මන්ත්‍රිනී සංසදයේ රැස්වීම පිළිබඳව බීබීසී සිංහල පළ කළ ලිපිය ගැන පා. මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේදී පැවසුවේ කුමක් ද?

ලක්මාලි හේමචන්ද්‍ර

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියේ 'විමර්ශන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට' ජූනි 5 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කැඳවා තිබූ රැස්වීමේ තොරතුරු පාදක කරගනිමින් බීබීසී සිංහල පසුගිය ජූනි 8 වන දා පළ කළ ලිපිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර අද (ජූනි 10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා ය.

ඒ, අදාළ ලිපිය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට ද ඉල්ලීමක් කරමිනි.

ඇය එහිදී කළ කතාවේ කොටසක් ඉංග්‍රීසි බසින් ඉදිරිපත් කළ අතර, කොටසක් සිංහල බසින් ඉදිරිපත් කළා ය.

ඇය ඉංග්‍රීසි බසින් කතාව ආරම්භ කළ අතර, එම සම්පූර්ණ කතාවේ සිංහල දළ පරිවර්තනය මෙසේ ය.

"ගරු නියෝජ්‍ය කතානායකතුමනි,

2026 ජූනි 5 වන දින, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් අනුරාධපුරයේදී මෑතකදී විශාල මහජන විවාදයකට සහ අවධානයට ලක් වී ඇති ඉහළ පෙළේ ළමා අපයෝජන නඩුවක් පිළිබඳ සාකච්ඡාවක් කැඳවන ලදී.

මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ, මෙම නඩුවේ ප්‍රගතිය පිළිබඳව අදාළ රාජ්‍ය ආයතන ඍජුව ම සම්බන්ධ කර ගැනීම සහ විශේෂයෙන් වින්දිත දරුවාට සියලු බලධාරීන්ගෙන් ප්‍රමාණවත් රාජ්‍ය සහය ලැබෙන බව සහතික කිරීමයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පරිවාස දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට කැඳවන ලදී.

එම සාකච්ඡාවේදී අනාවරණය වූයේ, මෙම දරුවා සැකකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව විභාග වන එකිනෙකට වෙන් වූ නඩු තුනක වින්දිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි. එම තත්ත්වය හේතුවෙන් වින්දිතයාට තවදුරටත් මානසික හානියක් නොවන පරිදි සහ ඇගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන එකිනෙකා සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය විය.

නඩු කිහිපයක් ම විභාග වන බව සහ තවමත් විමර්ශන සිදුවන බව සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳව තෙවන පාර්ශ්වයන්ට කිසිදු අදහසක් පළ කිරීමෙන් වළකින ලෙස එම රැස්වීමට සහභාගී වූ සියලු නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

වින්දිතයා දරුවෙකු වීම සහ සාකච්ඡාවට සහභාගී වන ආයතන ඇයගේ පෞද්ගලිකත්වය, ආරක්ෂාව සහ ගෞරවය සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක ආයතන වීම මත, යුක්තිය ලබා ගැනීමේ දරුවාගේ අයිතියට කිසිදු අගතියක් වන සහ අධිකරණයේ හෝ විමර්ශන කටයුතු අනතුරේ හෙළන සාකච්ඡාවල අන්තර්ගතය සම්බන්ධයෙන් තෙවන පාර්ශවයන් සම්බන්ධ කර නොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙම සාකච්ඡාව පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීමක් සිදුවුවහොත්, එවැනි කඩකිරීමකට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද ඉල්ලා සිටීමට හේතු වන බව සියලු පාර්ශ්වයන්ට දැනුම් දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස, දරුවාගේ නෛතික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපට දැඩි වගකීමක් ඇති බවත්, එය කිසිදු පුද්ගලයෙකුගේ, ඕනෑ ම දේශපාලන පක්ෂයක හෝ රාජ්‍ය නිලධාරීන්ගේ පවා වාසි තකා දේශපාලනීකරණය නොකළ යුතු බවත් සංසදයේ අදහස යි.

