හෝමාගම පොලිස් අත්අඩංගුවේදී තරුණයෙක් මිය යාම: 'පහර දුන්නේ නෑ කියන එක බැහැර කරන්න බැහැ' - ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති

- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය ඉෂාර හර්ෂ කුමාරට අපරාධ අංශය තුළදී පහර දීමක් සිදු වූ බවට තොරතුරු ලැබෙමින් පවතින බව බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත පවසයි.
ඔහු මේ බව ප්රකාශ කළේ, බ්රහස්පතින්දා (ඔක්: 29) පැවති විශේෂ මාධ්ය හමුවකදී ය.
කෙසේ වෙතත්, එම තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු සිර මැදිරියට ඇතුළත් කිරීමට පෙර අපරාධ අංශයේ වෙනත් ස්ථානයක රඳවා තබා ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි ඔහු පැවසුවේ ය.
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා සඳහන් කළ පරිදි, සැකකරු එම ස්ථානයේ "පැය ගණනාවක් රඳවා තබා ගැනීමෙන් පසු සිර මැදිරියට ඇතුළත් කර ඇති අතර, එම කාලය අතරතුර ඔහුට අපහසුතා ඇති වී තිබේ. පසුව සැකකරු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට සෞඛ්ය සංකූලතා පැවති බවට වාර්තා වී නොමැති බව ද ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා පැවසීය.
"මම කිව්වානේ සිර මැදිරියට දාන්න ප්රථම ඔහු රඳවා තිබුණා කියලා යම්කිසි කාලයක් අපරාධ අංශයේ. ඒ තුළදී පහර දීමක් සිදුවූ බවට අපිට තොරතුරු ලැබෙමින් පවතිනවා. තාම ස්ථිර නැහැ. ඒ සම්බන්ධයෙන් තමයි අපි විමර්ශනය කරන්නේ. කොහොම වුණත් මට බැහැර කරන්න බැහැ පහර දුන්නේ නෑ කියන එක."
ඔහුගේ මරණයට හේතුව "පහර දීමක්" බවට විශ්වාස කරන බව ද ඔහු පැවසීය. කෙසේ වෙතත් ඒ බව නිශ්චිතව ප්රකාශ කළ හැක්කේ වෛද්ය වාර්තාව ලැබීමෙන් අනතුරුව බව ඔහු තවදුරටත් පැවසීය.
"ඔහුගේ වෛද්ය වාර්තාවේ තියෙන්නේ, ඔහුගේ ඉල ඇට තුනක් කැඩිලා කියලා. මොළයේ රුධිරය වහනය වීමක් සම්බන්ධයෙන් වෛද්ය වාර්තාවේ සඳහන් වෙනවා. දැනගන්නට තියෙන තොරතුරු අනුව හිස තුවාල වීමක් තියෙනවා," ඔහු සඳහන් කළේ ය.
සැකකරුට එරෙහිව මත්ද්රව්ය සම්බන්ධයෙන් ප්රබල චෝදනා නොමැති වුව ද, ඔහු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගෙන ඇති බවත්, මත්ද්රව්යවලට ඇබ්බැහි වූ අයෙකු ලෙස හඳුනාගෙන ඇති බවත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා පැවසීය.
'අත්අඩංගුවට ගැනීමට පෙර දින රෝහල්ගතව සිටියා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මිය ගිය ඉෂාර හර්ෂ කුමාර අත්අඩංගුවට පත් වූ ඔක්තෝබර් 25 වන දාට පෙර දින, එනම්, ඔක්තෝබර් 24 වන දින හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව සිට ඇතැයි බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මෙම මාධ්ය හමුවේදී සඳහන් කළේ ය.
"මෙම තරුණයා අත්අඩංගුවට පත් වන්නේ 25 වන දා අලුයම් කාලයේදී. නමුත් මෙම තරුණයා ඊට කලින් දවසේ, 24 වන දා රෝහල්ගත වෙලා ඉඳලා තියෙනවා."
එදින තමන් "බයිසිකලයකින් වැටුණු බව පවසා" රෝහල්ගත වී ඇති බව ඔහු පැවසීය.
"මේ තරුණයා පැය කිහිපයක් රෝහල්ගතව ඉඳලා, වෛද්යවරුන්ගේ අවසරයක් නොමැතිව රෝහලෙන් පලා ගොස් තිබෙනවා. නමුත් පසුව අනාවරණය වෙනවා, මොහු අත්අඩංගුවට පත් වීමට ප්රථම, බයිසිකලයකින් වැටුනා කිව්වාට, සිද්ධ වෙලා තියෙන්නේ දෙපිරිසක් අතර ආරවුලක් ඇති වෙලා, මෙයාට පහර දීමක් සිද්ධ වෙලා තියෙනවා [කියලා]. පහර දීමෙන් අනතුරුව තමයි රෝහල්ගත වෙලා තියෙන්නේ," ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
එම පහර දීම සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශනය කරන බව ඔහු පැවසීය.
