විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය: නීති විශාරදයන්ගේ මතය කුමක් ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ද ඇතුළුව සියලු ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද (ජූලි 27) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

"සියලු ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වැඩි කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වුණා. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ඉදිරියේදී දැනුම් දෙනවා" බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසීය.

මේ සම්බන්ධයෙන් මේ වනවිට නීති ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් මතුව තිබේ.

එම යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අවස්ථා ගණනාවකදී සිය විරෝධය ප්‍රකාශයට පත්කර ඇත.

නීතිඥ සංගමයෙන් ආරම්භ වූ විරෝධය

ඉකුත් මැයි මස 25 වැනිදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය සංගමය විරුද්ධ වන බවට දැනුම් දී තිබිණි.

ඉකුත් ජුනි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර පැවති හමුවකදී උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ සේවය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී තිබිණි.

අධිකරණ ක්ෂේත්‍රය තුළ ගොඩගැසී ඇති නඩු අවසන් කිරීම සඳහා පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය අවශ්‍ය බවත්, එවැනි පසුබිමක උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

අධිකරණ ඇමතිට යොමු කළ ලිපිය

ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සිය දැඩි විරෝධය පළ කරමින් 2026 ජූලි 22 දින අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත නිල ලිපියක් යොමු කර තිබිණි.

මෙම සංශෝධනය හේතුවෙන් ඉදිරි වසර දෙකක කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය දක්වා වූ සමස්ත උසස්වීම් දාමය සම්පූර්ණයෙන්ම ඇණහිටින අතර, වෘත්තීය නිලධාරීන්ගේ අභිප්‍රේරණය දැඩි ලෙස පිරිහී යනු ඇති බව එම සංගමයේ අදහස වී තිබේ.

දැනටමත් අධිකරණ නිලධාරියෙකුට මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම් ලැබීමට අවම වශයෙන් වසර 17ක් පමණ ගතවන අතර, මෙම සංශෝධනය නිසා එම කාලය එකවරම වසර 19ක් දක්වා දීර්ඝ වන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මහාධිකරණ පත්වීම් ලැබෙන වේගයට සාපේක්ෂව වෘත්තීය විනිසුරුවරුන් පසුපසට යාම නිසා, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයට වෘත්තීය විනිසුරුවරුන් පත්වීමට දැනට ඇති 20%ක සීමිත අවස්ථාව ද අහෝසි වී යනු ඇති බටත් එම නිවේදනයේ සඳහන් වේ.

තවද උසස්වීම් ලැබීමට දශක දෙකකට වඩා ගතවන පසුබිමක, දක්ෂ තරුණ නීතිඥයින් අධිකරණ සේවයට එක්වීමෙන් වැළකී සිටිනු ඇති බවත්, එමගින් විනිශ්චයාසනයේ ගුණාත්මකභාවය පහළ වැටීමේ අවදානමක් මතුවන බවත් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට නම් පනත් සංශෝධනය කළ යුතු අතර, එය සෙසු මිලියන 2කට ආසන්න රාජ්‍ය සේවකයින් අතර ද විශ්‍රාම වයස පිළිබඳ අසමතුලිතතාවයක් සහ වෘත්තීය ගැටලු නිර්මාණය කිරීමට හේතු විය හැකි බවත් එම සංගමය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම කරුණු පිළිබඳ අවධානය යොමුකර අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා ස්ථාවර පැවැත්මට බලපෑම් එල්ල වන උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකර අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවට ඇති විශ්වසනීයත්වය සහ අඛණ්ඩ ගෞරවය ආරක්ෂා කරන ලෙසය.

'මේකට විරුද්ධ නැහැ - කරන විදිහ වැරදියි'

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආරම්භක විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ තීරණයට තමන් විරුද්ධ නොමැති නමුත් එය ක්‍රියාත්මක කරන ක්‍රමය නිවැරදි නොවන බව ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ විනිසුරුවරුන්ගේ සේවය දීර්ඝ කරන්නේ නම් එය කළ යුතු වන්නේ දැනට තනතුරේ සිටින විනිසුරුවරුන්ගේ නොව ඉදිරියේදී එම ධූරයට පත්කරනු ලබන විනිසුරුවරුන්ගේ බවය.

"මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරන එක ගැන මම නම් විරුද්ධ නැහැ. නමුත් මේ කරන ක්‍රමය නම් හරි නැහැ. දැන් ධූරයේ ඉන්න විනිසුරුවරුන්ගේ සේවය දීර්ඝ කරන එක හරි නැහැ. එහෙම දෙයක් කරනව නම් කරන්න ඕන විනිසුරුතුමෙක් ධූරයට පත් කරද්දී. හැබැයි තවමත් විනිසුරුතුමන්ලා ධූරයේ ඉන්න කොටනේ මේ කරන්න යන්නේ. එහෙම කරන එක හරි නැහැ. ඇත්තම කිව්වොත් මේක කරන්නේ එක්කෙනෙක්ගේ කාල සීමාව වැඩි කරන්නනේ. ඉතින් ඔක්කොමලා මේකට අහුවෙලා තියෙනවා. මේක කරනවනම් විනිශ්චකාරවරුන් පත් කරන කොට කිව්වනම් මේ වයසේදී තමයි ඔයා විශ්‍රාම යන්නේ කියලා, ඒක තමයි හරිම දේ." ඔහු පැවසුවේය.

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු කියා සිටියේ මෙම ක්‍රියාවලිය හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල වන බවය.

''හැබැයි මේක කරන කොට සමහර මිනිස්සු කියයි ඒක කරන්නේ මේගොල්ලෝ ස්වාධීන නැහැ කියලා. මේක කරන්නේ ආණ්ඩුවට පක්ෂපාති ඒ නිසා එයාලගේ කාලය වැඩි කරන්නේ කියලා. මේකෙන් අධිකරණ ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් තියෙනවා ඒ කියන්නේ අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධීනත්වයට මේකෙන් බලපෑමක් එල්ල වෙනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තියෙන්නේ විධායකය, පාර්ලිමේන්තුව සහ අධිකරණය කියලා. ඒක ගැටලුවකට පත් කරන්න හොද නැහැ.'' ඔහු පැහැදිළි කළේය.

'විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කරන්න ඕන'

මේ අතර ගම්පහ දිසා අධිකරණයේ නීතිඥ වරුණ ගුණරත්න පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 70 දක්වා දීර්ඝ කළ යුතු බවය.

ඊයේ (ජූලි 26) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු පැවසුවේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ වයස් සීමාව දීර්ඝ කිරීමට සමගාමීව සෙසු විනිසුරුවරුන්ගේ ද විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කළ යුතු බවය.

"මගේ පෞද්ගලික මතය නම්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 70 දක්වා දීර්ඝ කළ යුතු බවයි. ඊට අනුරූපව පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ වයස් සීමාව ද දීර්ඝ කළ යුතුයි. ඔබතුමන්ලා දැකලා ඇති, සමහර සංවේදී නඩු විභාග වෙමින් පවතින අතරතුර අදාළ විනිසුරුවරුන් විශ්‍රාම යන අවස්ථා. එවිට ඒ වෙනුවට තවත් විනිසුරුවරයකු පත් කළ යුතු වෙනවා. උඩතලවින්න නඩුව සහ මෑතදී ගම්පහ මහාධිකරණයේ විභාග වූ අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ ද සභාපති විනිසුරුවරුන් විශ්‍රාම ගියා."