විමර්ශන පිළිබඳ තොරතුරු සහ කරුණු දැනටමත් බාහිර පුද්ගලයින්ට, විශේෂයෙන් මාධ්‍යයට නිරාවරණය වී ඇති බව ද සංසදයට නිරීක්ෂණය වී ඇත.

මෙම තොරතුරුවල කොටස් ගොතන ලද, විකෘති කරන ලද හෝ අසත්‍ය ඒවා ය.

2026 ජූනි 8 වන දින, බීබීසී සිංහල සේවයේ සම්පත් දිසානායක ලෙස තමන්ව හැඳින්වූ මාධ්‍යවේදියෙකුගෙන් මට දුරකතන ඇමතුමක් ලැබිණි. ඔහු 2026 ජූනි 5 වන දින පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ රැස්වීමට අදාළව පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව විමසීය.

සංසදයේ කටයුතු රහසිගත බවත්, එහි පාර්ශවයන්ට සහ සහභාගිවන්නන්ට කිසිදු තොරතුරක් බාහිර පුද්ගලයින්ට හෙළි නොකරන ලෙස උපදෙස් දී ඇති බවත් මම එම මාධ්‍යවේදියාට දැනුම් දුන්නෙමි.

කෙසේ වෙතත්, එම මාධ්‍යවේදියා තහවුරු කළේ රැස්වීමට සහභාගී වූ පාර්ශව කිහිපයක් ම බාහිර පුද්ගලයින් සමග එහි කටයුතු පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.

ඔහු කිසිදු මූලාශ්‍රයක අනන්‍යතාව හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේ ය.

තව ද, 2026 ජූනි 8 වන දින, බීබීසී සිංහල සේවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ කටයුතු පිළිබඳව අසත්‍ය වාර්තා අඩංගු ලිපියක් ප්‍රකාශයට පත් කර තිබුණේ සංසදයේ සාමාජිකයින් සහ කටයුතු ඍණාත්මක ලෙස නිරූපණය කරමිනි.

දරුවාගේ යහපත පිණිස, ඊට අදාළ කටයුතුවල රහසිගත බවට මාධ්‍යවේදියා දැනුවත් කර තිබියදීත්, ඔහු හෝ ඇය සංසදය ඉදිරිපිට ඇති කටයුතු අඩපණ කරමින් සත්‍යාපනය නොකළ සහ ද්වේෂසහගත තොරතුරු මත විශ්වාසය තබා ඇත.

නියෝජ්‍ය කතානායකතුමනි, මා විසින් ඉදිරිපත් කරන ලද ලේඛනයේ, ගරු කතානායකතුමාගේ අවධානය සඳහා එම ලිපිය අමුණා ඇත.

මෙම ලිපිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ කටයුතු ඕපාදූප සහ විශ්වාස කළ නොහැකි ආඛ්‍යාන බවට පහත හෙළයි. එමගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කාන්තා දේශපාලන නියෝජනය අඩපණ කරයි.

කෙසේ වෙතත්, වඩාත් කණස්සල්ලට කරුණ වන්නේ, දරුවෙකු සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා බාහිර පුද්ගලයින් සම්බන්ධ කර ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියදී පවා, රාජ්‍ය නිලධාරීන් රහස්‍යභාවය නොසලකා හැරීම පැහැදිලිව ම පෙන්නුම් කර තිබීම යි. ජූනි 5 වන දින පැවති සංසදයේ රැස්වීමට සහභාගී වූ සියලු ම පාර්ශවයන් ළමුන් සම්බන්ධ නඩු හසුරුවන තීරණාත්මක ආයතන වේ.

එබැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ කටයුතු මාධ්‍යයට සහ මහජනතාවට අසත්‍ය ලෙස නිරූපණය කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් පමණක් නොව, දැඩි අවධානයක් යොමු වූ ළමා අපයෝජන සිදුවීමක් සම්බන්ධයෙන් වගකීම් විරහිත හැසිරීමක් වන අතර එය දරුවාගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම හිතාමතා ම කඩාකප්පල් කිරීමකි.

