'ගෑනියි දරුවොයි නැතුව මොන ජීවිතයක් ද?': දිට්වා ව්‍යසනයෙන් පසු ජීවිතය යළි ගොඩ නැඟීමට වෙර දරන පියෙක්

වීඩියෝ ශීර්ෂ වැකිය, දිට්වා ව්‍යසනයෙන් පසු ජීවිතය යළි ගොඩ නැඟීමට වෙර දරන පියෙක්
'ගෑනියි දරුවොයි නැතුව මොන ජීවිතයක් ද?': දිට්වා ව්‍යසනයෙන් පසු ජීවිතය යළි ගොඩ නැඟීමට වෙර දරන පියෙක්
    • Author, සම්පත් දිසානායක සහ සිදේශ් අනුරංග
    • Role, බීබීසී සිංහල
    • වාර්තාකරණය, රම්බඩගම සිට
  • Published

2025 වසරේ නොවැම්බර් අගභාගයේදී ශ්‍රී ලංකාවට කඩා වැදුණු 'දිට්වා' සුළි කුණාටුව අපේ රටට ඉතිරි කළේ කිසි දා නොමැකෙන කඳුළු කතාවකි. අධික වැසි, තද සුළං, දරුණු ගංවතුර සහ නායයාම් 1,800කට අධික සංඛ්‍යාවක් සමගින් පැමිණි එම ව්‍යසනයෙන් පුද්ගලයින් 646 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර, තවත් 173 දෙනෙක් අතුරුදන් වූහ.

ඒ ව්‍යසනය සිදුවී වසරක් සපිරෙන මොහොතේ, ඉන් දැවැන්ත ම හානියක් සිදුවූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, රම්බඩගම ප්‍රදේශයේ අපි සංචාරය කළෙමු. රම්බඩගම වසම් තුනක් පුරා කිලෝමීටර් තුන හමාරක් පමණ විහිදී ගිය ඒ දැවැන්ත නායයාමෙන් පමණක් පුද්ගලයින් 49 දෙනෙකුට ආසන්න පිරිසකට දිවි අහිමි වූ අතර, එහිදී සොයා ගැනීමට හැකි වූයේ ඉන් අඩක් පමණ පිරිසකගේ මළසිරුරු සංඛ්‍යාවක් පමණි.

අද රම්බඩගම මැදපතන ප්‍රදේශයට පිවිසෙන ඕනෑ ම අයෙකුට එය දිස්වන්නේ සුන්දර කඳුකර ගම්මානයකට වඩා මහා සුසාන භූමියක් ලෙසිනි. ප්‍රදේශ වාසීන් පවසන්නේ, තවමත් එම භූමියෙන් විලාප නැගෙන අයුරු තමන්ට දැනෙන බව ය. ඒ මහා පස් කඳු සහ දැවැන්ත ගල් පර්වත අතර, සියල්ල අහිමි වූවත් ජීවිතය අත්නොහැර අල්ලාගෙන සිටින ධෛර්යවන්ත මිනිසෙකු අපට මුණගැසිණි. ඒ, මුදියන්සේ මාමා ය.

පැය 12ක් පස් කන්දක් යට සිරවී සිටි බිහිසුණු රාත්‍රිය

2025 නොවැම්බර් 27 වන දා රාත්‍රිය මුළු රම්බඩගමට ම අඳුරු, බිහිසුණු රාත්‍රියක් විය. දින තුනක සිට විදුලිය සහ දුරකතන සබඳතා ඇණහිට තිබූ පසුබිමක, එදින රාත්‍රියේ පැවතියේ දැඩි වර්ෂාවකි. රාත්‍රී 10.30ට පමණ මුදියන්සේ මාමා සිය නිවසේ කුස්සිය පැත්තේ සිටියදී, එකවර ම පොළොව ගැස්සෙනු ඔහුට දැනිණි.

"එකපාරට ම පොළොව ගැස්සුණා. ගැස්සෙනකොට ම මම උඩ බැලුවා, එතකොට වහලෙත් නෑ මොකවත් නෑ. එකපාරට ම බරස් ගාලා ආවා මේක කඩාගෙන බිඳගෙන. පසු යි, ගසු යි සම්පූර්ණයෙන් ම ආවා," මුදියන්සේ මාමා ඒ බිහිසුණු මොහොත සිහිපත් කළේ ය.

