ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොළ පාට වාහන අංක තහඩු පිළිබඳ අර්බුදය කුමක් ද?: ඔබ දැනගත යුතු කරුණු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
නව අංක තහඩු ලබා දීමේ ක්‍රමවේදය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් විද්‍යුත් වාහනයක් සඳහා නිකුත් කරන ලද කොළ පැහැති අංක තහඩුවක් සම්බන්ධයෙන් එම වාහනයක හිමිකරුවෙකු සහ පොලිසිය අතර හටගත් බව කියන මතභේදාත්මක සිදුවීමක් පිළිබඳව පසුගිය දා සමාජ මාධ්‍යවල වීඩියෝවක් සංසරණය විය.
දෙව්ම් රණසිංහ නමැති අයෙකු විසින් සැප්තැම්බර් 5 වන දින ෆෙස්බුක්හි පළ කරනු ලැබ ඇති එම වීඩියෝවේ දැක්වෙන්නේ, විද්‍යුත් වාහන සඳහා රජය විසින් කරනු ලබන කොළ පැහැති අංක තහඩු පිළිබඳව වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් නොදැන සිටි බව ය.
"වැලිවේරිය පොලිසිය කොළ පාට නම්බර් ප්ලේට් එකට මාව නතර කරා! ඒගොල්ලෝ දැනුවත් නෑ ලු ඒ ගැන!" එම වීඩියෝවට ඉහළින් ඔහු තැබූ සටහනේ සඳහන් විය.
'OICත් කිව්වා එහෙම ගැසට් එකක් ගහලා නෑ කියලා'
මෙම සිද්ධියට මුහුණ දුන් බව කියන ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දෙව්ම් රණසිංහ තමන් මුහුණ දුන් අත්දැකීම බීබීසීය සමග සංවාදයට එක්වෙමින් මෙලෙස විස්තර කළේ ය.
"ඊයේ හවස 1.30ට විතර මම ප්‍රැක්ටිස් ඉවර වෙලා මහරගම ඉඳලා ගෙදරට එද්දී ගෙවල් හරියෙදී එක පාරට පොලිසියෙන් නතර කරලා ඇහුවා පුතා නම්බර් ප්ලේට් එක කොහෙන් ද ගැහුවේ කියලා. මම කිව්වා RMV එකෙන් එන නම්බර් ප්ලේට් එක, ඊයේ තමයි ගැහුවේ, BYD එකෙන් අපිට කතා කරලා තමයි නම්බර් ප්ලේට් එක දුන්නේ කියලා."
ඔහු සඳහන් කරන පරිදි, එම පොලිස් නිලධාරීන් ඔහුගේ රියැදුරු බලපත්‍රය සහ වාහනයේ ලියාපදිංචි ලේඛනය ඇතුළු ලේඛන කිහිපයක් ඔවුන් භාරයට ගෙන තිබේ.
"ඊට පස්සේ මට කිව්වා ඇත්ත කියන්න මෙහෙම නම්බර් ප්ලේට් නැහැ, අපි දැනුවත්ව නම් ගැසට් එකක්වත් ගහලා නැහැ කියලා කිව්වා. මම කිව්වා එහෙනම් පොලිසියට කතා කරලා අහලා බලන්න කියලා.
"ඊට පස්සේ වැලිවේරියේ ට්‍රැෆික් OICට ඒ අය කතා කළා. OICත් කිව්වා එහෙම ගැසට් එකක් ගහලා නැහැයි කියලා," යැයි දෙව්ම් රණසිංහ පැවසීය.
අනතුරුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් තම වාහනයට අයත් නව අංක තහඩුව ලබා ගත හැකි බවට දන්වමින් එවන ලද කෙටි පණිවිඩය පෙන්වීමෙන් පසු තමන්ට පිටත් වීමට එම නිලධාරීන් අවසර ලබා දුන් බව ඔහු සඳහන් කළේ ය.
'EV වාහනවලට කොළ පාට නම්බර් ප්ලේට්ස්'
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ප්‍රනාන්දුගෙන් විමසූ අතර ඔහු පැවසුවේ, "සියලු ම පූර්ණ විද්‍යුත් වාහන සඳහා කොළ පැහැති අංක තහඩු නිකුත් කරන" බව ය.
එසේ වුව ද, සෙසු වාහන සඳහා නිකුත් කරන අංක තහඩුවල වර්ණයේ කිසිදු වෙනසක් නොවන බවත් ඒවා පෙර පැවති වර්ණවලින් ම නිකුත් කරන බවත් ඔහු පැවසීය.
"පූර්ණ වශයෙන් විද්‍යුත් නම් EV වාහන ඔක්කොට ම කොළ පාට නම්බර් ප්ලේට්ස් තමයි දෙන්නේ," කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේ ය.
