර්ෂ වැකිය, දිල්ලියේ ඓතිහාසික ජාමා මස්ජිදයේ මුස්ලිම් වැසියන් යාච්ඥා කරමින්
    • Author, සෞතික් බිස්වාස්
    • Role, ඉන්දීය වාර්තාකරු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ඉදිරි දශක කිහිපය තුළ ඉන්දියාව අතිමහත් හින්දු බහුතරයක් සහිත රටක් ලෙස පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන නමුත්, එරට ආගමික ජන සංයුතිය ක්‍රමයෙන් වෙනස් වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

ලොව ආගමික ජනගහනය 2070 වසර දක්වා වෙනස් වන ආකාරය පිළිබඳ Pew Research Center ආයතනයේ නව අධ්‍යයනයකට අනුව, 2020 වසරේදී ඉන්දියාවේ ජනගහනයෙන් 79%ක් වූ හින්දු ජනගහන ප්‍රතිශතය 2070 වන විට 76% දක්වා අඩු වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එම කාලය තුළ මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 15% සිට 20% දක්වා ඉහළ යනු ඇතැයි ද එහි සඳහන් වේ.

මෙම වෙනසට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ආගමික කණ්ඩායම් අතර වයස් ව්‍යුහයේ සහ දරු උපත් අනුපාතවල පවතින වෙනස්කම් ය. ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය හින්දු ජනගහනයට වඩා තරුණ වන අතර, සාමාන්‍යයෙන් ඔවුහු වැඩි දරුවන් සංඛ්‍යාවක් බිහි කරති.

පිව් ආයතනයේ මෙම පුරෝකථන මගින් දකුණු ආසියාව පුරා සිදුවන පුළුල් ජනවිකාස වෙනසක කේන්ද්‍රස්ථානයක් ලෙස ඉන්දියාව හඳුනාගෙන තිබේ.

ලොව වැඩි ම මුස්ලිම් බහුතර ජනගහනයක් සහිත රට ලෙස ඉන්දුනීසියාව අභිබවා පකිස්ථානය ඉදිරියට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව ඉන්දියාව දෙවන ස්ථානයට පත්වනු ඇත. බංග්ලාදේශයේ මුස්ලිම් ජනගහනයේ ද සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කෙරේ.

ලොව ආගමික සංයුතිය ඉදිරි වසර 50 තුළ වෙනස් වන ආකාරය පිළිබඳ මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ රටවල් සහ භූමි ප්‍රදේශ 201ක දත්ත පදනම් කර ගනිමිනි. එමගින් ලෝක ජනගහනයෙන් සියයට සියයකට ආසන්න ප්‍රමාණයක් ආවරණය කර තිබේ.

මෑත කාලීන ජනවිකාස ප්‍රවණතා අඛණ්ඩව පවතිනු ඇතැයි උපකල්පනය කරමින්, 2020 සිට 2070 දක්වා ආගමික කණ්ඩායම් හතක ජනගහන වෙනස්වීම් මෙම අධ්‍යයනයෙන් නිරීක්ෂණය කරයි. සංගණන හා සමීක්ෂණ දත්ත භාවිත කරමින් 2020 වසරේදී එක් එක් ආගමික කණ්ඩායමේ ජනගහන ප්‍රමාණය සහ වයස් ව්‍යුහය තීරණය කර ඇති අතර, දරු උපත් අනුපාතවල සහ ආගමික විශ්වාසයන් වෙනස් කර ගැනීමේ ප්‍රවණතාවල පවතින වෙනස්කම් ද සැලකිල්ලට ගෙන තිබේ.

මෙම අධ්‍යයනයේ සොයාගැනීම්වලට අනුව, ගෝලීය ආගමික ජන සංයුතියේ සිදුවන වෙනස්වීම්වල කේන්ද්‍රස්ථානයක් බවට ඉන්දියාව පත්ව තිබේ. 2070 වසර වන විට ලොව දෙවැනියට වැඩි ම මුස්ලිම් ජනගහනයක් සහිත රට බවට ඉන්දියාව පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහිදී ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය මිලියන 334ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එමෙන් ම, ලොව වැඩි ම මුස්ලිම් ජනගහනයක් සහිත රට බවට පත්වෙමින් පකිස්ථානය ඉන්දුනීසියාව අභිබවා යනු ඇතැයි ද පුරෝකථනය කර තිබේ. ඒ අනුව පකිස්ථානයේ මුස්ලිම් ජනගහනය මිලියන 461ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෙසේ වෙතත්, ඉන්දියාවේ ආගමික ජන සංයුතියේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල ඉදිරිපත් වන වඩාත් අතිශයෝක්තියෙන් යුත් මතවාදවලට මෙම පුරෝකථන මගින් එතරම් පදනමක් ලැබෙන්නේ නැත.

