තද වැසි, ප්‍රබල අකුණු සහ රළු මුහුදු තත්ත්වයක්: හදිසි කාලගුණික වෙනසට හේතුව කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ගැන දැනුම් දීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ය.
"මේ වන විට ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලිසහගත තත්ත්වයක් පවතිනවා. එහි බලපෑම මත දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වැසි වාර්තා වනවා.
විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලින් මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
මේ අතර ඊයේ (සැප්: 14) පෙරවරු 8.30 සිට අද (සැප්: 15) පෙරවරු 3.00 දක්වා වූ කාලසීමාව තුළ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එහි අගය මිලිමීටර් 146.5ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේය.
ඊට අමතරව, කළුතර හල්වතුර වත්ත ප්‍රදේශයෙන් මිලිමීටර් 123.5ක්, ගුරුදියපොත කර්මාන්ත ශාලා ප්‍රදේශයෙන් මිලිමීටර් 117ක් සහ රත්නපුර කරඳාන තේ කර්මාන්ත ශාලා ප්‍රදේශයෙන් මිලිමීටර් 114.5ක් ලෙස වර්ෂාපතනය වාර්තා වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Met Department
ප්‍රබල අකුණු පිළිබඳ දැනුම් දීමක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, ඒ පිළිබඳව මහජනතාව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මෙන් ම අම්පාර, මඩකලපුව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ද අකුණු අනතුරු පිළිබඳ වැඩි අවදානමක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
එම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තව ද, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු සහ සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන් ම, හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් කියා සිටියේ ය.
"දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය සලකා බැලීමේදී, බස්නාහිර සිට දකුණු මුහුද දක්වා වූ මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි යි. සමහර අවස්ථාවලදී ගිගුරුම් සහිත වැසි ද අපේක්ෂා කරනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුද තාවකාලිකව රළු විය හැකි යි. ඒ වගේ ම හලාවත සිට කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2–3ක් අතර දක්වා ඉහළ යා හැකි බැවින්, එම මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

































