ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හජ් උත්සවයට සමගාමීව සිදුකරන චාරිත්‍ර 8කට පසුබිම වූ ඉතිහාසය
- Author, තාරෙකුස්සාමන් ෂිමුල් - බීබීසී බංග්ලා
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
හජ් යනු මුස්ලිම්වරුන්ගේ විශාලතම ආගමික වන්දනාවයි. එය ඉස්ලාම් දහමේ මූලික කුළුණු පහෙන් එකක් වන අතර, ශාරීරිකව සහ මූල්‍යමය වශයෙන් එය සිදු කිරීමට හැකියාවක් ඇති සෑම මුස්ලිම්වරයෙකුටම එය ඉටුකිරීම අනිවාර්ය වේ.
සෑම වසරකම නියමිත කාලයකදී ලොව පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත මුස්ලිම් පිරිමින් සහ කාන්තාවන් හජ් වන්දනාව සඳහා සෞදි අරාබියේ මක්කම නගරයට එක් රැස් වෙති.
හජ් උත්සවයේ ප්‍රධාන චාරිත්‍ර අරාබි දින දර්ශනයේ අවසාන මාසය වන 'සිල්හජ්' මාසයේ 8 වන දා සිට 12 වන දා දක්වා සිදු කරන නිසා එම මාසය හජ් මාසය ලෙස හඳුන්වයි.
හජ් සම්පූර්ණ කිරීම සඳහා මෙම කාලසීමාව තුලදී මුස්ලිම්වරයෙකු අනුගමනය කළ යුතු චාරිත්‍ර කිහිපයක් තිබේ.
මෙම චාරිත්‍ර අතරට හජ් වන්දනාවේ අරමුණින් විශේෂ ඇඳුමකින් සැරසී මක්කම නගරයට ඇතුළු වීම, කබා දේවස්ථානය වටා ගමන් කිරීම, අරෆත් තලාවේ රැඳී සිටීම, සෆා සහ මර්වා කඳු අතර දිවයාම, යක්ෂයාට ගල් ගැසීම, සතුන් බිලිදීම, හිසකෙස් කැපීම හෝ හිස මුඩු කිරීම ඇතුළු තවත් දේ ඊට ඇතුළත් වේ.
මුස්ලිම් විද්වතුන් පවසන්නේ ඉස්ලාම් දහම බිහිවීමට වසර සිය ගණනකට පෙර සිටම මක්කම නගරයේ හජ් වන්දනාව බොහෝ දුරට මීට සමාන ආකාරයෙන්ම සැමරූ බවයි.
ඉතිං, හජ් උත්සවය අතරතුර සිදුකරන මෙම චාරිත්‍ර ආරම්භ වූයේ කවදාද සහ කෙසේද?
මෙම සිරිත් විරිත් පිටුපස ඇති කතාව සහ ඒවායේ සැඟවුණු අර්ථය කුමක්ද?
ඉහ්රාම් වන්දනාවේදී ශ්වේත වස්ත්‍රයෙන් සැරසීම
හජ් වන්දනාවේදී ඉටු කළ යුතු පළමු චාරිත්‍රය වන්නේ ඉහ්රාම් පිළිවෙතයි.
මක්කම නගරයෙන් දුරබැහැර ජීවත්වන පුද්ගලයන් මක්කම වෙත මාර්ගයේදී හමුවන සුවිශේෂී ස්ථානයකට පැමිණ මෙම හෙරාම් පිළිවෙත සම්පූර්ණ කළ යුතුව තිබේ.
'ඉහ්රාම්' යන අරාබි වචනයෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු සියලු ආකාරයේ පව් සහ තහනම් ක්‍රියාවලින් වැළකී සිටීමයි.
"සරලවම පවසන්නේ නම් ඉහ්රාම් යනු හජ් වන්දනාව සිදුකිරීමේ චේතනාව සහ ඒ සඳහා වන විශේෂිත වස්ත්‍රවලින් සැරසීමයි.'' ඩකා විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය ඉතිහාසය සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ආචාර්ය මුහම්මද් ඕමාර් ෆාරුක් බීබීසී බංග්ලා සේවය වෙත පැවසීය.