එම සන්දර්භය තුළ මම ගරු නියෝජ්‍ය කතානායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ, පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද පනත) උපලේඛනයේ A කොටසේ 5, 6 සහ 7 වැනි වගන්ති උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කර ඇති 2026 ජූනි 8 වන දින බීබීසී සිංහල සේවය පළ කර තිබූ X ලෙස අමුණා ඇති ලිපිය ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන ලෙස ය."

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න : මන්ත්‍රිනී සංසදයේදී රැස්වීම ගැන ලක්මාලි හේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේදී කළ කතාව

නියෝජ්‍ය කතානායක සහ ලක්මාලි හේමචන්ද්‍ර අතර සංවාදයක්

මේ අතර, ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට ලබා දී තිබු කාලය ඉක්මවීම හේතුවෙන් ඇයගේ කථාවට බාධා කරමින් කථාව අවසන් කරන ලෙස දැනුම් දුන් නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි කියා සිටියේ, ලියවිල්ලට පමණක් සීමා වන ලෙස ය.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරිය සහ නියෝජ්‍ය කතානායකවරයා අතර ඇති වූ සංවාදයේ දළ සිංහල පරිවර්තනය මෙසේ ය.

නියෝජ්‍ය කතානායක: ගරු මන්ත්‍රීතුමියනි, අපි මේ ලියවිල්ලට විතරක් සීමා වෙමු. ඔබ තුමිය දැනටමත් ඊට වැඩි දෙයක් කියලා තියෙනවා.

ලක්මාලි හේමචන්ද්‍ර: නියෝජ්‍ය කතානායකතුමනි, කරුණාකරලා මට [විනාඩියක්] දෙන්න... මොකද මේක මගේ කීර්ති නාමයට බලපාන දෙයක්, ඒ වගේ ම මේවා පාර්ලිමේන්තුවෙන් පිටත මතු කරන කාරණා.

නියෝජ්‍ය කතානායක: මම හිතන්නේ ඔබතුමිය ප්‍රමාණවත් තරම් කරුණු මතු කළා.

ලක්මාලි හේමචන්ද්‍ර: මම දන්නවා, මම දන්නවා. මට තව විනාඩියක් දෙන්න නියෝජ්‍ය කතානායකතුමනි.

නියෝජ්‍ය කතානායක: හොඳින් පැහැදිලි කළා.

ලක්මාලි හේමචන්ද්‍ර: මම දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි... මට තව විනාඩියක් දෙන්න. කරුණාකරලා තව විනාඩියක් නියෝජ්‍ය කතානායකතුමනි. මම මීට කලින් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරලා නැහැ. මේක දරුවෙක් සම්බන්ධ බරපතළ කාරණයක් නියෝජ්‍ය කතානායකතුමනි, කරුණාකරලා මට තව විනාඩියක් දෙන්න.

සිංහල බසින් දැක්වූ අදහස්

මේ අතර, ඉංග්‍රීසි බසින් කතා කිරීමෙන් පසු ඇය බීබීසී සිංහල සේවය පළ කළ ලිපියේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් සිය අදහස් සිංහල බසින් ඉදිරිපත් කළ අතර, එහි සම්පූර්ණ කතාව මෙසේ ය.

"නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආර්ටිකල් එක සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන සාකච්ඡාව, මේ ආර්ටිකල් එකේ තියෙන කරුණුවල නිශ්චිත වශයෙන් අසත්‍ය කරුණු මොනවා ද කියන එක මං මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ වාර්තා කරන්නට කැමතියි. මෙහි සඳහන් වෙනවා, ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂවරිය පොලිසියෙ විමර්ශන පිළිබඳ විවේචන කරමින් කරුණු දැක්වීම තුළින් විමර්ශන නිලධාරීන් අධෛර්යවත් කර ඇති බවට මා විසින් ප්‍රකාශ කළා කියලා. එය අසත්‍ය යි.

