ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ ඇයි?' : අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග
අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ පිහිටි දන්සැල් කලාපයේ පැවති සත්යග්රහ භූමියේ ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි එළඹෙන 26 වැනි දින විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්රාහ්මණගේට අද (නොවැ.17) නියෝග කළේය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, රුවන්වැලි මහා සෑය ආසන්නයේ පිහිටි දන්සැල් කලාප පරිශ්‍රයේ සත්‍යග්‍රහය පැවති ස්ථානයේ ඇති වූ ගැටුම අතරතුර රාජාංගනයේ සද්ධාරතන හිමිට පහර දී තුවාල සිදු කිරීමේ සහ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ලබන 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමි හැර අනෙකුත් භික්ෂූන් වහන්සේලා සිව්නමට, සිවිල් පිරිමි පුද්ගලයන් දෙදෙනාට සහ කාන්තාවට ඇප ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරුන් වන ඉන්දික ඉඹුල්පිටිය සහ නුවන් බැල්ලන්තුඩාව මෝසමක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමිනි.
ඇප ලබා දෙන ලෙස ඉල්ලා මෝසමක්
ඒ අනුව අදාළ මෝසම ඉදිරිපත් කරමින් නීතිඥවරුන් වන ඉන්දික ඉඹුල්පිටිය සහ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන් අධිකරණයට කියා සිටියේ, රුවන්වැලි මහා සෑ පරිශ්‍රය අසල දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් තම සේවාදායක භික්ෂූන් වහන්සේලා සිව්නම, තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අධිකරණ නියෝග මත මේ මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.
'එහෙත්, තම සේවාදායක භික්ෂූන් වහන්සේලා සහ එහි සිටි අනෙකුත් පිරිස සමඟ ගැටුමකට මුල පුරමින් කලහකාරී තත්ත්වයක් සැලසුම් කළ රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකුට අධික පිරිසක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, අනුරාධපුර පොලිසිය හිතාමතාම, චේතනාන්විතව අදාළ සැකකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ හැර ඔවුන් අත්අඩංගුවට නොගෙන සිටින බවට' ද නීතිඥවරු චෝදනා කළහ.
ප්‍රශ්නගත ගැටුමට මූලිකවම වගකිව යුත්තේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු එම ස්ථානයේ රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන් බව ද ඔවුහු අධිකරණයට කියා සිටියහ. කිසිදු ගැටුමක් ඇති නොවීමට වග බලා ගැනීමට පොලිසියට පහසු හැකියාවක් තිබියදී, මැර කණ්ඩායම්වලට රිසි සේ නීතිය අතට ගෙන නොතිබූ ගැටුමක් ඇති කිරීමට පොලිසිය පහසුවෙන් ඉඩ සලසා දුන් බව ද නීතිඥවරු පැවසුහ. තවද, මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නරඹන විට, ගැටුමට මුල් වූ මැර කණ්ඩායම් මෙහෙයවූයේ අනුරාධපුර පොලිසියේ නිලධාරීන් දැයි සැකයක් පවතින බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
මෙම ගැටුමට අදාළව මේ මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තම සේවාදායක භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් සැකකරුවන්ට ඇප ලබා දීමට ඇප පනත ප්‍රකාරව මෙම අධිකරණයට බලය පවතින බවත්, තම සේවාදායකයන් තවදුරටත් බන්ධනාගාරගත කර සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ඔවුහු පැවසූහ. ඒ අනුව, තම සේවාදායක භික්ෂූන් වහන්සේලා සිව්නම ඇතුළු අනෙකුත් සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට නීතිඥවරුන් දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කළේ, සත්යග්රහ භූමියේ ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි මේ මස 26 වැනි දින පෞද්ගලිකවම විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දක්වන ලෙසයි.
මෙම මෝසම මගින් නීතිඥවරුන් ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිළිමතලාවේ රේවත සහ දෙනියායේ සෝරත යන භික්ෂූන් වහන්සේලා සිව්නම, අනෙකුත් සිවිල් පිරිමි පුද්ගලයන් දෙදෙනා සහ කාන්තාව සම්බන්ධයෙනි.
මෙම ගැටුම සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සිව්නම, අනෙකුත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය ලබන 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉකුත් 11 වැනි දින ලබා දුන් නියෝගයකට අනුවය.
මෙම සැකකාර භික්ෂූන් වහන්සේලාට සහ අනෙකුත් සැකකරුවන්ට ඇප ලබා ගැනීම වෙනුවෙන් කරුණු දැක්වීමට මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවන ලෙසට මෝසමක් මගින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කාලිංග රවින්ද්‍ර අධිකරණයෙන් කළ ඉල්ලීමක් ද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉකුත් 12 වැනි දින ප්‍රතික්ෂේප කළේය.
17 වැනි දින මෝසමක් මගින් නඩුව කැඳවා කරුණු දක්වමින් ඇප ඉල්ලා සිටි සැකකරුවන් අතර දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පළමු සැකකාර බලංගොඩ කස්සප හිමියන් නොසිටින්නේ මන්දැයි නීතිඥ ඉන්දික ඉඹුල්පිටියගෙන් මාධ්‍ය කළ විමසීමක දී ඔහු සඳහන් කළේ, පළමු සැකකාර බලංගොඩ කස්සප හිමියන් අධිකරණයට අපහාස කර ඇති බවට වන සිද්ධියකට චෝදනා ලබා සිටින නිසා උන්වහන්සේ සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් සිදු නොකළ බවයි.