සැකකරුට අසනීප තත්ත්වය ඇති වූයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ද, නැතහොත් පොලිස් ස්ථානය තුළදී ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
'අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන්ගේ ක්රියාකලාපය ගැන ගැටලු'
බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත සඳහන් කළේ, ඉෂාර හර්ෂ කුමාර අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් නිසි ක්රියාපටිපාටිය අනුගමනය කර නොමැති බව ය.
"අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් සිදු කළ යුතු සම්පූර්ණ ක්රියාදාමය... ඔහුව ස්ථානයට ඉදිරිපත් කිරීම, ප්රශ්න කිරීම, ලේඛනවල ලකුණු කිරීම මේ ආදී දේවල් නිසි පරිදි සිද්ධ වෙලා නැහැ.
"සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ ශාරීක තත්ත්වය අපි ලියන්න ඕනේ. ඥාතීන්ට දැනුම් දෙන්න ඕනේ... ඒ වගේ ක්රියාමාර්ග රැසක් තියෙනවා. ඒවා නිසි පරිදි සිද්ධ වෙලා නැහැ," ඔහු පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
ඒ අනුව, හෝමාගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ දූෂණ මර්දන වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ සහ උපසේවක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය ඔක්තෝබර් 26 වන දා සිට අත්හිටුවීමට හෝමාගම දිස්ත්රික් (i) පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබිණි.
පොලිස් මාධ්ය කොට්ඨාසය ඔක්තෝබර් 28 වන දා නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, සැකකරු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උපපොලිස් පරීක්ෂකවරයා එදින සවස හෝමාගම පොලිස් ස්ථානයේදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගනු ලැබූ බව ය.
ඒ අනුව, ඔහු හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත පැවසීය.
'අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මීට පෙරත් චෝදනා'
වැඩතහනමට ලක් වූ හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, උප්පුවේලි පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී මීට පෙර ද "සැකකරුවෙකුට පහර දීමක් සම්බන්ධ" චෝදනාවලට ලක්ව ඇති බව පෙන්වා දෙමින්, ඔහු හෝමාගම වැනි කාර්යබහුල පොලිස් ස්ථානයක සේවයට යෙදවීම සම්බන්ධයෙන් මාධ්යවේදියෙක් මෙම මාධ්ය හමුවේදී ප්රශ්න කළේ ය.
ඊට පිළිතුරු දුන් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත;
"ඇත්තට ම උප්පුවේලිවල තමයි මීට පෙර සිද්ධියක් වාර්තා වෙන්නේ. නමුත් හෝමාගම කොට්ඨාසයට අනුයුක්තව සිටි කාලය තුළ ඔහුට අවශ්ය උපදෙස්... මම නෙවෙයි, ජ්යෙෂ්ඨ නිලධාරීන් ලබා දීලා තමයි ස්ථානාධිපති වශයෙන් පත් කරන්නේ.
"මම හිතන්නේ මාස 8ක් විතර වෙනවා. මේ කාලය තුළ එහෙම චෝදනාවකට ලක් වුණේ නැහැ. මේ සිද්ධිය වෙනකම් පහර දීමක්, බැන වැදීමක් හෝ නීතිවිරෝධී ක්රියාවක් වාර්තා වෙලා නැහැ.
"නමුත් ඔබ අහපු ප්රශ්නයට... මේ වගේ කාර්යබහුල ස්ථානයක ස්ථානාධිවරයෙක් පත් කිරීමේදී පත් කරන්න ඕනේ වඩා ජ්යෙෂ්ඨ නිලධාරියෙක්. නමුත් අපේ තියෙන අවශ්යතාව අනුව තමයි මේ පත් කරලා තියෙන්නේ," ඔහු පැවසීය.
උප්පුවේලි පොලිස් ස්ථානයේ සිද්ධිය සම්බන්ධයෙන් ද වෙන ම විමර්ශනයක් පැවැත්වෙන බව ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා පැවසීය.
ඔහුගේ පියා නියෝජ්ය පොලිස්පතිවරයෙකු ද යන්නත්, මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශනවලට ඔහුගේ පියාගෙන් බලපෑමක් එල්ල වූයේ ද යන්නත් මාධ්යවේදියෙක් මෙම මාධ්ය හමුවේදී ප්රශ්න කළේ ය.