මෑත කාලීන ජනවිකාස ප්‍රවණතා අඛණ්ඩව පැවතුණහොත්, 2020 සිට 2070 දක්වා කාලය තුළ ඉන්දියාවේ හින්දු ජනගහනය මිලියන 176කින් වර්ධනය වනු ඇතැයි වාර්තාව පවසයි. ඒ අනුව, රටේ සමස්ත ජනගහනයෙන් හතරෙන් තුනකට වැඩි ප්‍රතිශතයක් හින්දු ජනතාව ලෙස තවදුරටත් පවතිනු ඇත.

ඉන්දියාවේ සමස්ත දරු උපත් අනුපාතය සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණ ද, සාමාන්‍යයක් ලෙස ගත් විට මුස්ලිම් කාන්තාවෝ තවමත් හින්දු කාන්තාවන්ට වඩා වැඩි දරුවන් සංඛ්‍යාවක් බිහි කරති. මෙම ජනගහන වෙනස්වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ජනවිකාස ගම්‍යතාව බව Pew ආයතනය පෙන්වා දෙයි.

2020 වසරේදී ඉන්දියාවේ මුස්ලිම් ජනතාවගේ මධ්‍යස්ථ වයස අවුරුදු 24ක් වූ අතර, හින්දු ජනතාවගේ මධ්‍යස්ථ වයස අවුරුදු 29ක් විය.

2025 සිට 2030 දක්වා කාලය තුළ ඉන්දියාවේ මුස්ලිම් කාන්තාවන් සාමාන්‍යයෙන් දරුවන් 2.3 දෙනෙකු බිහි කරනු ඇතැයි Pew ආයතනය ඇස්තමේන්තු කර තිබේ. හින්දු කාන්තාවන් අතර එම අගය 1.8ක් ලෙස පුරෝකථනය කර ඇත.

"ඉන්දියාවේ ආගමික ජන සංයුතියේ වෙනස්වීම් මුළුමනින් ම පාහේ හින්දු සහ මුස්ලිම් ජනතාව අතර දිගුකාලීනව පවතින ජනවිකාස වෙනස්කම් මත තීරණය වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා: මුස්ලිම් ජනතාව සාපේක්ෂව තරුණ වන අතර, ඔවුන් අතර දරු උපත් අනුපාතය ද ඉහළයි," Pew Research Center ආයතනයේ ස්ටෙෆනි ක්‍රේමර් බීබීසීය වෙත පැවසුවා ය.

2026 නොවැම්බර් 15 වන දින ඉන්දියාවේ අහමදාබාද්හි චත් පූජාව අතරතුර, හින්දු බැතිමතුන් සබර්මතී ගං ඉවුරේ බැස යන හිරුට සන්ධ්‍යා ආර්ඝ්‍යා පූජාව පුද කරති. මෙම චාරිත්‍රය පෘථිවියේ ජීවය පවත්වා ගැනීම සඳහා හිරු දෙවියන්ට ස්තූති කරන අතර පවුල්වල යහපැවැත්ම සඳහා ආශිර්වාද ලබා ගනී. (ඡායාරූපය සෞරබ් සිරෝහියා / ගෙටි ඉමේජස් හරහා නූර්ෆොටෝ)
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සබර්මතී ගං ඉවුරේ හින්දු බැතිමතුන් යාඥා කරමින්

"1992 වසරේදී එක් කාන්තාවකට එක් දරුවෙකුට වඩා වැඩි වෙනසක් ලෙස පැවති දරු උපත් අනුපාතයේ පරතරය, මෑත වසරවලදී දරුවන්ගෙන් අඩකට පමණ වන තෙක් සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. ඉදිරියේදී එම පරතරය තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කරනවා," යැයි ඇය පැවසුවාය.

"කෙසේ වෙතත්, හින්දු ජනතාවගේ දරු උපත් අනුපාතය දැනටමත් ජනගහනය ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිස්ථාපන මට්ටමට වඩා පහළ අගයක පවතිනවා. එහෙත් මුස්ලිම් ජනතාවගේ දරු උපත් අනුපාතය තවත් දශක දෙකක කාලයක් එම මට්ටමට වඩා ඉහළින් පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා." (ප්‍රතිස්ථාපන මට්ටම යනු, අලුතින් උපදින දරුවන් සංඛ්‍යාව මගින් ජනගහනය ස්ථාවරව පවත්වා ගැනීමට ප්‍රමාණවත් වන දරු උපත් අනුපාතයයි.)