මෙම සුවිශේෂී අවස්ථාව සංකේතවත් කිරීම සඳහා පිරිමි වන්දනාකරුවන් මැහුම් සිදු කර නොමැති සුදු රෙදි කැබලි දෙකකින් සැරසී සිටිය යුතුය.
''ඒක හරියට මළ සිරුරක් ඔතන රෙදි කැබැල්ලක් වගේ'' කැනඩාවේ ඉස්ලාමීය තොරතුරු සහ දාවා මධ්‍යස්ථානයේ හිටපු සභාපති ආචාර්ය සබීර් අලි සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
"ඉහ්රාම් අවස්ථාවේදී එවැනි සළුවකින් සැරසී සිටීමෙන් අදහස් කරන්නේ අප අපගේ මැවුම්කරු මුණගැසීමට සූදානම් කියන එකයි," අලී පැවසුවේය.
පිරිමි පාර්ශවය ශ්වේත වර්ණ වස්ත්‍රයෙන් සැරසී සිටීම අනිවාර්ය වුවද, කාන්තාවන් සඳහා එවැනි නියමයක් නොමැත.
ඔවුන්ට අවශ්‍ය නම් ඕනෑම වර්ණයකින් යුතු ලිහිල් ඇඳුමකි සැරසී සිටිය හැක.
මුස්ලිම් විද්වතුන් පවසන්නේ ක්‍රිස්තියානි භක්තිකයන් ඒබ්‍රහම් ලෙස හඳුන්වන, ඊබ්‍රාහිම් නබිතුමා අරාබියේ ප්‍රථමයෙන්ම හජ් වන්දනාව ආරම්භ කළ බවයි.
කබා දේවස්ථානය ගොඩනැගීමෙන් පසු, අල්ලාහ් දෙවියන්ගේ අණ පරිදි ඊබ්‍රහිම් නබිතුමා හජ් වන්දනාව ආරම්භ කළ අතර, සුදු වස්ත්‍ර හැඳීම ඇතුළු හජ් වන්දනාවේ සියලුම චාරිත්‍ර එහිදී හඳුන්වා දෙනු ලැබුවේය" ඩකා විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙකු වන ෆාරුක් බීබීසී බංග්ලා සේවයට පැවසුවේය.
හිසකෙස් සහ නිය නොකැපීම
ඉහ්රාම් තත්ත්වයට පත් වූ අවස්ථාවේ සිට ඔවුන් හජ් වන්දනාව අවසන් කරන තෙක් වන්දනාකරුවන් නීති රීති කිහිපයක් අනුගමනය කළ යුතුය.
ආරවුල්වලින් වැළකී සිටීම, ලිංගික සබඳතාවලින් වැළකී සිටීම, හිසකෙස් සහ රැවුල නොකැපීම, දෙඅත්වල සහ පාදවල නියපොතු නොකැපීම, සතුන් මැරීමෙන් හෝ ලේ වැගිරීම්වලින් වැළකී සිටීම, මෙන්ම අපහාස කිරීම් හෝ කේලාම් කීමෙන් වැළකී සිටීම වැනි තවත් දෑ ඊට ඇතුළත් වේ.
මුස්ලිම් විද්වතුන් විශ්වාස කරන්නේ ශ්වේත වර්ණ වස්ත්‍රයෙන් සැරසීම මෙන්ම මේවා ද ඊබ්‍රාහිම් නබිතුමාගේ කාලයේදීම හඳුන්වා දුන් ඒවා බවයි.
"මෙයින් අදහස් කරන්නේ හජ් සමයේදී, අපි දෙවියන් වහන්සේට ඉතා සමීප ස්ථානයකට ළඟා වන බව සහ අපට තවදුරටත් බාහිර අලංකරණය වගේ සුළු කාරණා කෙරෙහි අවධානය යොමු කිරීමට ආශාවක් නොමැති බවයි," කැනඩාවේ ඉස්ලාමීය තොරතුරු සහ දාවා මධ්‍යස්ථානයේ හිටපු සභාපති ආචාර්ය සබීර් අලි පැවසීය.
