2023 මාතර ගංවතුර: රාජ්‍ය ආයතන ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ශ්‍රී ලංකාව මෑත කාලයේ සිට ස්වභාවික විපත්වලට වැඩි වශයෙන් මුහුණ දෙන රටක් බවට පත්ව තිබේ.
මේවා ස්වභාවික විපත් වුව ද, ඇතැම්විට ඒවාට බලපා ඇත්තේ මානව ක්‍රියාකාරකම් වීම විශේෂත්වයකි.
2023 වසරේ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර දිස්ත්‍රිකයේ ප්‍රදේශ රැසක ඇති වූ ගංවතුර තත්ත්වය ද එවැනි ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් කර තිබේ.
නිසි අධ්‍යයනයකින් තොරව සිදු කර ඇති සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වුණු බව එහි සඳහන් කර ඇති අතර, එම නිසා අදාළ රාජ්‍ය ආයතන විසින් එම ප්‍රදේශවල ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ඉන් නිගමනය කර තිබේ.
සිදුවූයේ කුමක් ද?
2023 වසරේ ඔක්තෝබර් මාසයේදී ඇති වූ වර්ෂාවත් සමග ප්‍රදේශ ගණනාවක ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර, ඒ අතරින් මාතර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වය බැස යාමට වැඩි කාලයක් ගත විය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ සඳහන් වන ආකාරයට ඒ සඳහා සති කිහිපයක කාලයක් ගතවී තිබේ.
මේ නිසා මාතර දිස්ත්‍රික්කයේ බොහෝ පහත්බිම් ජලයෙන් යටවී, ගංවතුර පහව නොයාම නිසා පාසල් වසා දැමීමට සිදුවිය.
එමෙන් ම දින ගණනක් ගංවතුර බැස නොයාම නිසා එම දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී තිබූ අතර, මේ නිසා මී උණ, ඩෙංගු සහ පාචනය වැනි රෝගී තත්ත්වයන් වාර්තා වී තිබේ.
තව ද, මේ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ගොඩබිම ප්‍රදේශයට කිඹුලන් පැමිණීම ද සිදුව තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ, මේ අනුව 2023 වසරේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව විවිධාකාරයෙන් පීඩාවට පත්වූ බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වගකිවයුතු රාජ්‍ය ආයතන ඉදිරිපත් කර ඇති කරුණු
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉහත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබූ අධ්‍යයනයේදී මේ සිදුවීමට වගකිව යුතු රාජ්‍ය ආයතනවලින් ද කරුණු විමසීමක් සිදු කර තිබේ.
නිල්වලා ගඟේ ලවණ බාධකයක් ඉදිකිරීම ඇතුළු විවිධ හේතු සම්බන්ධයෙන් එහිදී කරුණු විමසා තිබේ.
එහිදී මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දී ඇත්තේ, මෙම ලවණ බාධකය ඉදි කිරීම සම්බන්ධයෙන් 2017 ඔක්තෝබර් මාසයේදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ඇගයීම් වාර්තාව ලබා දී ඇති අතර, එම වාර්තාව අනුව ඉදිකිරීම් ආරම්භ කරන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඔවුන්ට දැනුම්දිය යුතු වුවත් මධ්‍යම පරිසර අධිකාරියට ඒ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් නොදුන් බව ඔවුන් පවසා තිබේ.
මෙම ඉදිකිරීම් සීමාසහිත ලංකා හයිඩ්‍රොලික් ආයතනයේ අධ්‍යයනයන් සහ සංකල්පීය උපදේශන සේවා මත සිදුව තිබේ.
එම ආයතනය කරුණු දැක්වීමේදී සඳහන් කර ඇත්තේ, 2023 වසරේ ගංවතුර තත්ත්වය බැස යාම ප්‍රමාද වීමට මෙම ලවණ බාධකය ඉදිරිකිරීම යම් තරමකට බාධාවක් විය හැකිව තිබූ බව ය.
මීට අමතරව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවකින් කරුණු විමසීම් කර තිබේ.
සැලසුම්කරණයේ දෝෂ
මෙම සමස්ත ව්‍යාපෘතියේ දෝෂසහගත තැන් සහ පූර්ව අධ්‍යයනයන්හි දුර්වලතා සම්බන්ධයෙන් ද මානව හිමිකම් කොමිසම සිය වාර්තාවේ සඳහන් කර තිබේ.
නිල්වලා ගඟේ 2022 වසරේ ඉදිකර අවසන් කළ ලවණ බාධකය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පාරිසරික බලපෑමේ අධ්‍යයන වාර්තාව සහ තාක්ෂණික අධ්‍යයනය සිදු කළ, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය සැලසුම් පිළිබඳව ලබා දී ඇති වාර්තාවේ නිර්දේශයන් අනුව එය ඉදිකිරීමේදී කටයුතු කර නොමැති බව මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර තිබේ.
