ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෙරට දරු උපත් අනුපාතය පහළ බැසීමට හේතු මොනවා ද? අනගාතයට ඇති බලපෑම කුමක් ද?
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාවට අනුව මෙරට සජීවි දරු උපත් අනුපාතය පහල බැසීම සම්බන්ධව සුවිශේෂී කරුණු අනාවරණය වී තිබේ.
"වයස අවුරුදු 15 හා ඊට වැඩි කවදා හෝ විවාහ වූ ස්ත්‍රීන් අතුරින් සජීවි දරු උපත් සිදු වී නොමැති කාන්තා ප්‍රතිශතය සියයට 10.6 කි. ශ්‍රී ලාංකික විවාහක ස්ත්‍රීන් අතුරින් බහුතරය එනම් සියයට 33.3ක් තම ජීවිත කාලය තුළ දරුවන් දෙදෙනෙකු පමණක් සජීවීව ප්‍රසූත කර ඇත. එමෙන් ම වතු ග්‍රාමීය අංශයේ පදිංචි ස්ත්‍රීන් සැලකිල්ලට ගැනීමේ දී ඔවුන්ගෙන් වැඩි ම ප්‍රතිශතයක් සජීවී දරුවන් තිදෙනෙකු බිහි කර ඇති බව ද පෙනී යයි," යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.
එසේ වුව ද, වතු අංශයේ කිසිදු සජීවී දරු උපතක් සිදු කර නොමැති කවදා හෝ විවාහ වූ ස්ත්‍රීන් සංඛ්‍යාවේ ප්‍රතිශතය 12%ක් බවට වාර්තාවේ පෙන්වා දී ඇති අතර, එක් දරුවෙකු පමණක් බිහි කළ වැඩි ම ප්‍රතිශතය නාගරික අංශයේ කාන්තාවන් වන අතර එය 21.3%ක් ලෙස වාර්තාවේ දැක්වේ.
සංගණන වාර්තාවේ දත්තවලට අනුව, වතු ග්‍රාමීය අංශයේ සෑම විවාහක කාන්තාවන් 100 දෙනෙකු අතරින් 45.4 දෙනෙකුම දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් බිහිකර ඇත.
ග්‍රාමීය අංශයේ සෑම විවාහක කාන්තාවන් 100 දෙනෙකු අතරින් 37.8ක් දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් බිහිකර තිබේ.
නාගරික අංශයේ කාන්තාවන් 100 දෙනෙකුගෙන් 31.8 ක් දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් බිහිකර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් කර තිබේ.
2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාවට අනුව සංගණනය සිදුකළ කාලය වන විට වයස අවුරුදු 15 හෝ ඊට වඩා වැඩි විවාහක කාන්තාවන්ගේ මුළු සාඵල්‍යතා මට්ටම 1.3%කි.
එම මට්ටම් 1981 වසරේ දී 3.3% ක් ලෙස පැවති බවත්, 2012 වසර වන විට විවාහක කාන්තාවන්ගේ මුළු සාඵල්‍යතා මට්ටම 2.4%ක්ව පැවති බව සංගණන වාර්තාවේ සඳහන් කර තිබේ.
'ජනගහන විද්‍යාඥයෝ විදියට මේ තත්ත්වය විශ්ලේෂණය කරමින් පවතින්නේ'
මෙලෙස දරු උපත් අඩු වීමට බලපා ඇති කරුණු සහ ඉන් සිදුවන සමාජ ආර්ථික බලපෑම සම්බන්ධව බීබීසී සිංහල සේවය තවදුරටත් කරුණු විමසා බැලී ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යා අධ්‍යයන අංශයේ සහ ජනගහන විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය මනෝරි කළුතන්ත්රී වීරතුංග බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ, ජන හා නිවාස සංගණනයෙන් සාඵල්‍යතාවය සම්බන්ධව අනාවරණය වී ඇති කරුණු තවදුරටත් විශ්ලේෂණය කළ යුතු බවය .
