
ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉස්ලාමාබාද්හි පැය 21ක කාලයක් පැවති සාම සාකච්ඡාවලින් පසුව, යුද්ධය අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීමට එක්සත් ජනපදය සහ ඉරානය අපොහොසත් වුණු බව වෑන්ස් පවසනවා.
සාකච්ඡාවලින් පසු එක්සත් ජනපද උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් එහි සිටින වාර්තාකරුවන් අමතමින් මේ බව කියා සිටියා.
"අපි ඉරාන ජාතිකයන් සමඟ අර්ථවත් යුතු සාකච්ඡා ගණනාවක් ම පැවැත්වුවා. ඒක තමයි ශුභාරංචිය. නරක ආරංචිය තමයි, අපි එකඟතාවකට පැමිණ නැති එක, මම හිතන්නේ ඒක ඇමෙරිකා එක්සත් ජනපදයට වඩා ඉරානයට නරක ආරංචියක්," වෑන්ස් පැවසුවා.
"ඇමෙරිකා එක්සත් ජනපදය අපේ රතු සීමා ගැන පැහැදිලි කර සිටියා. නමුත් ඉරානය අපේ කොන්දේසිවලට එකඟ වුණේ නැහැ."
"ඉරානය අපගේ කොන්දේසි පිළිගන්නා තත්ත්වයකට අපට ළඟා විමට නොහැකි වුණා," යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ උපජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
ඇමෙරිකා එක්සත් ජනපදය දැන් පකිස්ථානයෙන් පිටව යාමට සැලසුම් කරන බව පැවසූ ඇමෙරිකානු උපජනාධිපතිවරයා පකිස්ථාන අගමැති සහ ෆීල්ඩ් මාර්ෂල් මුනීර් වෙත තම කෘතඥතාව පළ කළා.
"සාකච්ඡාවල මොන අඩුපාඩු වුණත්, ඒක වුණේ මේ අපූරු කාර්යයක් සිදු කළ පකිස්ථානුවන් නිසා නොවෙයි," ඔහු පැවසුවා. ඇමෙරිකා එක්සත් ජනපදය සාකච්ඡාවලට නම්‍යශීලීව සහ "සද්භාවයෙන්" පැමිණිය ද, දෙපාර්ශවයට ම එකඟතාවකට පැමිණීමට නොහැකි වීම අවාසනාවක් බව වෑන්ස් තවදුරටත් සඳහන් කළා.
"අපි මෙතැනින් පිටව යන්නේ ඉතා සරල යෝජනාවක් එක්ක. අපි පැහැදිලි අවසාන යෝජනාවක් කරනවා. දැන් ඒක පිළිගන්නවා ද නැද්ද තීරණය කරන එක ඉරානයට භාරයි," වෑන්ස් පැවසුවා.
මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමෙරිකා එක්සත් ජනපද උපජනාධිපතිවරයා කියා සිටියේ, සාකච්ඡාවලදී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අත්හිටුවීම සහ තහනම් කර ඇති ඉරාන වත්කම් පිළිබඳ කරුණු ද ඇතුළත් වූ බවයි.