කබා දේවස්ථානය වටා ප්රදක්ෂිණා කිරීම
ඉහ්රාම් පිළිවෙතට පත්වීමෙන් පසු හජ් වන්දනාවේ දෙවන චාරිත්‍රය වන්නේ, ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ස්ථානය වන කබා දේවස්ථානය වටා සත් වරක් පැදකුණු කිරීමයි.
වන්දනාකරුවන් සාමාන්‍යයෙන් මෙම තවාෆ් චාරිත්‍රය හෝ කබා දේවස්ථානය වටා පැදකුණු කිරීමේ චාරිත්‍රය සිදු කරන්නේ ඔරලෝසු කටුව කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට දෙපයින් ඇවිදයාමෙන් ය.
මුස්ලිම් විද්වතුන් විශ්වාස කරන්නේ මෙම චාරිත්‍රය ද ඒබ්‍රහම් නබිතුමාගේ කාලයේදී හඳුන්වා දුන් බවයි.
කෙසේවෙතත් ජනතාව ඔරලෝසු කටුව කැරකෙන දිශාවට ප්රතිවිරුද්ධව ගමන් කරන්නේ ඇයිද යන්න සහ එම සංඛ්‍යාව හතක් වූයේ ඇයිද යන්න පිළිබඳ පැහැදිලි අර්ථකතනයක් නොමැති බව ඔවුහු පවසති.
''ඇත්තම හේතුව සහ මෙය පිටුපස තිබෙන අභිරහස දන්නේ දෙවියන් පමණයි'' 'Let the Quran Speak' වැඩසටහ සමග අදහස් දක්වමින් මුස්ලිම් විද්වතෙකු වන ආචාර්ය සබීර් අලි ප්‍රකාශ කළේය:
කෙසේවෙතත් ඇතැම් ඉස්ලාමීය දේවධර්මවාදීන් විශ්වාස කරන්නේ කබා දේවස්ථානය වටා පැදකුණු කිරීම ස්වර්ගයේ පිහිටි දේවදූතයන් ඒ වටා ගමන් කරන 'බයිතුල් මාමූර්' ලෙස හඳුන්වන වූ ශුද්ධ වූ මන්දිරයට සමාන බවයි.
''කබා දේවස්ථානය 'බයිතුල්ලාහ්' හෙවත් අල්ලාහ්ගේ නිවස ලෙස හඳුන්වන්නේ ඒ නිසයි. වන්දනාකරුවන් මෙම ශුද්ධ වූ මන්දිරය වටා හත්වාරයක් පැදකුණු කරන්නේ තමන් සම්පූර්ණයෙන්ම මැවුම්කරු මත යැපෙන බව පෙන්වීම සඳහායි," අලි පැවසීය.
ඉස්ලාමීය චින්තකයන් පවසන්නේ හජ් වන්දනාවේ මෙම අංගය ඉස්ලාම් දහම බිහිවීමට පෙර යුගයේදී ද අනුගමනය කර ඇති බවයි.
''මේක ඊබ්‍රාහිම් නබිතුමාගේ කාලයේ සිටම පැවත එන්නක්.'' ඩකා විශ්වවිද්‍යාලයේ ආචාර්ය මුහම්මද් ඕමාර් ෆාරුක් බීබීසී බංග්ලා සේවයට පැවසීය.
ඉස්ලාම් දහමේ නබිතුමා උපත ලැබූ කාලය වන විට කබා වටා ගමන් කිරීමේ සිරිත සැලකිය යුතු සුළු වෙනස්කම් කිහිපයකට ලක්ව තිබූ බව ඔවුහු පවසති.
"එකල අරාබිවරුන් කබා දේවස්ථානය වටා පැදකුණු කළේ නිරුවතින් බව දන්න දෙයක්නේ. පසුකාලීනව ඉස්ලාම් දහම මගින් එය තහනම් කර ඊබ්‍රාහිම් නබිතුමා විසින් මුලින්ම හඳුන්වා දුන් නිවැරදි චාරිත්‍රය නැවත ගෙනාවා" ෆාරුක් බීබීසී බංග්ලා සේවයට ප්‍රකාශ කළේය.