මෙම පුරෝකථන පුදුමයට කරුණක් නොවන බව ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඉන්දීය ජනවිකාස විද්‍යාඥ කේ. එස්. ජේම්ස් පවසයි.

"මුස්ලිම් සහ හින්දු ජනතාව අතර දරු උපත් අනුපාතයේ පරතරය හොඳින් තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඉදිරි දශක කිහිපය තුළ මුස්ලිම් ජනගහනය වඩා වේගයෙන් වර්ධනය වීමට ඉඩ තිබෙනවා. නමුත් සියලු ම ආගමික ප්‍රජාවන් අතර දරු උපත් අනුපාතය පහත වැටෙමින් පවතින අතර, එම පරතරය තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කරනවා," යැයි ඔහු බීබීසීය වෙත පැවසීය.

"අවසානයේදී ඔවුන් සමාන මට්ටමකට පැමිණේවි," යැයි ඔහු පැවසුවේ, මෙම පුරෝකථන මගින් ඉන්දියාවේ ජනවිකාස ගමන්මගෙහි කිසිදු නාටකාකාර වෙනසක් පෙන්නුම් නොකරන බව ද සඳහන් කරමිනි.

මුස්ලිම් ජනගහනය අවසානයේදී හින්දු ජනගහනය අභිබවා යනු ඇතැයි හින්දු දක්ෂිණාංශික කණ්ඩායම් බොහෝ විට ප්‍රචාරය කරන ප්‍රකාශ ජනවිකාස විද්‍යාඥයෝ ප්‍රතික්ෂේප කරති. ඉන්දියාවේ ජනගහන වෙනස්වීම්වලට බලපාන සැලකිය යුතු ආගමික හැරීම් සිදුවන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඔවුහු පවසති. එමෙන් ම, එවැනි "භීතිය ඇති කරන තත්ත්ව" සඳහා ද මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල සහය නොදක්වන බව ඔවුහු පෙන්වා දෙති.

2026 මැයි 28 වන දින ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊද් අල්-අදා උත්සවය වෙනුවෙන් ඓතිහාසික ජාමා මස්ජිඩ් හිදී උත්සවශ්‍රීයෙන් සැරසුණු මුස්ලිම් දරුවන්. (ඡායාරූපය: සංචිත් ඛන්නා/හින්දුස්ථාන් ටයිම්ස්, ගෙටි ඉමේජස් හරහා)
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ උත්සව ඇඳුමින් සැරසුණු මුස්ලිම් දරුවන්

වාර්තාවට අනුව, දකුණු ආසියාවේ පුළුල් ජනවිකාස තත්ත්වය ද ඒ හා සමානව අවධානයට ලක්විය යුතු කරුණු රැසක් හෙළි කරයි.

2070 වසර වන විට පකිස්ථානයේ මුස්ලිම් ජනගහනය දෙගුණයකටත් වඩා වැඩි වී මිලියන 461ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. ඒ අනුව, ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සහිත රට බවට පකිස්ථානය පත්වෙමින් ඉන්දුනීසියාව අභිබවා යනු ඇත. මුස්ලිම් ජනගහනය මිලියන 334ක් සමග ඉන්දියාව දෙවන ස්ථානයට පත්වනු ඇති අතර, බංග්ලාදේශයේ මුස්ලිම් ජනගහනය මිලියන 218ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, ලොව හින්දු බහුතරයක් සහිත රටවල් ලෙස ඉන්දියාව සහ නේපාලය පමණක් තවදුරටත් පවතිනු ඇත.

කෙසේ වෙතත්, කලාපීය වශයෙන් සිදුවන මෙම වෙනස්කම් පිටුපස ගෝලීය ප්‍රවණතාවක් ද දක්නට ලැබේ.