"මේ දත්ත බැලුවාම පේන්න තියෙන්නේ උපත් සීඝ්‍ර ලෙස පහල බැසීමකට ලක්වෙලා තියෙනවා කියන එක. නමුත් ජනගහන විද්‍යාඥයෝ විදියට අපි තවදුරටත් මේ තත්ත්වය විශ්ලේෂණය කරමින් පවතින්නේ, මොකද ඉතාමත් මෑතකදීනේ දත්ත ආවේ. මේ දත්තවලට අනුව විවාහක සාඵල්‍යතාවය 2.7ක් වෙනවා. ඒ වගේම 2012 මුළු සාඵල්‍යතාවය අනුපාතිකය 2.4යි, දැන් මේ වෙනකොට 1.3ට සීඝ්‍ර පහල බැසීමක් වුණා. ඒක සමාන්‍ය ප්‍රජා විද්‍යාත්මක විශ්ලේෂණයන් එක්ක බලනකොට මේක සුවිශාල අඩු වීමක්. මේක තවදුරටත් විශ්ලේෂණය කරලා බලන්න ඕනේ, අධ්‍යනය කරන්න ඕන මට්ටමක පවතින දත්තයක්," ඇය පැවසුවා ය.
තව ද මෙම සංගණනය පැවතියේ සාමාන්‍ය කාලයක නොවන බව ද මහාචාර්යවරිය පෙන්වා දුන්නා ය. සංගණනයට පෙර ඇතිවූ විවිධ තත්ත්වයන්වල බලපෑමක් සංගණනයේ ප්‍රතිඵලවලට බලපෑ හැකි බව ද ඇය පවසයි.
"සංගණනය සිදු වෙන්නේ සමාන්‍යයෙන් රටේ විවිධ ආන්දෝලනාත්මක තත්ත්වයකට පවතින වකවානුවක. උදාහරණයක් විදියට කොවිඩ් 19 ඉවර වෙලා, ඒ වගේ ම ආර්ථික අර්බුදය, නොයෙකුත් ආපදා තත්ත්වයක් පවතින කාලපරිච්ඡේදයක. සාමාන්‍යයෙන් ඒ වගේ කාලපරිච්ඡේදයක අපි පුද්ගලයින්ගේ සහ උපත් අවශ්‍යතා තමන්ගේ සාඵල්‍යතාවය අවශ්‍යතා අහනකොට සමාන්‍ය වසරක් විදියට ගන්න අමාරුයි ඒ වසර, ඒකේ යම් බලපෑමක් තියෙන්නට පුළුවන්," ඇය විස්තර කළා ය.
"ආර්ථික අර්බුදය ආවා, ආපු ගමන් ගොඩක් තරුණ ජනගහනය සංක්‍රමණය වුණා. තරුණය ජනගහනය කියන්නේ, සාඵල්‍යතාවයට සෘජු දායකත්වයක් දක්වන ජනගහනයේ සංක්රමණතාවන් සීඝ්‍ර වර්ධනයක් වුණා, මේ රටේ ආර්ථික අර්බුදය හරහා. තව කරුණක් තමයි අර්ථික අර්බුදය හා මේ ආපු අනෙකුත් තත්ත්වයන් තුළ පුද්ගලයින්ගේ තියෙන ආකල්ප වල යම් වෙනස් වීම් වුණා. ගොඩක් මේ වගේ අර්බුද පවතින අවස්ථාවක තරුණ ජනගහනය තුළ සාඵල්‍යතා උනන්දුව ක්‍රමිකව අඩු වීම සහ විවාහ කල් දැමීම, දරුවන් හදන වයස කල් දැමීමේ සංසිද්ධියක් වර්තමාන සමාජයේ දක්නට ලැබෙනවා. අලුත් පරම්පාරාවේ තියෙන සාඵල්‍යතා අවශ්‍යතාවන්, උනන්දුව සහ ආකල්ප යම් ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්වෙලා තියෙනවා," යැයි මහාචාර්යවරිය පැහැදිලි කළා ය.
මෙම තත්ත්වය තවදුරටත් විශ්ලේෂණය කළ යුත්තේ ඇයි දැයි මහාචාර්ය මනෝරි කළුතන්ත්රී වීරතුංග විස්තර කළා ය.