කුස්සිය පැත්තෙන් එළියට පැනීමට උත්සහ කරද්දී ම නිවසේ කොන්ක්‍රීට් ස්ලැබ් එක කඩා වැටී ඔහු පස් සහ මඩ තට්ටුවකට යටවිය. ඒ වන විටත් නිවස ඇතුළත සිටි ඔහුගේ ආදරණීය බිරිඳ, තෙමස් ගැබිණියකව සිටි දියණිය, බෑණා සහ ඔවුන්ගේ අවුරුදු තුනක් වයසැති සිඟිති දියණිය පස් කන්දට යටවී අවසන් වී තිබිණි.

පස්වලට යටවී සිටි මුදියන්සේ මාමාට යළි සිහිය එන විට පාන්දර තුන පමණ වී තිබිණි. ඉණෙන් පහළ කොටස සම්පූර්ණයෙන් ම මඩ සහ ගල් අතර සිරවී, ඇඟ තැලී පොඩි වී තිබියදීත් ඔහු ජීවිතය වෙනුවෙන් සටන් කළේ ය.

"බේරෙන්න ඕනෑ කියලා මම කොහොම හරි හුස්ම ගන්න හදා ගත්තා. නියපොතු තිබ්බා දිගට, ඒවායින් ඉතින් අර පස් ඩිංග ඩිංග අයින් කර ගත්තා. මම කොහොම හරි ඇඟිලිවලින් හාරලා හාරලා ඔළුව උස්ස ගත්තා. උස්සගෙන කෑගහන්න පටන් ගත්තා," ඔහු පැවසීය.

ඔහුගේ ඒ කෑගැසීම පසු දා උදෑසන ගම්වාසීන්ට ඇසී තිබිණි. යාබද නිවසක පදිංචි වෛද්‍යවරයෙකු ඇතුළු තරුණ පිරිස මඩ වගුර මැදින් දැඩි පරිශ්‍රමයක් දරා මුදියන්සේ පස් යටින් බේරාගෙන රෝහල්ගත කරන විට පසුදා උදෑසන 11.00 පමණ වී තිබිණි. පැය 12කටත් වඩා වැඩි කාලයක් පස් කන්දක් යට සිරවී සිටි ඔහු දිවි බේරා ගැනීමට වාසනාවන්ත වුවත්, ඔහුගේ මුළු ලෝකය ම වූ පවුලේ සිව්දෙනා ඔහුට සදහට ම අහිමි වී තිබිණි.

මතකයන් සැඟවුණු කැඩුණු දුරකතනය

නායයාම සිදුවූ රාත්‍රියේ මුදියන්සේ මාමාගේ එක ම පුත්‍රයා වන අමිල මධුෂාන් බණ්ඩාර සිටියේ කොළඹ රැකියාවට ගොසිනි. එහෙයින් ඔහුගේ ජීවිතය බේරිණි. පසුදා ගමට පැමිණි අමිලට ගම්වාසීන් සමග එක්ව සොයාගත හැකි වූයේ, සිය මවගේ සිරුර පමණි. අක්කාගේත්, ඇගේ සැමියාගේත්, සිඟිති දියණියගේත් සිරුරු අදටත් ඒ මහා පස් කන්දට යටවී සැඟව ගොසිනි. මුදියන්සේ මාමාගේ නිවස තිබූ තැන අද සලකුණක්වත් නැත. සුන්බුන් මත අද ගස්වැල් වැවී ඇති අතර, නායයාමට පෙර තිබූ දේ අතරින් එහි ඉතිරිව ඇත්තේ, එක් පොල් ගසක් පමණි.

මව ඇතුළු ආදරණීයයන්ගේ අදහාගත නොහැකි වියෝව නිසා අමිල තවමත් පසුවන්නේ දැඩි කම්පනයකිනි. ඩිස්ප්ලේ එක කැඩී ගොස් ඇති සිය පරණ ජංගම දුරකතනය අලුත්වැඩියා නොකිරීමට ඔහු තීරණය කර තිබෙන්නේ, වේදනාබර මතකයන් යළි අලුත් වන නිසා ය.