මසක් වැනි කෙටි කලක් තුළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ වරදක් නැති බව මා විසින් ප්‍රකාශ කර තිබෙනවා කියලා තියෙනවා. ඒක අසත්‍ය යි.

කෙවිටක් අරගෙන පොලිසිය පිටුපස යාමට සිදුවූ බව ප්‍රකාශ කළේ, කුමන පදනමක් මත දැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂවරියගෙන් ප්‍රශ්න කර ඇතැයි මා විසින් පවසා තිබෙන බවට සඳහන් කර තිබෙනවා. ඒක අසත්‍ය යි.

නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේ ම අද උදේ මගෙ අවධානයට ලක්වුණා, 2026.06.10 ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති ලේඛනයක්. ඒ ලේඛනයෙ සඳහන් වෙනවා, මං කෙටියෙන් ප්‍රකාශ කරන්නම්. ජාතික ළමාරක්ෂක අධිකාරියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් චෝදනාත්මකව අදහස් දැක්වූ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු පවසා ඇති අයට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රකාරව කටයුතු කරන බව අදාළ රැස්වීමේදී පැවසූ බව BBC සිංහල වෙබ් අඩවිය ප්‍රකාශ කරල තිබෙනව කියල. ඔව් ඒක සත්‍ය යි. ඒ රැස්වීමේදි අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා, මේක ළමයෙක් සම්බන්ධ කාරණයක්, ඒ නිසාවෙන් මේක රහසිගතව සිදු කිරීමට අවශ්‍ය යි, ඒ අනුව එහි රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය යි. මොක ද, අපි දන්නව ළමයෙක් සම්බන්ධ කාරණා අධිකරණය තුළදී, පොලිසිය තුළදී විමර්ශන කිරීමේදී රහස්‍යභාවය ආරක්ෂා කරනව කියන එක.

It definitely says මෙහෙම, එම මන්ත්‍රීවරිය අදාළ රැස්වීමේදී ක්‍රියා කර ඇති අන්දම පවා ශිෂ්ට සම්පන්න සමාජයක දෝෂ දර්ශනයට ලක්විය යුතු (බව) පසුබිමක මාධ්‍යවේදීන් වෙත තොරතුරු ලබා දෙන පිරිස් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට යෝජනා කර තිබීම දැඩි පිළිකුළෙන් හෙළා දැකිය යුතුව තිබේ.

I want to clarify, මෙම රැස්වීමේදී රහස්‍යභාවය ආරක්ෂා කරන ලෙසට නිලධාරීන්ට ප්‍රකාශ කළේ, ළමයෙක් සම්බන්ධ නඩු තුනක් පවතින අවස්ථාවක් නිසා එහිදී ඒකට අපට මැදිහත් වීමට නම් ඒ සම්බන්ධ කරුණු විමසීමේදී රහස්‍යභාවය ආරක්ෂා කිරීම අතිශයින් වැදගත් කියල පාර්ලිමේන්තු මන්ත්‍රිනී සංසදය විසින් සලකන නිසාවෙන්. එහෙම නැතුව අපි කිසි ම අවස්ථාවක, අපට මඩ ගහල තියෙනව, අපට අපහාස කරල තියෙනව කිසි ම අවස්ථාවක අපි වරප්‍රසාද සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරල නෑ. ඒ නිසා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න අවශ්‍ය යි නියෝජ්‍ය කතානායකතුමනි, දරුවෙක් සම්බන්ධ කාරණයකදී අපි හැමෝට ම වගකීමක් තියෙනව, රහස්‍යභාවය ආරක්ෂා කිරීමට. ඒ අනුව, ඔවුන් කටයුතු කරනු ඇතැයි කියන බලාපොරොත්තුවෙන් තමයි, අපි ඔවුන් එක්ක සාකච්ඡාව සිද්ධ කළේ. ඉතින් ඒක කඩවෙලා තියෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් ඉතා බරපතළ කනගාටුව ප්‍රකාශ කරන්න කැමති යි."

එය ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට යොමු කරන බව නියෝජ්‍ය කතානායකවරයා පැවසීය.