තව ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, "කොළ පාට අංක තහඩු නිකුත් කරන්න තීරණය ගත්තේ, ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවීණයන් පිරිසක් එකතු වෙලා. ඒ නිසා මෙම අවුරුද්දේ ඉඳන් ලියාපදිංචි වෙන සියලු ම EV වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක් තමයි ඉදිරිපසටත් පසුපසටත් නිකුත් කරන්නේ."
ඒ අනුව, "සියලු ම EV වාහන සඳහා මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, කාර්, SUV වගේ මේ හැම වාහනයක් සඳහා ම අපි නිකුත් කරන්නේ මෙතැනින් එහාට කොළ පැහැති අංක තහඩු. ඒවා නීත්‍යනුකූලයි," ඔහු තවදුරටත් පැවසීය.
ඊට අමතරව මෙම කාලයට පෙර ලියාපදිංචි කළ විද්‍යුත් වාහනවලට ද මුද්‍රණය ප්‍රමාද වී ඇති අංක තහඩු ලබා දීමෙන් පසුව "බොහෝ දුරට කොළ පාට අංක තහඩු ලබා දීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේ ය.
'EV වාහනවලට කොළ පාට නම්බර් ප්ලේට්ස් නිකුත් කරන එක ගැන කලින් දැනුම් දීලා තියෙන්නේ'
ප්‍රශ්නගත වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ තමන් ද දුටු බව පැවසූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ප්‍රනාන්දු, "තමන් පොලිස්පතිවරයා අමතා" නව ක්‍රමවේදය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටි බව ද සඳහන් කළේ ය.
එසේ වුව ද විද්‍යුත් වාහන සඳහා කොළ පැහැති අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධව මීට ඉහත ද පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබූ බව කොමසාරිස් ජනරාල්වරයා බීබීසී සිංහල වෙත පැවසීය.
"EV වාහනවලට කොළ පාට නම්බර් ප්ලේට්ස් නිකුත් කරනවා කියන එක නිල වශයෙන් දැනුම් දීලා තියෙන්නේ තියෙන්නේ කලින්. අපි දැන් නේ නිකුත් කරන්න පටන් ගත්තේ," ඔහු සඳහන් කළේ ය.
ගැසට් පත්‍රය?
මේ අතර, අංක තහඩු ලක්ෂ හතරකට වැඩි ගණනක් මුද්‍රණය කිරීමට ඉතිරිව තිබූ බවත් නැවත ආරම්භ කළ 2026 ජූනි 10 වන දා සිට ලක්ෂයක පමණ ගණනක් මුද්‍රණය කර අවසන් කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ප්‍රනාන්දු පැවසීය.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ "ඉදිරි මාස 6ක" වැනි කාලයක් තුළ "සියලු ම අංක තහඩු" ලබා දීමට කටයුතු කරන බව ය.
එමෙන් ම, රාත්‍රී වැඩ මුරයක් ද ක්‍රියාත්මක කර මෙම ක්‍රියාවලිය වේගවත් කරන ලෙස අංක තහඩු මුද්‍රණය කරන South Asian Technologies ආයතනය වෙත උපදෙස් ලබා දුන් බව ද ඔහු පැවසීය.
"කඩිනම් තීරණයක් ගත්තා, දැනට ඒ ආයතනය වැඩ කරන්නේ එක සේවා මුරයක්. ඒ නිසා රාත්‍රී වැඩ මුරයකුත් දාලා මේක කඩිනම් කරන්න කිව්වා. රාත්‍රී වැඩ මුරයත් එක්ක තව යන්ත්‍ර කිහිපයක් දාලා මේක කඩිනම් කරනවා.
"ඒ වගේ ම මම බලාපොරොත්තු වෙනවා ආරක්ෂා හමුදා නිලධාරීන්ගේ සේවයත් නැවත වතාවක් ලබා ගන්න මේක කඩිනම් කරන්න. කොහොම හරි ඉදිරි මාස 6 වගේ ඇතුළත මේ සියලු ම අංක තහඩු මහ ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.
තව ද, මීට අදාළ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ ද යන්න සම්බන්ධයෙන් ද බීබීසීය ඔහුගෙන් විමසීය.
"ගැසට් එක සම්බන්ධ ක්‍රියාවලිය සිදු වෙමින් පවතිනවා. [ගැසට් පත්‍රය] ඊළඟ පාර්ලිමේන්තුවට දාලා සම්මත වේවි," ඔහු ඊට පිළිතුරු දෙමින් පැවසීය.
පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට පියවර
මේ අතර, විද්‍යුත් වාහන සඳහා කොළ පැහැති අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව පොලිස් රථ වාහන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර බීබීසී සිංහල වෙත පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරනු ලැබිය යුතු බව ය.