"හිතාගන්න බෑ, අමාරුයි ඒක දරාගෙන ඉන්න. ජීවත් වෙන්නේ මොකට ද කියලා හිතෙනවා එක වෙලාවකට. කාත් කවුරුත් නෑ වගේ දැනෙනවා ඉතින්. ෆෝන් එක කැඩුණා. හැදුවේ නෑ. ඔක්කොම පැරණි මතකයන් අම්මලාගේ, අක්කලාගේ, බබාලාගේ ඔක්කොම ෆොටෝ තියෙන්නේ ඒකේ. ඒ හින්දා හදන්නේ නැතුව ඉන්න තීරණය කළා," අමිල හැඟීම්බරව කියා සිටියේ ය.

අවසානයේ මුදියන්සේ මාමාට ඉතිරි වූයේ පුතාත්, ගෙදර සුරතලයට ඇති කළ බල්ලාත් පමණි. නායයාමෙන් පසු වෙනත් කිසිවෙකුට හුරු නැති ඒ සුරතල් සුනඛයා, අමිල කොළඹ සිට පැමිණෙන තෙක් දින පහක් පුරා නායගිය ස්ථානයේ ගලක් මතට වී ආහාරයක් පවා නොගෙන බලා සිටි බව මුදියන්සේ මාමා පැවසීය.

නිවාස වන්දි ප්‍රමාදය සහ බලධාරීන්ගේ පිළිතුර

නායයාමෙන් මුදියන්සේ මාමාට අයත් කුඹුර ද සම්පූර්ණයෙන් ම විනාශ වී තිබිණි. අප රම්බඩගමට යන විටත්, ඥාතියෙකු තාවකාලිකව ලබා දුන් කුඹුරක් අස්වද්දමින් සිටි ඔහු දැනට ජීවත් වන්නේ ඥාති නිවසක ය. ඒ වෙනුවෙන් රජයෙන් මාසිකව රුපියල් 25,000ක කුලී දීමනාවක් සහ ජීවිත හානි වන්දි ලැබුණත්, නව නිවසක් මිල දී ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් ලක්ෂ 50ක පූර්ණ නිවාස හානි වන්දිය තවමත් ඔහුට ලැබී නැත.

ගමේ ගොවිතැන් කරමින් ජීවත් වන නිසා රජයෙන් වෙනත් ප්‍රදේශවල ලබා දෙන ඉඩම්වලට යාමට ඔවුන් කැමති නැත. ඒ වෙනුවට තම කුඹුරට ආසන්නව පිහිටි නිවසක් මිල දී ගැනීමට ඔවුන් සූදානම් වුවත්, එම නිවසේ වසර 10ක පත්ඉරු ලබා දීමේ ගැටලුවක් නිසා වන්දි මුදල ලැබීම ප්‍රමාද වී තිබේ.

"අපට ඉතින් ලක්ෂ 50 දුන්නා නම් අපි ගෙයක් අරගෙන ඒකේ පදිංචි වෙනවා. එතකොට අපට රජයෙන් 25,000 ඕනෙත් නෑ. හැම දා ම රජයට දෙන්නත් බෑනේ මෙහෙම," මුදියන්සේ මාමා පැවසීය.

රම්බඩගම ප්‍රදේශයේ තවත් පවුල් හයකට පමණ අධිඅවදානම් කලාපයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබුණ ද, යන්නට තැනක් නොමැතිකමින් ඔවුන් තවමත් වර්ෂාව මැද බියෙන් ජීවත් වෙති. දිට්වා ව්‍යසනයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස අහිමි වූ සහ අධිඅවදානම් කලාපවල සිටින පවුල්වලට වන්දි ගෙවීමේ සහ නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය පිළිබඳව බීබීසී සිංහල නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්ගෙන් විමසීමක් කළේ ය. ඇය සඳහන් කළේ, දිස්ත්‍රික්කය පුරා ගම් ආශ්‍රිතව පවුල් 1,800කට පමණ පූර්ණ හානි සහ අධිඅවදානම් තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව ය. එම පවුල් වෙනුවෙන් රජයේ චක්‍රලේඛ ප්‍රකාරව රුපියල් මිලියන පහක වන්දි මුදලක් ලබාදීම, රජයේ ඉඩමක් ලබාදීම හෝ මිලියන පහක වටිනාකමකට නිවසක් සහිත ඉඩමක් මිල දී ගැනීමට මුදල් ලබාදීම මේ වන විට ක්‍රියාත්මක වන බව ඇය පැවසුවා ය.