'ජනාධිපතිගේ උරුමයට කැළලක්'

​නඩු කටයුතු ගොඩගැසීම නැවැත්වීම සඳහා පළපුරුදු විනිසුරුවරුන් සේවයේ තබා ගැනීමේ සරල පියවරක් ලෙස මෙයට පක්ෂපාතී වන පිරිස් විසින් මෙය හඳුන්වා දෙනු ලැබුවද, මෙමගින් එම ප්‍රශ්නය නොවිසඳෙන අතර, එය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට දැඩි ලෙස අහිතකර ලෙස බලපාන, අනාගතය පිළිබඳව නිසි ලෙස නොසිතා ගන්නා ලද තීරණයක් වනු ඇති බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

මෙම තීරණය ජනාධිපතිවරයාගේ උරුමයට කැළලක් වනු ඇති බවට ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

"නඩු කටයුතු ගොඩගැසීම නැවැත්වීම සඳහා පළපුරුදු විනිසුරුවරුන් සේවයේ තබා ගැනීමේ සරල පියවරක් ලෙස මෙයට පක්ෂපාතී වන පිරිස් විසින් මෙය හඳුන්වා දෙනු ලැබුවද, මෙමගින් එම ප්‍රශ්නය විසඳෙන්නේ නැති අතර, එය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට දැඩි ලෙස අහිතකර ලෙස බලපාන, අනාගතය පිළිබඳව නිසි ලෙස නොසිතා ගන්නා ලද තීරණයක් වනු ඇත.''

​නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලුවලදී නොබියව සහ අනාගතය දැකීමේ නුවණින් යුතුව කිහිප වතාවක්ම ප්‍රතිපත්තිගරුක ස්ථාවරයන් ගත් අධිකරණ සේවා සංගමයේ සාමාජිකයන් ඒකමතිකව මෙම පියවරට විරුද්ධ වූයේ මන්දැයි ඉන් පැහැදිලි වන බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනේ කර තිබේ.

​මෙම පියවරේ ඇති බරපතල අහිතකර බලපෑම ඉදිරි දශක කිහිපය තුළ දැකිය හැකි වන අතර වත්මන් ජනාධිපතිවරයාගේ, පාර්ලිමේන්තුවේ සහ විශ්‍රාම වයස දීර්ඝ කරනු ලබන විනිසුරුවරුන්ගේ ධූර කාලයන් අධිකරණයට අහිතකර ලෙස බලපානු ඇති බව ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙහිදී පෙන්වා දෙයි.

"​මෙම පියවර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උරුමයට ද කැළලක් වනවා ඇත. අතීතයේදී ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට ලැජ්ජා විරහිත ලෙස ඇඟිලි ගැසීමට උත්සාහ කර අවසානයේදී එම ක්‍රියාකලාපයන්ගෙන් තම පිරිහීම සලසා ගත් අනෙකුත් ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුවට එතුමා ද එකතු වනවා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කළ යුත්තේ මහජනතාවට සහ පාර්ශ්වකරුවන්ට සාකච්ඡා කිරීමට ඇති අවස්ථාව අහිමි කරන රහසිගත ක්‍රියාවලියක් මගින් නොව, සියලු දෙනාගේ අදහස් විමසීමේ ක්‍රියාවලියක් මගිනි. මෙම සිදුවීමේදී, කිසිදු පාර්ශවකරුවෙකුගෙන් හෝ මහජනතාවගෙන් කිසිදු අදහස් විමසීමක් සිදු කර නැහැ." ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය ෆේස්බුක් ගිණුමේ දීර්ඝ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

'විශ්‍රාම යන වයස් සීමාව වැඩි කරන්න ඕන'

රජය විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව පමණක් නොව සෙසු රාජ්‍ය සේවකයින්ගේ ද විශ්‍රාම යාමේ වයස් සීමාව වැඩි කිරීමට කටයුතු කළ යුතු බව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් නීතිඥ වරුණ ගුණරත්න බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

''මගේ පුද්ගලික මතය තමයි විනිසුරුවරුන්ගේ විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යන වයස වැඩි වෙන්න ඕන කියන එක.

