'අපේ අයවැය යෝජනා කඩදාසියට පමණක් සීමා වන්නේ නැහැ' - ජනපති

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද සිදු කෙරිණි. මෙය ඔහුගේ නායකත්වයෙන් යුත් රජය ඉදිරිපත් කරන තෙවැනි අයවැයයි.

සාරාංශය

  • මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක 2027 අයවැය කතාව අද ඉදිරිපත් කළේ ය
  • මෙය ඔහුගේ නායකත්වයෙන් යුත් රජය ඉදිරිපත් කළ තෙවන අයවැයයි
  • 2027 වසරේ එක් එක් අංශ සඳහා රජය වෙන් කිරීමට යෝජනා කරන මුදල් පිළිබඳ විස්තර අයවැය යෝජනාවලට ඇතුළත් විය
  • අයවැය විවාදය හෙට සිට

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. පැය පහක අයවැය කතාවෙන් පසු විවාදය හෙට සිට

    Skip YouTube post
    Google YouTube අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

    මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

    අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ. YouTube අන්තර්ගතයේ දැන්වීම් අඩංගු විය හැකි ය.

    End of YouTube post

    2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය (අයවැය කතාව) අද (නොවැ. 12) පස්වරු 1.30ට පමණ ආරම්භ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක එය පස්වරු 6.30 දක්වා පැවැත්වූවා.

    ඒ අනුව, පැය පහක පමණ කාලයක් පුරා පැවති අයවැය කතාවෙන් අනතුරුව, අයවැය විවාදය හෙට (නොවැ. 13) සිට ආරම්භ වීමට නියමිතයි. දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 20 වන දා දක්වා පැවැත්වෙන අතර, එදින පස්වරු 6.00ට ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

    අනතුරුව, කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා පැවැත්වෙන අතර, අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වන දා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.

  2. සීනි කිලෝග්‍රෑමයක් සඳහා බද්ද රු. 10කින් වැඩි කෙරේ

    දේශීයව නිෂ්පාදනය කරන සීනි සහ ආනයනික සීනි අතර පවතින බදු විෂමතාව අවම කරමින්, දෙපාර්ශවයට ම සමාන තරගකාරී අවස්ථා සහ සාධාරණ තරගකාරී පරිසරයක් ඇති කිරීමට සහ වඩාත් මධ්‍යස්ථ හා සමාන බදු සැලකීමක් සහතික කිරීම සඳහා ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 10කින් වැඩි කිරීමට ද යෝජනා කෙරුණා.

  3. හාල්මැස්සන්, උම්බලකඩ, මිරිස් සඳහා බදු අඩු කෙරේ

    ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාවට ඇති වන ජීවන වියදම් පීඩනය අවම කිරීමේ අරමුණින්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්‍රෑමයකට රු. 100 සිට රු. 10 දක්වා ද, උම්බලකඩ සඳහා කිලෝග්‍රෑමයකට රු. 302 සිට රු. 10 දක්වා ද, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා කිලෝග්‍රෑමයකට රු. 50කින් ද අඩු කිරීමට යෝජනා කෙරුණා.

    මෙම බදු සංශෝධන 2026 නොවැම්බර් මස 13 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත යි.

  4. පොත් සඳහා VAT බද්ද ඉවත් කෙරේ

    අධ්‍යාපනයේ වැදගත්කම මෙන් ම අත්‍යවශ්‍ය අධ්‍යාපන ද්‍රව්‍ය දැරිය හැකි මිලකට ලබා දීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින්, අධ්‍යාපනය, දැනුම හා කියවීම සඳහා ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර හා රූප ඇඳීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ අනෙකුත් මුද්‍රිත පොත්පත් මෙන් ම අභ්‍යාස පොත් ද එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කෙරුණා.

  5. රාජ්‍ය විධායක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව දෙගුණ කෙරේ

    රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2016 යටතේ නිල වාහනයකට හිමිකම් ඇති නමුත්, රාජකාරි සඳහා තම පෞද්ගලික වාහන භාවිත කරන විධායක නිලධාරීන්ට දැනට ගෙවන මාසික ප්‍රවාහන දීමනාව රු. 50,000 සිට රු. 100,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා පවසනවා.