එමෙන් ම මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ, ලංකා හයිඩ්‍රොලික් ආයතනය විසින් සිදු කරන ලද පූර්ව අධ්‍යයන අවස්ථාවේදී නිල්වලා ගඟ ආශ්‍රිතව යම් භූමි ප්‍රදේශයක ගංවතුර තත්ත්වයක් පවතින බව හෙළි කරගෙන තිබීම ය.
එනමුත් ගංවතුර තත්ත්වය පාලනය කිරීමට හෝ අවම කිරීමට ගත යුතු ක්‍රමවේදයන් පිළිබඳව එහිදී අවධානය යොමුවී නොමැති බව මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර තිබේ.
එමෙන් ම ගිවිසුම්ගත ලංකා හයිඩ්‍රොලික් ආයතනය, අනාගතයේ ඇති විය හැකි කාලගුණික විපර්යාස හෝ භූගෝලීය වෙනස්කම් පිළිබඳව සහ ඒවායින් ඇති විය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් ගැඹුරු අවධානයක් යොමු කර නොමැති බව ද මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර තිබේ.
උක්ත ලවණ බාධකය ඉදිකිරීමෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට සහ කෘෂිකර්මාන්තයට බාධා පැමිණෙමින් තිබූ බවට 2022 මාර්තු මාසයේ පටන් නිලධාරීන් සහ ගොවි නියෝජිතයන් අතර සාකච්ඡා වෙමින් පැවති බව ද ඔවුන් නිරීක්ෂණය කර තිබේ.
රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණ දුර්වලතා
වගකිවයුතු රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය බිඳ වැටීම සම්බන්ධයෙන් ද වාර්තාවේ සඳහන් කර තිබේ.
නිල්වලා ගඟේ ලවණ බාධකය ඉදිකිරීම ආරම්භයේ සිට ම, වගවිය යුතු ආයතන අතර මනා සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට අසමත් වී ඇතැයි එහි සඳහන් වේ.
මෙම තත්ත්වය පිළිබඳව වාරිමාර්ග, කාලගුණ, මධ්‍යම පරිසර අධිකාරිය, ජාල සම්පාදන, නාගරික සංවර්ධන අධිකාරිය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධ නිගමනයකට පැමිණ තිබේ.
"2023 වර්ෂයේ ඇති වූ වර්ෂාපතනයෙහි පෙර වර්ෂාවන්ට වඩා යම් වෙනසක් (වැඩිවීමක්) සිදුවී ඇති බව නිරීක්ෂණය වුව ද, ලවණ බාධකය සැලසුම් කිරීමේදී සහ ඉදිකිරීමේ අවස්ථාවේදී රාජ්‍ය ආයතනවල වගකීම නිසි අයුරින් ඉටු නොකිරීම සහ පූර්ව ආපදා තත්ත්වය හඳුනා නොගැනීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය ඇති වීමෙන් සිදුවූ ජනතා අගතියට රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ඍජුව ම හේතු වී ඇති බව," කොමිෂන් සභාව නිගමනය කර තිබේ.
ක්‍රියාමාර්ග
මේ හේතුවෙන් ඉහත කී රාජ්‍ය ආයතන 2023 වසරේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වී පැමිණිලි සිදු කළ පැමිණිලිකරුගේ සහ සියලු අයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති නිසා, මේ වාර්තාව එළිදැක්වීමෙන් මාස දෙකක් තුළ, කොමිෂන් සභාව විසින් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ විධිමත් සැලැස්මක් කොමිෂන් සභාවට ලැබීමට සලස්වන ලෙස එම ආයතනවලට නියෝග කර තිබේ.
ඒ සඳහා, මාස 6ක් තුළ ආරම්භ කළ යුතු, වසරක් තුළ ආරම්භ කළ යුතු, වසර දෙකක් තුළ ආරම්භ කළ යුතු වශයෙන් එම ආයතනවලට ඉලක්ක ලබා දී තිබේ.
වන්දි ලබාදීම, මූල්‍යමය හෝ ද්‍රව්‍යමය සහන ලබාදීම ඉතා ඉක්මනින් සිදු කිරීමට එහි නිර්දේශ කර ඇති අතර, වසරක් තුළ ලවණ බාධකය ඇතුළු මෙයට බලපෑ වෙනත් හේතු සාධක සම්බන්ධයෙන් ද ක්‍රියාමාර්ග ගන්නා ලෙස එහි සඳහන් කර තිබේ.


