වාර්තාවට අනුව, 2035 වසර වන විට ලොව විශාලතම ආගමික කණ්ඩායම බවට පත්වෙමින් මුස්ලිම් ජනතාව ක්‍රිස්තියානි ජනතාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. 2020 වසරේදී බිලියන 2.02ක් වූ ලොව මුස්ලිම් ජනගහනය 2070 වන විට බිලියන 3.64ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, ලොව ක්‍රිස්තියානි ජනගහනය බිලියන තුනකට මදක් අඩු අගයක පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබේ. ඒ අනුව, වර්තමානයේ ලෝක ජනගහනයෙන් 26%ක් වන මුස්ලිම් ජනතාවගේ ප්‍රතිශතය 2070 වන විට 36%ක් දක්වා ඉහළ යනු ඇත.

කෙසේ වෙතත්, වඩාත් කැපී පෙනෙන වෙනස සිදුවෙමින් පවතින්නේ දකුණු ආසියාවේ සිට සැතපුම් දහස් ගණනක් බටහිර දෙසින් පිහිටි අප්‍රිකානු මහද්වීපයේ ය.

ක්‍රිස්තියානි ආගමේ ජනගහන කේන්ද්‍රය යුරෝපයෙන් සහ ඇමෙරිකානු මහද්වීපවලින් ක්‍රමයෙන් උපසහරානු අප්‍රිකාව දෙසට මාරු වෙමින් පවතී.

මෑත කාලීන ප්‍රවණතා මෙලෙස ම අඛණ්ඩව පැවතියහොත්, 2020 වසරේදී 31%ක්ව පැවති ලොව ක්‍රිස්තියානි ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් 2070 වසර වන විට එම කලාපයේ ජීවත් වනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. එමෙන් ම, ලොව වැඩි ම ක්‍රිස්තියානි ජනගහනයක් සහිත රට ලෙස එක්සත් ජනපදය අභිබවා කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ඉදිරියට පැමිණෙනු ඇතැයි ද Pew ආයතනය පුරෝකථනය කර තිබේ.

2011 නොවැම්බර් 25 වන දින ඉන්දියාවේ නවදිල්ලි නුවර ප්‍රගති මයිඩාන් හි පැවති 31 වන ඉන්දීය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය (ITTF) අතරතුර අධික ජනකායක්. (ඡායාරූපය: අරිජිත් සෙන්/හින්දුස්ථාන් ටයිම්ස්, ගෙටි ඉමේජස් හරහා)
ඡායාරූප ශීර්ෂ වැකිය, බිලියන 1.4 කට වැඩි ජනගහනයක් සිටින ඉන්දියාව, 2023 දී ජනගහනය අතින් චීනය අභිබවා ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

තියුණු ම කැපී පෙනෙන අඩුවීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන්නේ යුරෝපය තුළ ය. වර්තමාන ප්‍රවණතා අඛණ්ඩව පැවතුණහොත්, 2020 වසරේදී ලොව සමස්ත ක්‍රිස්තියානි ජනගහනයෙන් 22%ක් වාසය කළ යුරෝපයේ එම ප්‍රතිශතය 2070 වන විට 11% දක්වා පහත වැටෙනු ඇතැයි වාර්තාව පවසයි.

2065 වසර වන විට එක්සත් ජනපදයේ ක්‍රිස්තියානි බහුතරය අහිමි වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. කෙසේ වෙතත්, 2070 වන විටත් එරට විශාලතම ආගමික කණ්ඩායම ලෙස ක්‍රිස්තියානි ජනතාව පවතිනු ඇත.

මෙලෙස ලෝකයේ ආගමික ජන සංයුතිය වෙනස් වීමට එක් හේතුවක් වන්නේ කිසිදු ආගමකට අයත් නොවන බව හඳුන්වා ගන්නා පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමයි.

2070 වන විට එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ "කිසිදු ආගමකට අයත් නොවන" ජනතාව බහුතරය බවට පත්වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. දකුණු කොරියාව ද එම තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, ලෝක ජනගහනයෙන් එම පිරිසට හිමි ප්‍රතිශතය 24% සිට 17% දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ චීනයේ ජනගහනය අඩුවීමයි.

ලොව කිසිදු ආගමකට අයත් නොවන ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ චීනයේ වාසය කරති. එරට අපේක්ෂිත ජනගහන අඩුවීම, ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල අනාගමික ජනගහනයේ වර්ධනය ඉක්මවා යනු ඇතැයි වාර්තාව පවසයි.

2070 වන විට තවත් අනපේක්ෂිත වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි ද පුරෝකථනය කර තිබේ.