"මුළු සාඵල්‍යතාවය අනුපාතිකය කියන්නේ කාන්තාවක් ප්‍රජනක වයස් කාලය තුළ ලබන මුළු දරුවන් සංඛ්‍යාව. ප්‍රජනක වයස් කාලය කියන්නේ අවුරුදු 15ත් 49ත්. එතකොට අපි බලපෑමක් ගැන කතා කරන්නේ පොඩි වයස් කණ්ඩායමකට. අනිත් අය තමන්ගේ අවශ්‍ය දරුවන් ප්‍රමාණය ලබලා ඉවරනේ. වර්තමානයේ එන අයගේ බලපෑමක් තියෙනවා ද, කොහොමද ඒ බලපෑම වුණේ, මෙච්චර අඩු වෙන්න බලපෑමේ කියන එක විශ්ලේෂණාත්මක මට්ටමේ තියෙනවා කියන එක තමයි දැනට අපිට කියන්න පුළුවන් වෙන්නේ. මේ දත්ත පදනම් කරගෙන ජනගහන විද්‍යාඥයෝ විදියට තවදුරටත් විශ්ලේෂණය කරනවා, විවිධ රටවල්වල අත්දැකිම් බලනවා, තවදුරටත් විශ්ලේෂණාත්මක මට්ටමක තමා අපි ඉන්නේ."
වැඩිහිටි ජනගහනය වැඩි වීමේ බලපෑම
ලංකාවේ වැඩිහිටි ජනගහනය වැඩි වීම සම්බන්ධයෙන් ද මහාචාර්යවරියගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළේ ය.
" 2012 වසරේ 12%ක් වූ වයස අවුරුදු 60ට වැඩි ජනගහනය, 2024 ජන සංගණනයට අනුව 18%ක් වෙලා තියෙනවා, ඒක ලොකු වර්ධනයක්. දැන් මේ වයස් කාණ්ඩවලට එන්නේ ඉස්සෙල්ලා හිටිය ජනගහනය," ඇය පැවසුවා ය.
"අපේ දරුවෝ ගොඩක් හදපු ජනගහන වර්ධනය වැඩි කාල පරිච්ඡේද තිබුණානේ. ඒ කාල පරිච්ඡේදවල අය තමයි ඉහළ වයස් කාණ්ඩවලට යන්නේ. අනිත් එක තමයි ජීවත් වන කාලය, උපතේ දී ජීවිත අපේක්ෂාව. දැන් සමාන්‍යයෙන් දළ වශයෙන් බලනකොට වැඩි කාලයක් ජීවත් වෙනවා. ඒ වගේම ක්‍රමිකව උපත් අඩු වීම වගේ සාධක මත සමානුපාතයක් විදියට ගත්තාම 60ට වැඩි ජනගහනය තමා ලොකු ප්‍රමාණයක වර්තමාන සමාජයේ දක්නට ලැබෙන්නේ."
'ජනගහනය ඵලදායි ලෙස ආර්ථික සංවර්ධනයට යොදා ගන්න හැකියි'
උපත් අඩු වීම ශ්‍රම බලකාය අඩු වීමට හේතු විය හැකි බව පෙන්වා දුන් මහාචාර්ය මනෝරි කළුතන්ත්රී වීරතුංග, ඒ හරහා රටේ ආර්ථිකයට සෘජුව දායක විය හැකි පිරිසක් අඩු වන බව ද කියා සිටියා ය.
"ජනගහනය ක්‍රමිකව අඩු වෙනවා. හැබැයි ඒ ඉන්න ජනගහනය අඩු වුණාට ඉන්න ජනගහනය ඵලදායි ලෙස ආර්ථික සංවර්ධනයට යොදා ගන්න රටකට හැකි වෙන්න ඕනේ. ඒක අපිට ලොකු අවස්ථාවක් වෙනවා රට සංවර්ධනය සඳහා," ඇය පෙන්වා දෙයි.
වර්තාමනයේ දී තාක්ෂණය දියුණු, ඩිජිටල් යුගයක් පවතින බැවින් අඩුවන ජනගහනය කාර්යක්ෂම ශ්‍රම බලකායන් ලෙස යොදාගෙන වර්ධනය කරගතහොත්, අඩු වන ජනගහනය ගැටලුවක් නොවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රජා විද්‍යා අධ්‍යන අංශයේ සහ ජනගහන විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය මනෝරි කළුතන්ත්රී වීරතුංග අවසාන වශයෙන් පැවසුවා ය.