කොත්මලේ ප්‍රදේශයේ සෑම අංශයකට ම පාහේ දැඩි හානි සිදුව ඇති බැවින්, ජනතාව යළි පදිංචි කිරීමට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දුන්නා ය. කොත්මලේ ප්‍රදේශයේ පරීක්ෂා කරන ඉඩම් පහකින් තුනක් ම NBRO නිර්දේශ මත ප්‍රතික්ෂේප වන බැවින්, වතු සහ ගම් යන අංශ දෙකට ම ප්‍රමාණවත් තරම් සුදුසු ඉඩම් සොයා ගැනීම දැඩි අභියෝගයක් වී තිබේ. එසේ වුව ද, ජනතාව විසින් ම සොයාගනු ලබන ඉඩම් සඳහා ගෙවීම් කටයුතු මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කරමින් පවතින බව ඇය සඳහන් කළා ය.

මුදියන්සේ මාමා වැනි පුද්ගලයින් නිවසක් මිල දී ගැනීමේදී මුහුණ දෙන වසර 10ක පත්ඉරු ලබා දීමේ ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරිය, රජයේ චක්‍රලේඛ මගින් ඒ සඳහා දැනටමත් සහන සලසා ඇති බව අවධාරණය කළා ය. බැංකු ණය ලබා ගැනීමේදී මෙන් වසර 30ක පත්ඉරු පරීක්ෂා කිරීමක් මෙහිදී සිදු නොවන බවත්, අදාළ ඉඩම තමන්ගේ නමට පත්ඉරුවකින් පැවරී තිබේ ද යන්න පමණක් පරීක්ෂා කර බලා වන්දි මුදල් නිදහස් කිරීමට පියවර ගන්නා බවත් ඇය පැහැදිලි කළා ය.

මීට අමතරව, කොත්මලේ බටහිර ප්‍රදේශයේ පවුල් 14කට මූලික වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දී නිවාස ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර, ඉතිරි පවුල් සඳහා ද කඩිනමින් එම මුදල් ලබා දීමට සැලසුම් කර තිබේ. එමෙන් ම හඟුරන්කෙත ප්‍රදේශයේ රජයේ ඉඩම් ප්‍රමාණවත් පරිදි පැවතීම නිසා ඉදිකිරීම් කටයුතු වේගවත් වී ඇති බවත්, සම්පූර්ණයෙන් වැඩ අවසන් කළ නව නිවාස 30ක් පමණ ආපදාවට පත් පවුල් වෙත භාර දීමට සූදානම් කර ඇති බවත් තුෂාරි තෙන්නකෝන් වැඩිදුරටත් කියා සිටියා ය.

ඉතිරි වූ එක ම බලාපොරොත්තුව

දිට්වා ව්‍යසනයට වසරක් සපිරෙන මොහොතේ, සිය බිරිඳ ඇතුළු අහිමි වූ පවුලේ සාමාජිකයින් සිහිපත් කරමින් හයිෆොරස්ට් ප්‍රදේශයේ පිහිටි බෑණාගේ නිවසේදී සංඝයා වහන්සේ පස් නමක් උදෙසා දානමය පිංකමක් පැවැත්වීමට මුදියන්සේ මාමා සූදානම් වෙයි.

මුදියන්සේ මාමා මෙන් ම ඔහුගේ පුතා වන අමිල ද පෙර මෙන් දැන් රූපවාහිනියක්වත් නරඹන්නේ නැත. ඒ, ඒ කිසි ම දෙයකින් ඔවුන්ට දැන් සතුටක් හෝ ආස්වාදයක් නොලැබෙන හෙයිනි. ජීවිතයේ සියල්ල අහිමි වුවත්, මේ ධෛර්යවන්ත මිනිසා තවමත් ජීවිතය අතහැර නැත.

"දැන් ජීවිතය ගැන හිතලා වැඩක් නෑ මහත්තයා. අර පුතා වෙනුවෙන් ඉන්නවා ජීවත් වෙලා. නැත්නම් දරුවෝයි ගෑනියි නැති වුණාට පස්සේ මොන සැපක් විඳින්න ද මහත්තයා,"

ඔහුගේ දැන් තිබෙන එක ම බලාපොරොත්තුව, අලුත් නිවසකට ගොස් සිය පුත්‍රයා සමග ජීවිතයේ සැඳෑ සමය නිහඬව, සාමකාමීව ගත කිරීම පමණි.