සංක්‍රමණය හේතුවෙන් හින්දු ජනගහනය සැලකිය යුතු ලෙස වර්ධනය වීමත් සමග, ලොව පස්වැනියට වැඩි ම හින්දු ජනගහනයක් සහිත රට බවට එක්සත් ජනපදය පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන් ම, ඔස්ට්‍රේලියාවේ කිසිදු ආගමකට අයත් නොවන ජනතාව එරට විශාලතම ජන කණ්ඩායම බවට පත්වෙමින් ක්‍රිස්තියානි ජනතාව අභිබවා යනු ඇත.

මේ අතර, බෞද්ධ ජනගහනය ජනවිකාසමය වශයෙන් දැඩි අභියෝගයකට මුහුණ දී සිටී. නැගෙනහිර ආසියාවේ ජනගහනය වයස්ගත වීම සහ සමස්ත ජනගහනය හැකිළීම පිළිබිඹු කරමින්, චීනය, ජපානය සහ දකුණු කොරියාව යන රටවල බෞද්ධ ජනගහනය අඩකටත් වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලාඕසය සහ මොංගෝලියාව යන රටවල ද බෞද්ධ බහුතරය අහිමි වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

2026 මාර්තු 21 වන දින පකිස්ථානයේ ගිල්ගිට්-බෝල්ටිස්තානයේ ස්කාර්ඩු හි ඉස්ලාමීය ශුද්ධ රාමසාන් උපවාස මාසයේ අවසානය සනිටුහන් කරන ඊදුල්-ෆිතර් යාඥාවන් ෂියා මුස්ලිම්වරු පවත්වති.
ඡායාරූප ශීර්ෂ වැකිය, පාකිස්ථානයේ මුස්ලිම් වැසියන් ඊද් යාඥාවන්හි නිරත වෙමින්

කෙසේ වෙතත්, මෙම පුරෝකථන සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් ද තිබේ. මේවා ජනවිකාස ප්‍රවණතා පදනම් කරගත් පුරෝකථන මිස, අනාගතයේ සිදුවිය හැකි සියලු දේ පිළිබඳ නිශ්චිත අනාවැකි නොවේ. මෑතකදී නිරීක්ෂණය කළ දරු උපත් අනුපාත, සංක්‍රමණ සහ ආගමික විශ්වාසයන් වෙනස් කර ගැනීමේ හෙවත් ආගමික හැරීම්වල ප්‍රවණතා ඉදිරියටත් අඛණ්ඩව පවතිනු ඇතැයි Pew ආයතනය මෙහිදී උපකල්පනය කර තිබේ.

"(යුද්ධ, ස්වාභාවික විපත්, වසංගත සහ ආර්ථික හෝ සමාජයීය තත්ත්වයන්හි වෙනස්වීම් ඇතුළු) ආගමික කණ්ඩායම්වල ජනගහනයට බලපෑ හැකි බොහෝ සිදුවීම් මෙම අධ්‍යයනයේදී විශ්ලේෂණය කර නැහැ," යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.

ඉන්දියාවේ 2020 වසරට අදාළ ආගමික ජන සංයුතිය ද ඇස්තමේන්තු කිරීමට සිදුව තිබුණේ 2011 ජන සංගණනයේ දත්ත පදනම් කරගෙනය. ඊට හේතුව ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබූ ජන සංගණනය ප්‍රමාද වීමයි.

කෙසේ වෙතත්, මෙම වෙනස්වීම්වල පුළුල් දිශානතිය පැහැදිලිය.

ඉන්දියාවේ විශාල හින්දු ජනගහනය නිසා පමණක් නොව, දකුණු ආසියාවේ මුස්ලිම් ජනගහනයේ වර්ධනය නිසා ද ලෝකයේ ආගමික ජන සංයුතිය තීරණය කිරීමේදී මෙම කලාපය අඛණ්ඩව වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. ක්‍රිස්තියානි ආගමේ අනාගතය හැඩගැස්වීමේදී අප්‍රිකාවේ බලපෑම තවදුරටත් ඉහළ යනු ඇති අතර, යුරෝපය සහ නැගෙනහිර ආසියාවේ ඇතැම් ප්‍රදේශ වඩාත් ලෞකික සමාජ බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පැහැදිලිව ම, 2070 වන විට ලෝකයේ ආගමික ජන සංයුතිය සැලකිය යුතු ලෙස වෙනස් වී තිබිය හැකිය. එම වෙනස්වීම්වලට ප්‍රධාන වශයෙන් බලපානු ඇත්තේ ආගම වෙනස් කිරීම්වලට වඩා, උපත්, මරණ සහ සංක්‍රමණ අතර පවතින අසමාන ජනවිකාස රටාවන් ය.