    පෞද්ගලික වාහන රාජකාරි සඳහා යොදා ගැනීමේදී දැරීමට සිදුවන නඩත්තු, අලුත්වැඩියා සහ අනෙකුත් මෙහෙයුම් වියදම් සැලකිල්ලට ගෙන මෙම වැඩි කිරීම යෝජනා කර ඇති බව ඔහු සඳහන් කළා.

  6. රජයේ මාධ්‍ය ආයතන 3කට රු. මිලියන 1273ක්

    ඩිජිටල්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම, විකාශන පහසුකම් වැඩිදියුණු කිරීම සහ නවීන උපකරණ හා තාක්ෂණික මෙවලම් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රු. මිලියන 400ක් ද, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට රු. මිලියන 489ක් ද වශයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පුනරාවර්තන වියදම් වෙනුවෙන් රු. මිලියන 384ක් වෙන් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසුවා.

  7. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැරට ගෙන යාමට රු. මිලියන 600ක්

    වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර භූමියේ ස්ථාපනය කිරීම සඳහා රු. මිලියන 600ක් වෙන් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.

    මේ අතර, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා "තමන්ගේ ම තැනක්-ලස්සන ජීවිතයක්" වැඩසටහන යටතේ නිවාස 70,000 ක් ඉදිකිරීම බලාපොරොත්තු වන බව ද ඔහු පවසනවා.

  8. 2009ට පෙර සේවයට එක්වූ හමුදා සාමාජිකයින්ගේ දෙමාපියන්ට ගෙවන මාසික දීමනාව ඉහළ දැමීමට අවධානය

    2009 වසරට පෙර හමුදාවලට බැඳුණු රණවිරුවන්ගේ දෙමාපියන්ට දක්වන ගෞරවයක් වශයෙන්, දැනට මවට හා පියාට ගෙවන රු. 750ක මාසික දීමනාව ඉහළ දැමීම සඳහා සහ එය 2027 ජූලි මස සිට ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් කඩිනමින් සකසන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයට යෝජනා කර ඇතැයි ජනාධිපතිවරයා පැවසුවා.

  9. වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු. මි. 300ක්

    වැලිකඩ බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුළු කොළඹ බන්ධනාගාර සංකීර්ණයේ පවතින දැඩි තදබදය නිසා එම බන්ධනාගාර සංකීර්ණ මිල්ලෑව ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රු. මිලියන 300ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.

  10. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට රු. මි. 60ක්

    රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පූර්ණ ලෙස ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් රු. මිලියන 60ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.

  11. CID කාර්යාලයට මහල් 15ක ගොඩනැගිල්ලක්

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා මහල් 15කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ශක්‍යතා අධ්‍යයනයට හා සැලසුම් සකස් කිරීමට රු. මිලියන 500ක් වෙන් කර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළා.

    “කොළඹ කොටුවේ ඉතාමත් අබලන් වූ ගොඩනැගිල්ලක පවත්වාගෙන යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා මර්දනය වැනි කාලීනව වෙනස්වන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවශ්‍ය නවීන පහසුකම් සහිත, මහල් 15 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ශක්‍යතා අධ්‍යයනයට හා සැලසුම් සකස් කිරීමට රු. මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.”

  12. නාගරික ජලගැලීම් අවම කිරීමට මුදල් වෙන් කෙරේ

    නාගරික පහත්බිම් ප්‍රදේශවල ගංවතුර අවදානම අවම කිරීම සඳහා ජලාපවහන පද්ධති කාර්යක්ෂමව පවත්වාගෙන යාම, ගංවතුර අවස්ථාවලදී හදිසි මෙහෙයුම් කටයුතු සිදු කිරීම මෙන් ම කුඩා ඇළ මාර්ග හා ජලාපවහන පද්ධති ක්‍රමවත්ව නඩත්තු කිරීමේ අවශ්‍යතාව ඉහළ යමින් පවතින අතර, ඒ සඳහා රු. මිලියන 1,250ක් වටිනා බහුකාර්ය යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

    එයින් රු. මිලියන 625ක් රජයේ හිමිකම් ප්‍රාග්ධනය ලෙස ලබා දීමට යෝජනා කළා.