මේක විනිසුරුවරුන්ට විතරක් අදාළ කරගන්න එපා. උදාහරණයක් විදිහට ගත්තම අවුරුදු 55 - 60 කියන වයස් සීමාවෙන් විශ්‍රාම ගියාම ඒ අයට කරන්න වැඩක් නැහැ. ඒ අය ගෙවල් එහෙම හදන්න ගත්ත ණය එහෙම තව ගෙවන්න ඉතුරු වෙලා තියෙනවා. තව ටිකක් මුදලක් උපයන්න ඒ අයට හැකියාව තියෙනවා.

සාමාන්‍යයෙන් ගත්තම ආරක්ෂක අංශවල උසස් තනතුර දරපු ගොඩක් නිලධාරීන් විශ්‍රාම ගියාට පස්සේ පෞද්ගලික අංශයේ රැකියා කරන්න යනවා. අන්න ඒක තමයි මගේ මේ මතයට ප්‍රධාන කරුණ වෙන්නේ.

ඊට පස්සේ ගත්තම මේක අල්ලගෙන තවත් කට්ටියක් දේශපාලනය කරන්න හදනවා. මේක වැරදියි කියලා. නමුත් ඒකට හේතුව කියන්නේ නැහැ.'' ඔහු පැවසුවේය.

විනිසුරුවරයෙකුගේ වයස වැඩි වීම ඔහු විසින් ලබා දෙන නඩු තීන්දුවලට බලපෑමක් එල්ල වීමේ අවදානමක් ඇති විය හැකි බවට නීති ක්ෂේත්‍රයේම ඇතැම් පිරිස් ඉදිරිපත් කරන තර්ක පිළිබඳව ද මෙහිදී නීතිඥ වරුණ ගුණරත්න අදහස් දැක්වීය.

එහිදී ඔහු කියා සිටියේ ඇතැම් නඩු කටයුතුවලදී නීති උපදෙස් ලබාදෙන ජ්‍යෙෂ්ඨ නීතිඥයින් ඇතැම් අවස්ථාවලදී වයස අවුරුදු 70 ද ඉක්මවා ඇති බවය.

''සමහර වෙලාවට අපිට ලොකු නඩුවක් ආවම අපි ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්ගෙන් උපදෙස් ලබා ගන්නවා. සමහර වෙලාවට අපිට උපදෙස් දෙන ඒ නීතිඥවරයාට අවුරුදු 70ක් හෝ ඊට වඩා වයසින් වැඩියි. මේ ඔක්කොම නිකම් තර්ක විතරයි.'' ඔහු වැඩිදුරටත් පැවසුවේය.

'ඒක භයානක අනාගත පූර්ව නිදර්ශනයක්'

ආණ්ඩු පක්ෂයට පාර්ලිමෙන්තුවේ බහුතරයක් හිමි වන ඕනෑ ම අවස්ථාවක අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට නීති සම්පාදනය වුවහොත් එය ඉතා භයානක අනාගත පූර්ව නිදර්ශනයක් වනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ පවසයි.

බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, විනිසුරුවරුන්ගේ ධූර කාලය දීර්ඝ කිරීම හෝ කෙටි කිරීම වැනි කාරණා අධිකරණයේ ස්වාධීනත්වයට අනවශ්‍ය ඇඟිලි ගැසීමක් ලෙසට සලකන්නේ මේ හේතුවෙන් බව ය.

'අධිකරණය කියන්නේ පුද්ගල නිදහසේ ආරක්ෂකයා. ඒ වගේ ම රාජ්‍යයක බල මූලායතන ත්‍රිත්වය අතරින්, එක ම අදේශපාලනික ආයතනය වන්නේත් අධිකරණය යි. විධායකය හා ව්‍යවස්ථාදායකය ජනතාවගේ ජන වරම මත දේශපාලනික පක්ෂපාතීත්වයක් අනිවාර්යයෙන් දරනවා, නමුත් අධිකරණයට එහෙම හැසිරෙන්න පුළුවන්කමක් නෑ. මොක ද අධිකරණයේ මූලික කාර්ය භාරය යුක්තිය පසිඳලීම. හැබැයි ඒ කාරණයෙන් කියවෙන්නේ නෑ අධිකරණයේ බලය ආකාස්මිකව ලැබෙන දෙයක් කියලා.

