ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මීගොඩ දන්සලක පෝලිමේ සිටි 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රියැදුරා ගැන අනාවරණය වූ තොරතුරු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
මීගොඩ ප්‍රදේශයේ දන්සල් පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ් රථයක් ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මැයි 31 වන දින රාත්‍රී 11.50ට පමණ, මීගොඩ පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ මීගොඩ මංසන්ධිය ආසන්නයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් "රොටී දන්සලක" පෝලිමක සිටි පිරිසක් අනතුරට පත් කර "නොනවත්වා පලා ගොස්" තිබුණු බව ය.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු රෝහල්ගත කරන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය පැවසීය.
අනතුර සිදුවන අවස්ථාවේ ගොඩගම මංසන්ධියේ රාජකාරියේ නිරත වී සිටි පොලිසි නිලධාරීන් විසින් "පලා යමින් සිටි" රියැදුරු අත්අඩංගුවට ගෙන කැබ් රථය පොලිස් භාරයට ගෙන තිබේ.
අනතුර සිදුව ඇත්තේ කෙසේ ද?
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ව්ලි.පී.ජේ. සේනාධීර ජූනි 1 පැවති මාධ්‍ය හමුවකදී මෙම අනතුර සිදුව ඇති ආකාරය පැහැදිලි කළේ ය.
"මේ හයිලක්ස් කැබ් රථය ලොරියක් පිටුපසින් ඇවිල්ලා තියෙන්නේ. දකුණෙන් ඉස්සර කරන්න හදනකොට ඉදිරියෙන් එන වාහනයක් නිසා නැවත වම් පසින් ඉස්සර කරන්න යද්දී, රොටී දන්සලක පෝලිමක හිටපු අයගේ අත්වල වද්දාගෙන ඉස්සරහට ගිහින් තියෙනවා. වාහනය තවත් ඉදිරියට යද්දී තවත් පිරිසක් තුවාල ලබල මිය ගියා," ඔහු පැවසීය.
අනතුර සිදුවීමෙන් පසු රියැදුරු පලා ගිය බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
මිය ගිය පුද්ගලයින් කවුද?
අනතුරින් මිය ගොස් ඇති පිරිමි පුද්ගලයින් තිදෙනා, අවුරුදු 35ත් 38ත් අතර වයස්වල පසුවන හංවැල්ල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මිය කාන්තාවන් තිදෙනා වයස අවුරුදු 15ත් 56ත් අතර වයස්වල පසු වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියන් බව පොලිසිය පැවසීය.
තුවාල ලැබූ සෙසු පුද්ගලයින් 7 දෙනා නේවාසිකව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබති.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ව්ලි.පී.ජේ. සේනාධීර පැවසුවේ, මිය ගිය පිරිස අතර අවුරුදු 15ක දැරියක් එක ම පවුලේ පුරුෂයා බිරිඳ සහ පුරුෂයාගේ නැන්දණිය සිටින බව ය.
එමෙන් ම එක ම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ද අනතුරින් මියගොස් ඇතැයි ඔහු පැවසීය.
සැකකරු ගැන අනාවරණය වී ඇත්තේ මොනවා ද?
අනතුර සිදු කළ සැකකරු වයස අවුරුදු 42ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේ ය.
"අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බීමත්ව සිටි බවට" තහවුරු වී ඇති බව ද පොලිසිය පැවසීය.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ව්ලි.පී.ජේ. සේනාධීර පැවසුවේ, කැබ් රථය පැදවූ රියැදුරා සතුව විධිමත් රියැදුරු බලපත්‍රයක් එම මොහොතේ තිබී නොමැති බව ය.
"වාහනයේ තිබ්බ බලපත්‍ර කල් ඉකුත් වෙලා තිබ්බේ. වාහනයේ අයිතිකාර පුද්ගලයාත් ඉඳලා තියෙනවා. පසුව ඔහු එතැනින් ඉවත් වෙලා තියෙනවා," ඔහු තවදුරටත් පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, ඔහුට විරුද්ධව ද නඩු පැවරීමට කටයුතු කරන බව ය.
අනතුර සිදු කළ රියැදුරුට එරෙහිව අපරාධ නීතිය යටතේ "උපරිම චෝදනා ගොනු කිරීමට" අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර, සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි 16 වන දා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.