  13. තඹුත්තේගම ඇතුළු ‘සංචාරක නගර කිහිපයක්’ සංවර්ධනයට රු. මි. 2,700ක්

    නගර සංවර්ධනය සඳහා නගර සන්නාමකරණය, සංචාරක නගර සංවර්ධන වෙනුවෙන් යාපනය, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, වවුනියාව, ඇහැළියගොඩ, බදුල්ල සහ මාතර යන නගර දහය විධිමත් හා ක්‍රමවත් නගර බවට පරිවර්තනයට කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි ජනාධිපතිවරයා පැවසුවා. ඒ වෙනුවෙන් වෙන් කිරීමට යෝජිත මුදල රු. මිලියන 2,700ක්.

  14. කොළඹ මෙට්‍රෝ බස් සේවාව මහනුවර, ගාල්ල සහ යාපනයටත්

    මෙම වසරේදී හඳුන්වා දුන් කොළඹ ආශ්‍රිත මෙට්‍රෝ බස් සේවාව මහනුවර, ගාල්ල සහ යාපනය යන නාගරික කලාප වෙත ද ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පවසනවා.

    මෙට්‍රෝ බස් සඳහා මේ දක්වා ම රජය ආයෝජනය ඇති අතර මේ වන විටත් බස්රථ 120කට අධික සංඛ්‍යාවක් ධාවනය කරන බව ඔහු සඳහන් කරනවා. තවත් බස් රථ 50ක් 2027 වර්ෂයේදී එම සමාගමට එකතුවීමට නියමිත බව ජනාධිපතිවරයා තවදුරටත් පවසනවා.

  15. එල්නිනෝ අවදානමට මුහුණ දීමට රු. මිලියන 5,000ක්

    ඉදිරියේදී ඇතිවේ යැයි අපේක්ෂිත එල්නිනෝ අවදානමෙන් මතුවිය හැකි අවශ්‍යතාවන්ට මුහුණ දීමේ පෙර සුදානමක් ලෙස රු. මිලියන 5,000ක් වෙන් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා පවසනවා.

    වෙරළ තීරයේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තෙල් කාන්දුවීම්වලින් සිදුවන සමුද්‍ර සහ වෙරළ දූෂණයට කඩිනමින් ප්‍රතිවාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීමට ජපාන සහයෝගීතාව යටතේ රු. මිලියන 3,380ක යාත්‍රා සහ යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට ප්‍රතිපාදන දැනටමත් වෙන් කර ඇති බව ඔහු සඳහන් කරනවා.

  16. වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට AI තාක්ෂණය – අලි-මිනිස් ගැටුම් වන්දිත් ඉහළට

    වන අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීමට කෘත්‍රිම බුද්ධිය සහ තාප සංවේදී කැමරා යොදාගත් නියමු ව්‍යාපෘතියක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පවසනවා.

    එමෙන් ම, අලි-මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවන ජීවිත හා දේපළ හානි සඳහා ගෙවන වන්දි මුදල් ඉහළ නැංවීමට ද යෝජනා කර තිබෙනවා.

    ඒ අනුව, නිවාස හානි සඳහා වන්දි මුදල රු. ලක්ෂ 2 සිට මිලියනය දක්වාත්, මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවකදී රු. මිලියන 1 සිට 2 දක්වාත්, අර්ධ බෙලහීනතාවකදී රු. 150,000 සිට ලක්ෂ 5 දක්වාත් වැඩි කිරීමට නියමිතයි.

    අනෙකුත් දේපළ හානි සඳහා වන්දි මුදල ද රු. ලක්ෂ 2 සිට 5 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.

  17. ඔබේ ආදායම් බද්ද (APIT) අඩු වෙන්නේ මෙහෙම යි

    2027 අයවැය යෝජනා අනුව අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) සඳහා සංශෝධනයක් යෝජනා කර තිබෙනවා.

    ඒ අනුව, මාසික ආදායමෙන් රු. 162,000ක් දක්වා බද්දෙන් නිදහස් කිරීමට යෝජිත ය.

    බද්දෙන් නිදහස් වන වාර්ෂික ආදායම රු. 1,950,000ක් දක්වා ඉහළ දැමීමට නියමිත ය.