"ඔහුගේ පියා විශ්රාමික පොලිස් නිලධාරියෙක්. ඔහු නියෝජ්ය පොලිස්පතිවරයෙක් නෙවෙයි. ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්. කොහොම වුණත් මේ සිද්ධිය සහ ඔහු අත්අඩංගුවට ගැනීම අතර සම්බන්ධයක් නැහැ," ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත පැවසීය.
"මොකද අපි මේ සිද්ධිය වුණු අවස්ථාවේදී ම විමර්ශන දෙකක් ආරම්භ කළා. එක දවසක් ඇතුළත අපි ඔහුව අත්අඩංගුවට ගත්තා. මුලින් ම වැඩ තහනම් කරලා. ඉතින් එහෙම කිසි ම බලපෑමක් නම් ඇවිල්ලා නැහැ," ඔහු සඳහන් කළේ ය.
මේ අතර, ඉෂාර හර්ෂ කුමාර සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයාට ද පහර දුන් බවට ඔහුගේ ඥාතීන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් එම පුද්ගලයාගෙන් ප්රකාශයක් සටහන් කර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බව ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම පුද්ගලයාගේ ප්රකාශය අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරන බව ය.
සිද්ධිය කුමක් ද?
පොලිසිය සඳහන් කරන පරිදි ඉෂාර හර්ෂ කුමාර අත්අඩංගුවට ගෙන තිබුණේ, ඔක්තෝබර් 25 වන දින හෝමාගම පොලිස් වසමේ පිටිපන හන්දියේදී හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් මගිනි.
ඔහු "අයිස් මත්ද්රව්ය සමග" අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර මූණමලේවත්ත, කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ ය.
සැකකරු හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට හෝමාගම පොලිස් ස්ථානය මගින් වාර්තා කර ඇතැයි පොලිස් මාධ්ය කොට්ඨාසය පැවසීය.
කෙසේ වෙතත්, ඔහුගේ බිරිඳ පියුමි නිසංසලා බීබීසී සිංහල වෙත පැවසුවේ, "පොලිස් පහර දීමක් හේතුවෙන්" තම සැමියා මිය ගිය බව ය.
"ගහලා මැරුවේ... එයාට කිසි ම ලෙඩක් තිබුණේ නෑ. කකුල් දෙකෙන් ඇවිදන් ගිය මනුස්සයෙක් එනකොට කොහොම ද උස්සගෙන එන්නේ. තිරිසනෙකුට වගේ ගහන්න ඇති බඩවල්වල නිල් පැල්ලම්, කටෙන් ලේ පැනලා," ඇය පැවසුවා ය.
හෝමාගම පොලිසිය ඔක්තෝබර් 25 වන දා උදෑසන දුරකතන ඇමතුමක් ලබා දී පියුම් නිසංසලා හට දැනුම් දී තිබුණේ, ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බව ය. ඒ අනුව සිය පස් හැවිරිදි දරුවා ද සමග ඇය පොලිසිය වෙත ගොස් තිබිණි.
එලෙස පොලිසිය වෙත ගිය පියුම් නිසංසලා, කුඩා දරුවා බියට පත්වනු ඇතැයි සැකයෙන් සිර මැදිරිය වෙත ගොස් සිය සැමියා මුණ ගැසී නැත.
කෙසේ වෙතත්, සිය සැමියා බැලීමට හෝමාගම පොලිසියට ගිය පසුව දුටු දේ ඇය බීබීසී සිංහල වෙත විස්තර කළා ය.
"මම පොලිසියේ තිබුණ ශාලාවක ඉඳගෙන හිටියා. ඉඳගෙන ඉන්නකොට ටික වෙලාවකින් මගේ මහත්තයාවයි, එයත් එක්ක අල්ලපු එයාගේ යාළුවාවයි අරන් ගියා අපරාධ අංශය පැත්තට. අරන් ගිහිල්ලා ටික වෙලාවක් යද්දී කෑගහන සද්දේ ඇහුණා. අයියෝ කියලා වගේ දෙන්නා ම කෑගහනවා ඇහුණා. මට කවුද කියලා අඳුරගන්න බැරි වුණා.
එලෙස හෝමාගම පොලිසියේ අපරාධ අංශය වෙත ගෙන යන ලද සිය සැමියා අත් සහ පාදවලින් ඔසවාගෙන නැවත පොලිස් සිරමැදිරිය වෙත රැගෙන එන අයුරු මෙන් ම සැමියා සමග අත්අඩංගුවට ගනු ලැබූ අනිත් පුද්ගලයා කොර ගසමින් ඇවිද එන ආකාරය පියුමි නිසංසලා දැක තිබිණි.


