සෆා සහ මර්වා අතර දිව යාම
හජ් චාරිත්‍ර ඉටුකිරීමේදී වැදගත් අංගයක් වන්නේ සෆා සහ මර්වා කඳු අතර සත් වතාවක් දිවයාමයි.
ඉස්ලාම් දහමට අනුව, දෙවියන් වහන්සේගේ අණ පරිදි ඊබ්‍රහිම් නබිතුමා සිය බිරිඳ වූ හාගර් සහ බිළිඳු පුත් ඉෂ්මායෙල් මක්කම සෆා සහ මර්වා කඳු අසල තබා ගියේය.
ජලය අවසන් වූ විට, හාගර් ජලය සොයමින් සෆා සහ මර්වා කඳු අතර සත් වතාවක් දිව ගියේය.
අනතුරුව මැවුම්කරුගේ අණින් එහි ළිඳක් නිර්මාණය වූ අතර හාගර් සහ ඇගේ බිළිඳු පුත්‍රයා එයින් ජලය පානය කරමින් ඔවුන්ගේ පිපාසය සංසිඳුවා ගත්හ.
මෙම ළිඳ පසුකාලීනව 'සම්සම් ළිඳ' ලෙස ප්‍රසිද්ධ විය.
"හජ් වන්දනාවේදී සෆා සහ මර්වා කඳු අතර සත් වතාවක් දිව යාමේ ක්‍රියාව, ඉෂ්මායෙල් සහ ඔහුගේ මව වූ හාගර්ගේ සිදුවීම සංකේතවත් කරනවා" කැනඩාවේ ඉස්ලාමීය තොරතුරු සහ දහවා මධ්‍යස්ථානයේ හිටපු සභාපති ආචාර්ය සබීර් අලි පැවසුවේය.
අරෆත් තැනිතලාවේ රැඳී සිටීම
මිනාහි රාත්‍රිය ගත කිරීමෙන් පසු, වන්දනාකරුවන් හජ් උත්සවයේ දෙවන දිනයේදී අරෆත් තලාව බලා ගමන් කරයි. අනතුරුව, දවස පුරාම එහි රැඳී සිටිමින් යාච්ඤා කිරීම හජ් වන්දනාවේ වැදගත් චාරිත්‍රයක් ලෙස සැලකේ.
අනතුරුව පස්වරුවේ එම වන්දනාකරුවන් මුස්දලිෆා බලා යන අතර එදින රාත්‍රිය එහි විවෘත අහස යට ගත කරයි.
මුස්ලිම් විද්වතුන් විශ්වාස කරන්නේ ආබ්‍රහම් නබිතුමාගේ සහ ඔහුගේ බිරිඳගේ සහ පුත්‍රයාගේ ඉතිහාසය මිනා සිට මුස්දලිෆා දක්වා සිදුකරන මෙම ක්‍රියාවලට සමඟ සම්බන්ධ වී තිබෙන බවයි.
දවස පුරා උණුසුම මධ්‍යයේ අරෆත් තලාවේ රැඳී සිටීමෙන් පසු මුස්දලිෆාහි විවෘත අහස යට ගත කරන මෙම කාලය සුවිශේෂී ආධ්‍යාත්මික වැදගත්කමකින් යුක්ත වන බවද ඔවුහු පවසති.
"අරෆත් සහ මුස්දලිෆාහි රැඳී සිටීම තුළින් ඔවුන්ට වටහා ගත හැකි වන්නේ අවසාන විනිශ්චය දිනයේදී යහපත් ක්‍රියා හැර ලෝකයේ කිසිදු ධනයක්, කීර්තියක් හෝ බලපෑමක් අපට ප්‍රයෝජනවත් නොවන බවයි," ඩකා විශ්වවිද්‍යාලයේ ඉස්ලාමීය ඉතිහාසය හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ආචාර්ය මුහම්මද් ඕමාර් ෆාරුක් මහතා බීබීසී බංග්ලා සේවයට පැවසුවේය.
එමෙන්ම, හජ් වන්දනා සමයේදී අරෆත් සහ මුස්දලිෆා වෙත මිලියන සංඛ්‍යාත ජනතාවක් මෙලෙස රැස්වීම, ඉස්ලාම් දහමේ විස්තර කෙරෙන 'විනිශ්චය පිටිය' හෝ විනිශ්චය දිනය සිහිගන්වන්නක් බව බොහෝ දෙනෙකු විශ්වාස කරති.