අධිකරණයට හිමි වෙන්නේ ජනතාවගේ අධිකරණ බලය තමයි. නමුත් ජනතාවගේ අධිකරණ බලය ඍජුව අධිකරණයට ලැබෙන්නේ නෑ. අධිකරණයට යුක්තිය පසිඳලීමේ බලය හිමි වෙන්නේ පාර්ලිමේන්තුව පනවන නීති මගින්. මේ නිසා අධිකරණයට දේශපාලන නැඹුරුවකින් තොරව, පක්ෂපාතී නොවී ක්‍රියා කිරීමේ මූලික පසුබිම නිර්මාණය වෙනවා. මේ පසුබිම තුළ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග ලක්ෂණයක් ලෙස අධිකරණ ස්වාධීනත්වය අපට හඳුනාගන්න පුළුවන් වෙන්නේ.

අධිකරණයේ ස්වාධීනත්වයේ වැදගත් ම ලක්ෂණයක් වන්නේ විනිශ්චයකාරවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ වපසරිය පැවතීම යි. එහි එක් සාධකයක් ලෙස නිශ්චිත ධූර කාලයක් පැවතීම හඳුනාගත හැකි යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 සිට 111 ව්‍යවස්ථා දක්වා විග්‍රහ කරන්නේ, අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ විධිවිධාන. විනිසුරුවරුන් පත්කිරීම, විනය පාලනය, ධූරයෙන් ඉවත් කිරීම වැනි කාරණා පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට, පාර්ලිමේන්තුවට වගේ ම අධිකරණ සේවා කොමිෂන් සභාවට ඇති බලතල මේ ව්‍යවස්ථා තුළ විග්‍රහ වෙනවා.

මේ කාරණා අතර, 107(5) ව්‍යවස්ථාවේ දැක්වෙන උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ ධූර කාලය පිළිබඳ සීමාව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේතාක් සංශෝධනය වූ කිසිදු අවස්ථාවකදී සංශෝධය වී නෑ. අපි මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන එකින් එක; වෙන් වෙන්ව සාකච්ඡා කළොත්, ඒ හැම සංශෝධනයක් තුළින් ම විධායක හෝ ව්‍යවස්ථාදායක බලතල පිළිබඳ සැලකිය යුතු වෙනස්කම් සිදු කරලා තියෙනවා.

නමුත්, අධිකරණයේ බලතල හෝ අධිකරණ කටයුතු පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළින් දැඩි වෙනස්කම් සිදුනොකරන්නට ප්‍රවේශම් වෙලා තියනවා. යම් හෙයකින් වර්තමාන විනිසුරුවරන්ගේ ධූර කාලය දීර්ඝ කිරීම යුක්තිය පසිඳලීමට වේගවත් කිරීමට හේතුවිය හැකි කාරණයක් ලෙස තර්ක කරනවා නම්, ඒ තුළින් ව්‍යංගයෙන් ගම්‍ය වෙන්න පුළුවන් අනාගත විනිසුරුවරුන් යුක්තිය පසිඳලීමට නිසි සුදුස්සන් නොවන්නේ ද? යන ප්‍රශ්නය.

ඒ වගේ ම ආණ්ඩු පක්ෂයට පාර්ලිමෙන්තුවේ බහුතරයක් හිමි වන ඕනෑ ම අවස්ථාවක අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කරන්නට නීති සම්පාදනය වුණොත් එය ඉතා භයානක අනාගත පූර්ව නිදර්ශනයක් වෙනවා. මේ නිසා විනිසුරුවරුන්ගේ ධූර කාලය දීර්ඝ කිරීම හෝ කෙටි කිරීම වැනි කාරණා අධිකරණයේ ස්වාධීනත්වයට අනවශ්‍ය ඇඟිලි ගැසීමක් ලෙසයි හඳුන්වන්න වෙන්නේ."