  18. සංචාරක ඊ-ටිකට්පත් පද්ධතියක්: වනජීවී සේවාවන් ශක්තිමත් කිරීමට බඳවා ගැනීම් සහ නව වාහන

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන ආවරණය වන පරිදි මධ්‍යගත මාර්ගගත ඊ-ටිකට්පත් පද්ධතියක් ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 35ක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා පවසනවා. මේ සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 133ක ප්‍රාග්ධන දායකත්වයක් ද සපයනවා.

    මේ අතර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා ශක්තිමත් කිරීම සඳහා වන සත්ව නියාමකයින් 313 දෙනෙකු සහ විදුලි වැට නඩත්තු සහායකයින් 3,451 දෙනෙකු බඳවාගෙන ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.

    අඩවි ආරක්ෂකයින් 114 දෙනෙකු බඳවා ගැනීමට ද ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

    එමෙන් ම, වනජීවී සේවා කාර්යක්ෂම කිරීම සඳහා 2026 වසරේදී ඩබල් කැබ් රථ 16ක්, සිංගල් කැබ් රථ 84ක්, යතුරුපැදි 181ක් සහ ට්‍රැක්ටර් 9ක් ඇතුළු වාහන හා උපකරණ ක්ෂේත්‍ර මෙහෙයුම් සඳහා එක් කර ඇති බව ද ඔහු පැවසුවා.

  19. තඹුත්තේගම රෝහලට නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීමට රු. මිලියන 300ක්

    තඹුත්තේගම මූලික රෝහලට නවීන පහසුකම් සහිත හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා රු. මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා පවසනවා.

    තව ද ගිලන් රථ 319කින් සමන්විත 1990 සුවසැරිය සේවය ව්‍යාප්ත කිරීම සඳහා රු. මිලියන 1,725ක ඉන්දියානු ආධාර යටතේ නව ගිලන් රථ 100ක් 2027 වසරේ එක් කරන බව ද ඔහු සඳහන් කරනවා.

    ඊට අමතරව රොබෝ තාක්ෂණය ආශ්‍රිතව ශල්‍යකර්ම සඳහා වෛද්‍යවරුන් පුහුණු කිරීමට රාගම වෛද්‍ය පීඨය තුළ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට යෝජනා කරන බව ද ඔහු පවසනවා.

    තව ද 2030 වන විට මෙරටින් බලු ජලභීතිකාව තුරන් කිරීම සඳහා බලු එන්නත් ලබා දීම, බලු වන්ධ්‍යකරණ වැඩසටහන් කාර්යක්ෂම කිරීම තුළින් “2030 වන විට ජලභීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක්” වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.

  20. කාලගුණ පුරෝකථන නිරවද්‍යතාව ඉහළ නැංවීමට නව ඩොප්ලර් රේඩාර් පද්ධතියක්

    JICA ප්‍රදානයක් ලෙස ලැබුණු, නිරවද්‍යතාවයෙන් ඉහළ කාලගුණ පුරෝකථනයන් සඳහා නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපනය කිරීම 2027 වසරේ ආරම්භ කරන බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.

    ආපදා අවස්ථාවලදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට රු. මිලියන 1,000ක් වෙන් කර ඇති බව බව ඔහු පවසනවා.

    පූර්ව අනතුරු ඇඟවීම ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිවාර උපකරණ ලබා දීම සඳහා රු. මිලියන 500ක් වෙන් කර තිබෙනවා.

    දිවයින පුරා ක්‍රියාත්මක ඩිජිටල් ගුවන්විදුලි සන්නිවේදන පද්ධතියක් ස්ථාපනය කිරීමට රු. මිලියන 670ක් වෙන් කර ඇති බව ඔහු පවසනවා.

    දැනට පවතින වෙරළ ආශ්‍රිත පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77ක් ප්‍රතිසංස්කරණය කිරීම හා දිස්ත්‍රික්ක 25හි ගංවතුර, නාය යාම් සහ සුනාමී අවදානම් සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි නව ගොඩබිම් කුළුණු 120ක් ඉදිකිරීමට සහ බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන පද්ධතියක් ස්ථාපනය කිරීමට රු. මිලියන 500ක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.