යක්ෂයාට ගල් ගැසීම
හජ් වන්දනාවේ වැදගත්ම කොටසක් වන්නේ සාතන් වෙත ගල් ගැසීමයි.
මුස්දලිෆා සිට ආපසු පැමිණෙන විට, වන්දනාකරුවන් කුඩා ගල් කැට හතක් එකතු කරගෙන මිනා වෙත පැමිණෙයි.
එහි සාතන්ගේ නමින් සංකේතාත්මක තාප්පයක් ඉදිකර ඇති අතර, එය 'මහා ජමරාත්' ලෙස හැඳින්වේ. වන්දනාකරුවන් තමන් එකතු කරගත් ගල් කැට හත එම තාප්පයට විසි කරති.
මිනාහි මෙවැනි තවත් යක්ෂයාගේ තාප්ප දෙකක් පවතී. හජ් වන්දනාවේ අවසාන දින දෙකේදී ඔවුන් ඒවාටද හත් වතාව බැගින් ගල් ගසනු ලැබේ.
''සාතන්ගේ නපුරු කුමන්ත්රණවලින් බේරීම සඳහා ඊබ්‍රහිම් නබිතුමා සාතන්ට ගල් ගැසුවා. සංකේතාත්මකව සාතන්ට ගල් ගැසීමේ අදහස පැමිණෙන්නේ එතැන් සිටයි" ඩකා විශ්වවිද්‍යාලයේ ඉස්ලාමීය ඉතිහාසය හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ආචාර්ය මුහම්මද් ඕමාර් ෆාරුක් බීබීසී බංග්ලා වෙත පැවසීය.
ඉස්ලාම් දහමට අනුව, දෙවියන් වහන්සේ ඉබ්රාහිම් නබිතුමාගෙන් පරීක්ෂණයක් ලෙස ඔහු වඩාත්ම ආදරය කරන දෙය කැප කරන ලෙස ඉල්ලා සිටියේය.
අනතුරුව ආබ්‍රහම් ඔහුගේ ආදරණීය පුත් ඉෂ්මායෙල්ව කැප කිරීමට තීරණය කළේය. ඉෂ්මායෙල් ද තම පියාගේ තීරණය පිළිගත්තේය.
ඉන්පසුව ඔහු තම පුත්‍රයා රැගෙන විවෘත අරෆත් තලාව වෙත ගියේය.
එහිදී, ඔහු ඉෂ්මායෙල්ව කැප කිරීමට සූදානම් වන විට සාතන් නපුරු උපදෙස් දෙමින් ඊබ්‍රහිම් නබිතුමාගේ එම ක්‍රියාවට බාධා කිරීමට උත්සාහ කළේය.
එවැනි තත්ත්වයක් හමුවේ ඊබ්‍රහිම් ස්ථාන තුනකදී සාතන් වෙත ගල්වලින් දමා ගැසුවේය.
මුස්ලිම් විද්වතුන් විශ්වාස කරන්නේ හජ් වන්දනාවේදී ගල් ගැසීමේ චාරිත්‍රය පසුව හඳුන්වා දෙනු ලැබුවේ මෙම සිදුවීමට සිහිපත් කිරීමක් ලෙස බවයි.
සතෙකු කැපකිරීම
යක්ෂයාට ගල් ගැසීමෙන් පසුව මිනාහිදී සතුන් බිලිදීමේ සම්ප්රදායක් පවතී.
මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ ඊබ්‍රහිම් නබිතුමාගේ ඉතිහාසය මෙම චාරිත්‍රය ඉටු කිරීම සමඟද සම්බන්ධ වී ඇති බවයි.
දෙවියන් වහන්සේගේ අණ පරිදි, ඉබ්රාහිම් නබිතුමා තම බිළිඳු පුත් ඉෂ්මායෙල්ව (ඉස්මායිල්) බිලිදීම සඳහා අරෆත් තලාව වෙත රැගෙන ගියද, අවසානයේදී ඔහුට අනතුරක් සිදු නොවූ බව ඔවුහු විශ්වාස කරති.
ඉබ්රාහිම් නබිතුමාගේ ඇදහිල්ල සහ කීකරුකම පිළිබඳව සතුටට පත්වූ මැවුම්කරු ඉෂ්මායෙල් වෙනුවට සතෙකු බිලිදුන්නේය.
ඉස්ලාමීය විද්වතුන් පවසා තිබෙන්නේ එම සිදුවීම සිහිපත් කිරීමක් ලෙස, හජ් වන්දනාවේ තුන්වන දිනයේදී ගවයන්, එළුවන්, බැටළුවන් හෝ ඔටුවන් බිලිදෙන බවයි.
ඔවුන් විශ්වාස කරන්නේ මෙම බිලිදීම සිදු කරනු ලබන්නේ මැවුම්කරුට කෘතඥතාව පළ කිරීම සඳහා බවයි.
එදිනම 'ඊද්-උල්-අදා' හෙවත් කැපකිරීමේ උත්සවය ද සමරනු ලැබේ.
මෙම සතුන් බිලිදීමේ සිරිත ඉස්ලාම් දහමට පෙර යුගයේදී ද ක්‍රියාත්මක විය.
''නමුත් එකල බිලිදීම් සිදු කරනු ලැබුවේ විවිධ දෙවිවරුන් සහ දේවතාවියන් වෙනුවෙන් තමයි," ඩකා විශ්වවිද්‍යාලයේ ඉස්ලාමීය ඉතිහාසය හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ආචාර්ය මුහම්මද් ඕමාර් ෆාරුක් බීබීසී බංග්ලා සේවයට පැවසීය.
පසුකාලීනව මක්කම තුළ ඉස්ලාම් දහම ස්ථාපිත වූ පසු ඊබ්‍රහිම් නබිතුමා විසින් හඳුන්වා දෙන ලද මෙම බිලිදීමේ චාරිත්‍රය නැවත ගෙන ආ බව ඔහු පැවසුවේය.
හිස මුඩු කිරීම
හිස මුඩු කිරීම හජ් වන්දනාවේ තවත් වැදගත් කොටසකි.
සතුන් බිලිදීමෙන් පසු එදිනම හිසකෙස් බෑම සිදු කළ යුතුය.
"මූලිකව, හජ් වන්දනාවේ ආරම්භයේදී හැඳසිටින ඉහ්රාම්වලින් මිදීම සඳහා සිදු කරනු ලබන එක් සංකේතාත්මක ක්‍රියාවක් වන්නේ හිසකෙස් මුඩු කිරීමයි" ඩකා විශ්වවිද්‍යාලයේ ඉස්ලාමීය ඉතිහාසය හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ආචාර්ය මුහම්මද් ඕමාර් ෆාරුක් බීබීසී බංග්ලා සේවයට පැවසීය.
කෙසේවෙතත් වන්දනාවට එක්ව සිටින කාන්තාවන් හිසකෙස් සම්පූර්ණයෙන්ම මුඩු කිරීම අවශ්‍ය නොවන අතර ඔවුන් හිසකෙස්වලින් සුළු කොටසක් කපා දමයි.
ඉස්ලාමීය විද්වතුන් විශ්වාස කරන්නේ හිසකෙස් මුඩු කිරීමේ හෝ කැපීමේ මෙම චාරිත්‍රය ඊබ්‍රහිම් නබිතුමාගේ කාලයේ සිටම පැවත එන්නක් බවයි.
හජ් වන්දනාව ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයෙකු තුළ ඇති වන ආධ්‍යාත්මික වෙනස්කම්, හිසකෙස් මුඩු කිරීම හෝ කැපීම මඟින් සංකේතාත්මකව ප්‍රකාශ වන බව ද ඔවුහු විශ්වාස කරති.
හිස මුඩු කිරීමත් සමඟ හජ් වන්දනාව සඳහා වූ ඉහ්රාම් පිළිවෙත අවසන් වේ. අනතුරුව රැවුල කපා දැමීමට සහ අත් පා වල නිය කැපීමට කිසිදු බාධාවක් නොමැති බව මුස්ලිම් විද්වතුන් ප්‍රකාශ කර ඇත.